වර්ෂ 2013 ක්වූ ජනවාරි 24 වැනිදා බ්‍රහස්පතින්දා




රැලි හදන අයට මාව අල්ල ගන්න අමාරුයි

රැලි හදන අයට මාව අල්ල ගන්න අමාරුයි

නිල් ආකාසේ සමඟ කලකට පසු කීර්ති හමු වී

ඔබ හැමදාමත් වෙනස් දෙයක් කරන කෙනෙක්. මෙවර උපන් දිනයත් ඔබට සුවිශේෂී වෙනසක් සිදු වූ සන්ධිස්ථානයක්. අපි එතැනින් කතාබහ අරඹමු. පැනයෙන්ම කතාව අරඹන්නට සිත් වූයේ ඔහු හඳුන්වා දීම අනවශ්‍ය හෙයිනි. කීර්ති පැස්කුවල් යයි කී සැනෙන් ඔහු රටම දනී. එබැවින් අමුතු හඳුන්වාදීම් අනවශ්‍යය. මේ කීර්ති ගැන අලුත් ආරංචි පිරුණු සටහනකි.

ඇත්තටම උපන් දිනේට අර්ථවත් යමක් කරන්න හැමදාමත් මං වෙහෙසුණා. ඒ අනුව මෙවර උපන් දිනය වෙනුවෙනුත් වෙනස්ම දෙයක් කරන්නට මං හිතා ගත්තා. වජිර ළමා නිවාසයේ දරුවන් වෙනුවෙන් සංගීත සන්ධ්‍යාවක් පවත්වන්නටයි මේ උපන් දිනය වෙන් කළේ. ඒ වගේම එදා මගේ අලුත්ම ළමා ගීත ඇතුළත් ඇල්බමය එළිදුටුවා.

දරුවන් වෙනුවෙන්ම ඔබ නිර්මාණය කළ පළමු ගීත තැටිය අතිශය ජනප්‍රිය වුණා. ඒ නිසා ද දරුවන් වෙනුවෙන් ගීත නිර්මාණය කරන්නට හිතුවේ?

නැහැ. මං නිර්මාණකරණයට පිවිසි මුල්ම කාලයේ ඉඳලම ළමා ගීත ගයන්නට තිබුණේ ලොකු කැමැත්තක්. මගේ පළමුවන ඇල්බමයේ ඉඳලම ළමා ගීත ඇතුළත් වෙලා තිබුණා. මම ඇල්බමයක් නිකුත් කරද්දී ඒ හැම ඇල්බමය වෙනුවෙන්ම ළමා ගීයක් නිර්මාණය කළා.

මෑත කාලයේ ළමා ගීත සාහිත්‍යයක් බිහි නොවීම මාව දරුවන් වෙනුවෙන් රස වින්දනාත්මක යමක් කරන්නට හොඳ පෙලඹවීමක් ඇති කළා. ඒ පෙලඹවීම මත නිර්මාණය කළ පළමුවැනි ඇල්බමය දරුවන් අතර විතරක් නොවෙයි දෙමාපියන් අතරත් අතිශය ජනප්‍රිය වුණා.

ඉහත කී පළමුවෙනි ගීත තැටියේ රූප රචනා නිර්මාණය වුණේ කාටුන් ආකෘතියෙන්. ඒ නිසාම බොහෝ දරුවන් ඒ ගීත සමඟ තදින්ම බැඳුණා. අපේ දරුවන් අතර අතිශය ජනප්‍රිය ගීත, මහින්ද හිමියන්ගේ කවි මේ තැටියට ඇතුළත් වුණා.

මේ ජනප්‍රියත්වය තවත් ළමා ගීත එකතුවක් කරන්නට මාව පෙලඹුවා. ඒ පෙළඹීම කොතරම් ප්‍රබල ද කියනවා නම් සාමාන්‍ය ගීත තැටියකට පෙර ළමා ගීත තැටියක් නිර්මාණය කරන්නට මා ශක්තිමත් කළා.

