වර්ෂ 2013 ක්වූ ජනවාරි 24 වැනිදා බ්‍රහස්පතින්දා




පෙරකදෝරු බෑනා මට දුන් පොරොන්දුව කඩ කළා

පෙරකදෝරු බෑනා මට දුන් පොරොන්දුව කඩ කළා

බැප්ටිස් ප්‍රනාන්දු අවනඩුව කියයි

සිනමා තිරයේදී පෙම්වතුන්ට එරෙහිව විවිධ නොපනත්කම් කළ ඔහු පසු කාලයක ගැලරියේ විසිල් පහර ලබා ගත් වීරයා බවට පත්වීම අතිශයෝක්තියෙන් තොරය. අභියෝගාත්මක සටන්කාමී චරිත නිරූපණය කොට ප්‍රේක්ෂක මතකයෙන් දැනුදු ඉවත්ව නොගිය ඔහු අතිශය සාර්ථක චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙස හඳුන්වා දීම ඊටත් වඩා සාධාරණ විය හැකිය. ඔහුගේ චිත්‍රපට සඳහා නළු නිළියන් ගිවිසුම් අත්සන් නොකිරීම සැඟවුණු පුවතකි. එපමණට සහෝදර සිනමා ශිල්පීන් අතර විශ්වසනීයත්වය තහවුරු කරගත් මොහු කවුද? නමින් බැප්ටිස්ට් ප්‍රනාන්දුය. මොහු එදා කළේ හා අද කරන්නේ කුමක් ද? සත්‍ය සොයා ඔහු සමඟ සාකච්ඡා කොට බලමු.

අපි පළමුවෙන් ඔබේ පෞද්ගලික වගතුග හාරා අවුස්සා බලමුද?

වෙන්නප්පුවේ කොලින්ජාඩිය පෘතුගීසීන් විසින් නම් කරනු ලැබූ ප්‍රදේශයක්. මෙහි පදිංචිව සිටි විනිෆෙඩ් ප්‍රනාන්දු හා එව්ජින් ප්‍රනාන්දු දෙපළගේ වැඩිමහල් පුත්‍රයා මම. මට බාල සහෝදරයින් දෙන්නකුයි, සහෝදරියන් තුන්දෙනකුයි සිටියා. මම ඉපදිලා තියෙන්නේ 1933 ජූනි 09 වැනිදා. නම ලැබුණේ වර්ණකුලසූරිය මහලේකම් ගේ ජෝන් බැප්ටිස්ට් ප්‍රනාන්දු කියා. ඉගෙන ගත්තේ වෙන්නප්පුවේ ජෝශප් වාස් විද්‍යාලයේ. ඒත් පාසල් නාට්‍යයකවත් රඟපාලා නැහැ ඇත්තමයි.

එහෙම නම් ඔබට සිනමා නළුවකු වෙන්න මාර්ගය පෑදෙන්නේ කෙසේද?

පාසලේ ගජ මිතුරෙක් සිටියා එස්. ඒ. ප්‍රනාන්දු කියා. මේ යෝධයා හොරෙන් මගේ ඡායාරූපයක් ජයමාන්න සිනමාටෝන් වෙත යවලා. ඔවුන්ගේ කැඳවීම අනුව මිතුරාගේ බල කිරීම නිසා සම්මුඛ පරීක්ෂණයට මම පෙනී සිටියා. නිෂ්පාදකවරයා මාව පෙරකදෝරු බෑනා චිත්‍රපටයේ ගාමිණී නම් ප්‍රධාන පිරිමි චරිතයට තෝරා ගත්තා. රඟපාන්න ඉන්දියාවට ගියා. එහිදී ප්‍රධාන චරිතයට වෙනත් නවකයෙක් තෝරා ගෙන මට සුළු චරිත දෙකක් කරන්න පැවරුවා. ඉන්දියාවට ගිය මෝඩකමට මම ඔය කිව්ව චිත්‍රපටයේ පොලිස් පරීක්ෂකවරයකු හා දුෂ්ටයාගේ සහචරයකු ලෙස රඟපෑවා.

මේ පොරොන්දුව කඩ කිරීම ඔබව අධෛර්යමත් කළාද?

අපොයි නැහැ. කවදා හරි ජනප්‍රිය නළුවෙක් වෙනවා කියා තිර අදිටනක් ඇති කර ගත්තා. මීළඟට 1959 අවිශ්වාසය හා පුරුෂ රත්නය යන චිත්‍රපට දෙකට සම්බන්ධ වුණා. මුල් චිත්‍රපටයේ දුෂ්ට චරිතයක් වුවත් පුරුෂ රත්නය චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතය ලැබුණා. පෙම්වතිය රාණිදේවී සෝමසුන්දරම්. චිත්‍රපටය නිෂ්පාදනය කළ ස්වර්ණා අභයනායක සිංහල චිත්‍රපට නිෂ්පාදනයට පිවිසි ප්‍රථම කාන්තා රත්නය කියලා කවුරුත් දන්නවා ඇති. ඔය චිත්‍රපට නිසා මගේ සිනමාවේ සමීපතම හිතවතා ප්‍රේම් ජයන්ත් හමුවීම අමතක නොවන්නක්.

