වර්ෂ 2013 ක්වූ ජනවාරි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සරත් කුලාංගයන්ගේ කලා දිවියට පිදෙන උපහාර උළෙල පානදුරේ

සරත් කුලාංගයන්ගේ කලා දිවියට පිදෙන උපහාර උළෙල පානදුරේ

රංගන ශිල්පියකු, තිර කතා රචකයකු, නාට්‍යවේදියකු, සංගීතඥයකු මෙන්ම වෘත්තීය ගුරුවරයකු ද වූ සරත් කුලාංගයන්ගේ තිස් හත් වසරැති කලා දිවිය වෙනුවෙන් ඔහුට උපහාර පිදීමේ උළෙල මුතු වැලක්සේ එළඹෙන පෙබරවාරියේ 04 වැනිදා සවස පානදුර පුරහලේදී පැවැත්වෙයි.

සරත් නිර්මාණය කළ නාට්‍ය ජවනිකා, සරල සහ ළමා ගී එදින විජය නන්දසිරි, බන්දුල විජේවීර, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, ගාමිණී අම්බලන්ගොඩ, ෆර්නි රෝෂිණී සහ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි යන ශිල්පීන් විසින් ඉදිරිපත් කරනු ලබයි.

මුතුවැලක් සේ පානදුර මිත්‍රෝදය සංගමයේ සංවිධානයකි.

බුද්ධිගෙන් ‘කවි මිහිර’

බුද්ධදාස ගලප්පත්ති විසින් රචිත ‘කවි මිහිර’ කාව්‍ය සංග්‍රහය සුරස කෘතියක් ලෙස දැන් නිකුත් වී ඇත.

2009 – 2012 කාලය තුළදී ජාතික පුවත්පතකට ලියන ලද පද්‍ය නිර්මාණ මෙම කෘතියට අන්තර්ගත වී ඇත. ආධුනික ප්‍රවීණ භේදයකින් තොරව බුද්ධදාස ගලප්පත්ති මහතා විසින් තෝරා ගත් නිර්මාණ කවි මිහිරට එක්කර තිබේ.

දොළොස් මහේ පහන, කැටපත් පවුර, පාර වසා ඇත, රැජිනක් හැඬුවාය, දෙදෙනාම දියණියෝ, නිශ්චලයි රාත්‍රිය, තුරුලිය අකුරු විය, දවස හෙටයි පද්‍ය කෘතින් සහ රැය පහන් වේ, කැටුව එන්නෙමි, සරන කල මේ අඳුරු වන පෙත කෙටි කතා හ නවකතා ද සහෘද සටහන් තීරු ලිපි එකතුව ඇතුළු කෘති රැසක් ඔහුගේ නිර්මාණ අතර වේ.