අද වන විට ළමයින්ට විශේෂිත වූ සුබ දේවල් ඉතා අල්පයි. ඉස්සර ළමා මණ්ඩපය වැනි වැඩ සටහන් හරහා බොහෝ නිර්මාණශීලී පිරිසක් බිහි වුණා. නමුත් අද දරුවන්ට අසන්නට, දකින්නට වැඩ සටහන් නැහැ. එවැනි අවධියක සමාජයේ දරුවන්ට යමක් කරන්නටයි මට උවමනා වුණේ. මං හිතන්නේ කලාකරුවෙක් විදියට ඒක මගේ වගකීමක්. මේ කිසිම කටයුත්තක් අතරේ සැඟවුණු ව්‍යාජ පරමාර්ථ නැහැ.

මේ ගීත තැටියට රූප රචනාත් ඇතුළත්ද?

තවම ඒ ගැන සැලසුම් කරමිනුයි ඉන්නේ. රූප රචනාවලට අලුත් වෙනසක් කරන්නට මං හිතාගෙන ඉන්නවා. මෙවර ගීත සඳහා රූප රචනා කරන්නට මං විවෘතව පාසල්වලට ආරාධනා කරනවා. මේ ගීතවලට වේදිකා ගත කළ හැකි රංගන ඇතුළත් නිර්මාණ කරන්නට ඕනෑම පාසලකට, ළදරු පාසලකට අවස්ථාව තියෙනවා. ඒවායින් තෝරා ගත් කණ්ඩායම් නියෝජනය කරන පාසල් සඳහා සංගීත කණ්ඩායම්වලට අවශ්‍ය සියලු භාණ්ඩ ලබා දෙන්නට මා තීරණය කොට තිබෙනවා.

ඒ වගේම කාටුන් ආකාරයේ වීඩියෝවක් කරන්නටත් අදහසක් තිබෙනවා. අලුත් තැටියට ගීත 17 ක් ඇතුළත් වෙනවා. ඉන් ගීත 16 ක්ම ලිව්වේ උපුල් පෙරේරා. ළමා ලොවට ළමා ගීත ලෙසටයි මෙම තැටිය නම් කරලා තියෙන්නේ.

මේ ගීත තැටිය සමඟින් ඔබේ දියණියන් දෙදෙනාත් කරළියට පිවිසෙනවා නේද?

ඔව්. මගේ දියණියන් දෙදෙනා නතාලියා සහ චාරුණී මේ ඇල්බමය සමඟ දොරට වඩිනවා. ඒක මට සතුටක්. මගේ දරුවන් සංගීතය සමඟ ගනුදෙනු කරනවාට මං කැමැතියි.

ඔබ දරුවන් ගැන කතා කළා. පසුගිය කාලයේ ළමා තරු කරළියට ගෙනෙන වැඩිහිටියන් නිපද වූ වැඩ සටහන් ගැන ඔබේ අදහස ගැන කතා කරමු.

මෙහෙමයි. මේ වැඩ සටහන් හරහා හොඳ සහ නරක දෙකම වුණා. මේවායෙහි දරුවන් ගැයුවේ දරුවන්ට අවශ්‍ය ගීත නෙවෙයි. ඒවායෙහි අර්ථ රසය, වචනවල ගැඹුර දරුවන්ට තේරුණේ නැහැ. ඒ නිසා දරුවෝ ඔහේ ගැයුවා. රැඟුවා. නමුත් මේ වැඩසටහන හරහා හොඳකුත් වුණා. දරුවන්ට ගායනා කරන්නට අපහසු ඉතා ඉහළ ස්වරවල දිවෙන වැඩිහිටියන් පවා අපහසුවෙන් ගැයූ ගීත දරුවන් පුහුණුවකින් අනතුරුව කදිමට ගැයුවා. ඒ හරහා දරුවන්ගේ ගායන පරාසය දියුණු වුණා.