ඔබ සිනමාවේ වඩාත් ප්‍රචලිත වූයේ දුෂ්ට නළුවකු ලෙස නේද?

මා සතු නුඋස් කාය වර්ධනයෙන් ඉස්මතු වුණු ජව සම්පන්න සිරුර නිසා අධ්‍යක්ෂවරු ආදේශ කළේ මැර චරිතයන්ට. ‘සිතක මහිම’ චිත්‍රපටයෙන් ඇරැඹි ‘ඒ මඟ සැපත සොයා, සත පනහ, ඇතුල්වීම තහනම්, ඔහොම හොඳ ද, තුෂාරා, හොඳට හොඳයි, ප්‍රදීපේ මා වේවා, කවුද රජා, ඇගේ ආදර කතාව, රජ කොල්ලෝ, සුභානි, මමයි රජා, සැබෑ මිතුරා, සිහින විමානේ රාජ කුමාරි, ශක්ති’ දක්වා ව්‍යාප්ත වුණා. ඒත් මම ‘සීගිරි කාශ්‍යප, රන්රස, ඔබ නැතිනම්, සිරිල් මල්ලි, දෙවියනි ඔබ කොහිද, චිං චිං නෝනා, වනගත කෙල්ල, අහිංසා, ක්‍රිස්තු චරිතය’ වැනි චිත්‍රපටවල කළු නොවන සාමාන්‍ය සුදු චරිත නිරූපණය කළා.

ඔබ කතානායකයා විදියට රඟපෑ මුල්ම චිත්‍රපටය මතකද?

හෙන්රි චන්ද්‍රවංශගේ සුනිලා චිත්‍රපටයේ ආරාධිත රඟපෑමක යෙදුණ මට ඔහුගේ සේයාවක් පසුපස චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලැබුණා. ඔහුගේම සුගතියක් කරා චිත්‍රපටයේත් කතානායකයා මම. ප්‍රධාන නිළිය පර්ල් කුරේ. 1963 – 1966 හා 1969 පෙන්නූ මෙම චිත්‍රපට සියල්ලම මිලි මීටර් 16 වර්ණ චිත්‍රපට.

හැබැයි ඔබ රිදී තිරේ නොනැසෙන වීරයකු කරන්නේ ඔය චිත්‍රපටවලින් නොවෙයි නේද?

දුෂ්ට චරිත බහුලව නිරූපණය කිරීමෙන් හෙම්බත්ව සිටි මට වීර චරිතයකින් ප්‍රේක්ෂකයින් අතරට එන්න තදබල ආශාවක් තිබුණා. මම කොටු වෙලා උන්න මැර චරිත රාමුවෙන් වෙනස් වෙන්න නම් මම චිත්‍රපටයක් නිපදවන්න උවමනා බව අවබෝධ වුණා. ඒ අනුව 1974 දුප්පතාගේ හිතවතා නිෂ්පාදනය කරමින් ආනන්ද නම් සටන්කාමී චරිතයට ජීවය දුන්නා. මෙය ඉහළම ආදායම් වාර්තා තබමින් බැප්ටිස්ට් ප්‍රනාන්දුව සාර්ථක සිනමා වීරයකු බවට පත් කෙරුවා.

දුප්පතාග් හිතවතා ඔබ නිෂ්පාදිත කුලුඳුල් චිත්‍රපටය කියා කියන්න පුළුවන්ද?

කොහෙත්ම බැහැ. ඊට පෙර සහනය චිත්‍රපටය 1972 ප්‍රේම් ජයන්ත් සමඟ නිෂ්පාදනය කරන්න ලැබුණා. වාණිජ වට්ටෝරුවෙන් මිදුණු මෙය සිනමාරූපී නිර්මාණයක්. මගේ කැමැත්තෙන්ම නපුරු චරිතය තෝරා ගත් මේ චිත්‍රපටය එක්ක බැඳුණු අපූරු සිද්ධියක් කියන්න තියෙනවා. ප්‍රේම් ජයන්ත් ගේ අදහසක් අනුව සහනයට පුළුල් ප්‍රචාරයක් ලබාදීමේ අරමුණින් අපි මරදාන මංසන්ධියේ කතා නායිකාව තනපටයකින් සැරසී දිය නාන පිළිරුවක් ඉදි කෙරුවා. දින දෙක තුනක් යන විට එතැන රිය අනතුරු වැලක් සිදු වුණා. පිළිරුව පොලීසිය භාරයට ගත්තා.

ඔබ මේ චිත්‍රපට නිෂ්පාදනය කළ සමාගම කුමක්ද?

සෙවන් ආට්ස්. එමඟින් දැනට චිත්‍රපට නමයක් ඉදිරිපත් කොට තිබෙනවා. අනික් චිත්‍රපට ටිකිරා, සුදු අයියා, ඒක දිග කතාවක්, නාමල් රේණු, අංගුලිමාල, රජ කෙල්ලෝ. අංගුලිමාල හැර මෙකී චිත්‍රපටවල ප්‍රධාන චරිත මම පණ පෙව්වා.

ඉන් නාමල් රේණු මගේ ද්විත්ව චරිත නිරූපණයක් රැගත් චිත්‍රපටයක්. ඒක දිග කතාවක් දෙමළ දෙබස් කවා ඔරු තලෙයි කාදල් නමින් පිටපත් පහක් දෙමළ ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල ප්‍රදර්ශනයට තැබුවා. අංගුලිමාල මගේම අධ්‍යක්ෂණයක්. රජ කෙල්ලෝ නිෂ්පාදිකාව වශයෙන් සිතාරා ප්‍රියදර්ශනී සඳහන් වෙතත් මුදල් ආයෝජනය මගෙන්. තිර නාටකය රචනා කළේත් මමයි.

ටිකිරා චිත්‍රපටයට ප්‍රදර්ශන ගැටලුවක් පැන නැගුණු වග ඇත්තක්ද?

චිත්‍රපට සංස්ථාව අනුගමනය කරන පොදු පිළිවෙත අනුව ඕනෑම චිත්‍රපටයක් රැඟුම් පාලක මණ්ඩලයෙන් ප්‍රදර්ශන සහතික ලබන අනුපිළිවෙළට තමන්ට හිමි ප්‍රදර්ශක මණ්ඩල පෝලිමේ සිටිය යුතුයි. 1978 ටිකිරා චිත්‍රපටයට දින නියම කොට තිබියදී එය හදිසියේ වෙනස් කොට වෙනත් චිත්‍රපටයක් වක්‍රව තිරගත කිරීමට සූදානම් වුණා. එවක තිබුණු රජයේ ප්‍රබල ඇමතිවරයකු නිපද වූ මේ චිත්‍රපටය පෝලිමෙන් පිට ප්‍රදර්ශනය කිරීමට විරුද්ධව මා දැඩිව නැගී සිටියා. අන්තිමට ටිකිරා අගෝස්තු 04 වැනිදා මට අදාළ ප්‍රදර්ශක මණ්ඩයේත්, අලුතින් සම්භාව්‍ය චිත්‍රපට සඳහා වෙන් කළ පස්වෙනි ප්‍රදර්ශක මණ්ඩලය අරඹමින් වීර පුරන් අප්පු නම් එම චිත්‍රපටය අගෝස්තු 09 වෙනිදාත් ප්‍රදර්ශනයට මුදා හැරියා.

කතෝලිකයකු වන ඔබ අංගුලිමාල වැනි බෞද්ධ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න පෙලඹුණේ මන්ද?

නිර්මාණයකට ආගම් බේද බලපාන්නේ නැහැ. එබැවින් සිනමාකරුවකුට තමන් අදහන ආගමට පටහැනි වෙනත් ආගමික චිත්‍රපටයක් තනන්න ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් හිමියි. 1963 ප්‍රදර්ශනය කළ සිංහල දෙබස් කවන ලද අංගුලිමාල හින්දි චිත්‍රපටය නොසිතූ අයුරින් ජනප්‍රිය වුණා. එම වසරේ ප්‍රදර්ශිත සියලුම සිංහල චිත්‍රපට අභිබවා අංගුලිමාල වාර්තාගත ආදායමක් ඉපයුවා. බෞද්ධ ජනතාව බොහෝමත් ඇලුම් කළ මේ චරිත කතාව ප්‍රතිනිර්මාණය කරන්න මටත් හිතුණා. සමාජය මඟින් වරදට පොලඹවන අහිංසකයකු සමාජය විසින්ම යළිත් යහ මඟට අවතීර්ණ කිරීම ප්‍රබලව ඒත්තු ගැන් වූ මෙහි මම රඟපෑවේ නැහැ. ඒත් සෙනඟ පිරුණු දර්ශනයක යන්තමට පෙනී සිටියා.

ඔබ මෙතෙක් රංගන දායකත්වය ලබා දුන් සුවිශේෂ හද බැඳ ගත් චරිතයක් එහෙම තියෙනවද?