මෙය ළමයින් වෙනුවෙන් පැවැත් වූ ස්ටාර් තරගවලදී සිදු වූ හොඳ දෙයක්. ඒ අනුව බලන විට මා ඉන්නේ මධ්‍යස්ථ මතයක.

ළමා ගීත නෙවෙයි බොහෝ දෙනා ඔබෙන් බලාපොරෙත්තු වන්නේ?

ඔව්. ඇතැම් රසිකයන් කියයි ‘කඳුළ’ට පස්සේ මං ගීතයක් ගැයුවේ නෑ කියලා. ඒත් මං ගීත දෙකක් ගායනා කළා. ඒවා මේ රැල්ල පරදවන්න තරම් බලවත් වුණේ නෑ. අද බොහෝ ගුවන් විදුලි, රූපවාහිනී නාලිකා ගීත ප්‍රචාරය කරන්නේ රැල්ලට අනුව. මගේ ගීත රැල්ලේ ගී නොවෙයි. ඒ නිසා මේ ගුවන් විදුලි නාලිකා මගේ ගීත ප්‍රතික්ෂේප කළා කියලා මට හිතෙනවා.

එහෙමයි කියලා මං සැලෙන්නේ නැහැ. මොකද මං කාටවත් අභියෝගයක් දෙන්න ගීත ගායනා කරන්නේ නැහැ. ඒ වගේම ගීත නිර්මාණය කරලා සල්ලි හොයන්න මට උවමනා නැහැ. එහෙම වුණා කියලා මගේ ජනප්‍රියත්වය අඩුවෙලත් නැහැ.

මං රැල්ලට අහු වෙන්නේ නැහැ. රැල්ල දිහා දුරට වෙලා බලන් ඉන්නවා. මොකද මං කවදාවත් මැද මාවතෙන් එහාට මෙහාට ගියේ නැහැ. මගේ ශෛලියක් තියෙනවා. මං හැමදාමත් ඒ ෙශෛලිය අනුව තමයි ගමන යන්නේ.

ඔබ රැලි ගැන කතා කළා. ඔබලා විනිශ්චය මණ්ඩවල ඉඳලා ඔළුව අතගාලා වේදිකාවට නැංගූ අය තමයි මේ රැලිවල අතරමං වෙලා ඉන්නේ.

ඒ අයත් ඉන්නවා. නමුත් අපි ඒ හැමෝටම ගමනේ ස්වභාවය පෙන්නල දීලා තියෙනවා. මේ අය ගායනා කරන විදියට අප ඔවුන්ට විනිශ්චය ලබා දෙන්නේ. තමන් යා යුත්තේ කුමන මාවතේ ද කියලා තීරණය කළ යුත්තේ තමන්ම තමයි.

අපි ආව කාලේ ඉඳලා කොපමණ රැලි තිබුණාද? නමුත් ඒ රැලි අපි හොඳින් වටහා ගත්තා. කොච්චර රැලි ආවත් ඒවාට නොබිය මුහුණ දෙන්න මං තවමත් ශක්තිමත්.

සංගීත කණ්ඩායම ගැනත් කතා කරමු?

අපේ සංගීත කණ්ඩායම ප්‍රසංග වේදිකා සඳහා සම්බන්ධ වෙන්නේ නැහැ. මගේ ආරට මගේ ශෛලින්ට අනුව අපි හොඳ ගමනක් යනවා. ඒ ගමනත් මධ්‍යස්ථ එකක්. අපි ප්‍රිය සාදවලට, විවාහ මංගල උත්සවවලට සම්බන්ධ වෙනවා. අදටත් අපේ කණ්ඩායමට හොඳ ඉල්ලුමක් තියෙනවා.

ඒක පුද්ගල ප්‍රසංගය නැවතුණාද?