වලව්වේ හාමු චිත්‍රපට චරිතය මට අමතක නොවන්නේ එහි වෙනසක් තිබුණ නිසයි. එය ගොළු තරුණයකුගේ භූමිකාවක්. දෙබස් රහිත හස්ත චලනයෙන් හා මුහුණේ ඉරියව් අතරින් මතුª කළ යුතුª එකී දීර්ඝ චරිතය රඟපෑවේ හරිම කැපවීමෙන්. වලව්වේ හාමු කලින් නම් ලබා තිබුණේ මැතිනිය කියා.

ඔබගේ අවසන් රංගනය රැගත් චිත්‍රපටය තිරගත වුණේ කවදාද?

2008 ආදර මීනා නම් එම චිත්‍රපටයේ පියකුගේ වැඩිහිටි චරිතයක් නිරූපණය කළා. අධ්‍යක්ෂවරයා කීර්ති බණ්ඩාර. තවමත් ප්‍රදර්ශනය නොකළ චිත්‍රපටයක් ලෙස රැජින මමයි හඳුන්වා දෙන්න පුළුවන්. මියගිය ගාමිණී නවරත්න නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ මෙහි මාත් නිෂ්පාදන කොටස්කරුවෙක්.

ඔබ රිදී තිරෙන් හැරුණු විට රූපවාහිනියෙන් නුදුටුවේ ආරාධනයක් නොලැබුණු නිසාද?

ආරාධනා ලැබුණත් ඒවා ප්‍රතික්ෂේප කළා. අපි නළු නිළි සංගමයේ සාමාජිකත්වය දැරූ කාලේ සිනමා රංගන ශිල්පින්, ශිල්පිනියන් ටෙලි නාට්‍ය රංගනයට නොයන බවට ප්‍රතිඥාවක් දී තිබුණා. මම එය අකුරටම පිළිපැද්දා. සෙසු අය තම වාසි ප්‍රයෝජන තකා පොරොන්දු කඩ කළා.

අපි දන්නා තරමින් ඔබ සිනමාවෙන් යැපුන පුද්ගලයෙක් නොවන බව පැවසුවොත් නිවැරැදිද?

මම දිගු කාලයක් පිටරටින් ගෙන්වන ඉස්තරම්ම සුවඳ විලවුන් ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා. එයින් ඉපයූ මුදල් අප්‍රමාණයි. මේ මුදල් යොදවා හැඳල පල්ලිය පාරේ පැනමා නමින් නැවතීමේ පහසුකම් සහිත සුපිරි හෝටලයක් විවෘත කෙරුවා. ජූලි කලබල සමයේ විනාශයට පත් හැඳල චිත්‍රාගාරයේ රසායනාගාරය හා සංස්කරණ මැදිරිය සෙවන් ආට්ස් නමින් කාලයක් සිනමාකරුවන්ගේ සේවයට කැප කොට දුන්නා.

ඔබේ පවුලෙන් සිනමාවට දායාද කළ දරුවන් ඉන්නවද?

මේලා ප්‍රියදර්ශනී දුවයි, ෂම්මි ප්‍රනාන්දු පුතයි අංගුලිමාල, රජ කෙල්ලෝ චිත්‍රපටවල චරිත නිරූපණය කළා. ඒ මගේ බලවත් ඉල්ලීමට මිසක ඔවුන්ගේ කැමැත්තට නොවෙයි.

ඔබේ වත්මන් ජිවන තොරතුරු පිළිබඳ විමසුවොත් ලබා දෙන පිළිතුර කෙබඳුද?

මගේ සුවිශාල නිවස, පැනමා හෝටලය විකුණා ලබා ගත් රුපියල් ලක්ෂ 130 මුදල ගෝල්ඩන් කී ආයතනනයේ වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් තැන්පත් කෙරුවා. ආයතනය කඩා වැටිලා අද මගේ විතරක් නොවෙයි තවත් තැන්පත්කරුවන් රාශියකගේ මුදල්වලට වගකියන්න නිසි බලධාරියෙක් නැහැ. අපි සරණක් සොයා ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ එකමුතුව නමින් සංවිධානත්මකව නීතියේ පිහිට පතනවා. මේ ගැන හිතලා මම මානසික වශයෙන් අගාදයට වැටිලා අසරණ වෙලා, ඔත්පල වෙලා. පවතින රජයවත් මෙයට සාධාරණ විසඳුමක් ලබා දෙයි කියලා සිතනවා. නැත්නම් අපිට වහ කාල තමයි මැරෙන්න වෙන්නේ.

සරසවිය පුවත්පතට නව ලිපිනය හා දුරකථන අංකය පවසන්න.

සරසවිය එදත් අපි ගැන සෙව්වා. අදත් සොයනවා. මගේ හද පිරි ප්‍රණාමය ඊට පුද කරනවා. බැප්ටිස්ට් ප්‍රනාන්දු අංක 155/12, ශාන්ති පාර, හැඳල, වත්තල. දුරකථන අංකය 077-7169564.