නැහැ. 1990 දී මං මුලින්ම ඒක පුද්ගල ප්‍රසංගයක් කළේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ. ඒ නිසා මං කැමතිම ඒ ශාලාවට. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අලුත්වැඩියා කටයුතු නිසා ප්‍රසංගය තරමක් ප්‍රමාද වුණා. ඉතාමත් ඉක්මනින් ඒ කටයුත්ත සිදු වේවි.

සොනික් දින පොත ඔබ නිකුත් කරන්නෙ කුමන පරමාර්ථයක් පෙරදැරි කොට ගෙනද?

එක දවසක් මං නිර්මාණ කටයුත්තක් සඳහා දුරකතන අංකයක් හෙව්වා. නමුත් ඒ අංකය හොයා ගන්න බැරුව දවස් ගාණක් දුක් විඳින්න මට සිදු වුණා. එදා මං හිතුවා මේ අංක එකතු කරලා යමක් කළ යුතුය කියලා. ඒ අදහස තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.

මේ දින පොතේ විශේෂත්වයක් තිබෙනවා. අනෙක් දින පොත් මාස 12 න් ඉවරයි. මේ දින පොත් ලබන වසරේත් මාස තුනක් ඉදිරියට තිබෙනවා. මොකද ගායකයන් සංගීත කණ්ඩායම්වලට දින වෙන් කරන්නේ මාස ගණනාවකට ඉහතදී. ඒ නිසා ඉදිරියට දින තිබිය යුතුයි.

මෙහි වානිජ පරමාර්ථයක් ගැබ් වෙලා නැද්ද?

නැහැ. මං මේ දින පොත විකුණන්නේ නැහැ. නොමිලේ තමයි ලබා දෙන්නේ. එකතොට ඒක වානිජ පරමාර්ථයක් වෙන්නේ කොහොමද?

ඔබේ ගීත ටික Remix කළා නම් මේ දිනවල හොඳ මුදලක් හොයන්නට තිබුණා?

ඔව්. මං රැලිවලට තෙමෙන කෙනෙක් නෙවෙයි. මං මගේ හිත විකෘති කරලා මාවම විනාශ කරගෙන සල්ලි හොයන්න මට උවමනා නැහැ. කොහොමටත් මං සල්ලි පස්සේ යන්නේ නැති නිසා රැළි හදන අයට මාව ඒ රැල්ලට දාගන්න අමාරුයි.

සංගීත කටයුතුවලට අමතරව?

මං තවත් පරපුරටකට සංගීතය බෙදන්න පන්ති පවත්වනවා. එක් අතකින් විභාග සඳහා. අනෙක් අතින් රස වින්දනය සඳහා. ඊට අමතරව සොනික් ශබ්දාගාරය ඉතාමක් අඩු මුදලට කලාකරුවන්ගේ කටයුතු වෙනුවෙන් ලබා දෙනවා.

සංගීතයට අමතරවත් මං කරන්නේ සංගීතයම තමයි.

මගේ හඬ තියෙනවා. මං ගීත ගයනවා. මගේ ඇඟිලි පණ තියෙනවා. මේ ගිටාරයේ තත් කම්පනය වේවි.

කීර්ති කතාබහ අවසන හිනා වුණා. ඒ හැමදාමත් ළෙන්ගතු අර ළයාන්විත අව්‍යාජ හිනාව.

නිල් ආකාසේ සඳ පායලා
රත් තැටියක් වාගේ දිළෙනවා
දිලී දිලී නිවෙනවා
නිවි නිවී දිළෙනවා
රන්තරු අහසේ බැබැළෙනවා

උපුල් පෙරේරා ලියා සංගීතවත් කළ කීර්තිගේ ‘නිල් ආකාසේ’ තැටියේ පළමු ගීතය හැබෑවටම කීර්තිගේ ළබැඳි හිනාව ගැන ව්‍යංගයෙන් කියනවා නේද කියලා මට නිකමට හිතුණා.