|
|
||||
පීක් එකට පීක් එක සෙට් වුණොත් ඩබල් පීක්
සිනමාවේ රස පිරුණු අත්දැකීම් සපිරි අර්නස්ට් වඩුගේ
පසුගිය සතියෙන්...
කලා ක්ෂේත්‍රයේ මොන යම් හෝ දෙයක් සරසවියේ පළ වූවා නම් හරියට ගලේ කෙටුවා සේ බව ඕනෑම කෙනෙක් දැන සිටි කරුණක් විය. සරසවියේ පළ වූ පුවත් කවුරුත් විශ්වාස කළේ ඒ නිසාමය. එවක මා නළු නිළියන් හා සාකච්ඡා පැවැත්වීමට ගියේ ටයි පටියක් පැලඳගෙනය. ඇතැම් විට කෝට් එකක් ද දමාය. ඒ තරමට ඒ වෘත්තීය පිළිගැනීමක් ඔවුන් තුළ තිබිණි. කිසිදාක සාමාන්‍ය ස්වරූපයෙන් ඔවුන් හමුවීමට අප ගොස් නොතිබිණි. මා මරදානේ නවාතැන් ගෙන සිටියේ ක්‍රවුන් සිනමා ශාලාව අසලය. දිනක් ඒ අසල පාරේ වතුර පයිප්පයෙන් නාමින් සිටියෙමි. තරමක් බිම් කරුවල වැටීගෙන එන අතරේ ක්‍රවුන් සිනමා ශාලාව අසල කාරයක් නතර කෙරිණි. එයින් බැස ආවේ ජීවරාණි කුරුකුලසූරියයි. ඒ වන විට ඈ ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටි වකවානුවක් හෙයින් අවට සිටි හැමෝම ඈ වෙත දුව ගියහ. ජීවරාණි ඇවිල්ලා කියනු මට ඇසෙනවාත් සමඟම මට උන්හිටි තැන් අමතක විය. අතට අහු වුණු දේ අරගෙන වතුර පිටින් මා දිව්වේ බෝඩිං කාමරය වෙතය. වඩූ මොකද හතිදාගෙන දුවන්නේ කියා ඇසූ සමහරුනට අතින් සංඥා කළේ කට වසා ගන්නා ලෙසය. ජීවරාණි එදා මා උන් විලාසය දුටුවා නම් මට වන ලැජ්ජාව මෙතෙකැයි කිව නොහැක. දවල්ට ටයි කෝට් දමාගෙන ඔවුන් ළඟට යන මා රාත්‍රියේ පාරේ පයිප්පයෙන් වතුර නාන හැටි දුටුවා නම්? බොරලැස්ගමුවේ රත්තනපිටියේ මා ටික කලක් නැවතී සිටියේ විමලසිරි පෙරේරා මහතාගේ නිවස සමීපයේය. ඒ කාලයේ රසික ජනාදරය ඉහළින් දිනා සිටි නළුවකු වූ ආනන්ද ජයරත්න සිටියේ ද රත්තනපිටියේය. දිනක් මා ආනන්දගේ ගෙදර ගියේ අලුත් තොරතුරු මොනවාද කියා දැන ගැනීමටය. ඒ වෙන කොට ආනන්ද කොහේදෝ යාමට ලෑස්ති වෙමින් සිටියේය. මා රාජකාරියට යන අතරේ එහි ගියේ පත්තරයට මොනව හෝ දැනගන්නා අදහසිනි. ආනන්දගේ තිබූ මොරිස් මයිනර් කාරයෙන් මාව ලේක්හවුස් එක ළඟට ඇරලීමට පොරොන්දු විය. කෙසේ වෙතත් ඔහු ආයතනය ඉදිරිපිට නොනවත්වා ගමන් කළේ බිලියඩ් සෙල්ලම් කරන ස්ථානයකටය. එහිදී ඔහු මට මධුවිතක් ද ලබා දුන්නේය. එදින රෑ බෝවී විමලසිරි පෙරේරා මහතාට කතා කොට ආනන්ද පැවසුවේ වඩු අද උදේ ඉඳල මාත් එක්ක. හෙට උදේට වැඩට එයි යනුවෙනි.
හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ පැවැත් වූ පුවත්පත් සාකච්ඡාවක් මගේ ජීවිතයේ අමතක නොවන සිද්ධීන් අතරින් එකක් වේ. පරසතු මල් චිත්‍රපටය තිරගත වන අවධියේ මට ගාමිණී සමඟ සාකච්ඡා කොට සරසවියට ලිපියක් ලියන ලෙස විමලසිරි මහතා පැවරුවේය. ඒ වන විටත් ගාමිණී චිත්‍රපට කීපයකම රඟපාමින් සිටියේය. මා ඔහුට දුරකථන ඇමතුමක් දුන්නේ වේලාවක් වෙන් කර ගැනීමටය. ගාමිණී මට කතා කළේ උන්නැහැ කියා හෝ වඩූ කියාය. මම ඔහුට කතා කළේ ගාමිණී කියාය. බොහෝ අය ගාමිණීට කතා කළේ සර් නැත්නම් මිස්ටර් ගාමිණී කියාය. කිහිප දෙනෙක් ගාමිණී අයියා කියා ද කතා කළහ. පත්තර කලා ලෝකයේ මම සිතනුයේ මා පමණක් ඔහුට නමින් කතා කළා කියාය. මගේ අවශ්‍යතාව කියූ පසු ගාමිණී ගොරෝසු කටහඬින් අනෙක් පසින් ඇහුවේ ඈ උන්නැහේ පත්තරේ බැහැලද කියාය. මේ පැත්තෙන් මම කිව්වේ නෑ ගාමිණී පීක් එකේ කියාය. එහෙනම් මට කතා කළේ. මේ දවස්වල ගාමිණීත් පීක් එකේ, අපිත් පීක් එකේ. පීක් එකට පීක් එක සෙට් වුණොත් ඩබල් පීක් කියා මම කිව්වෙමි. ඒ අනුව ගාමිණීිගෙන් මට වෙලාවක් ලැබුණේ එදින රාත්‍රී නවයට දහයට ඔහුගේ රත්මලාන ගෙදරට එන ලෙසය. ඔහු කියූ වෙලාවට මම එහි ගියෙමි. මා යන විට ගාමිණී කුඩා කලිසමකින් සැරසී රථය සෝදමින් සිටියේය. මම දුටු ගාමිණී, ආ වඩු ආවද? කතාව එච්චරය. ගාමිණී ඔහුගේ පාඩුවේ රථය සෝදයි. අවසානයේ තවත් පැයකින් පමණ ඔහොම ඉන්න මම වොෂ් එකක් දාගෙන එන්නම් කියා ගාමිණී ගෙට ගියේය. ඔය අතරේ ගාමිණිගේ බිරිඳ සුමිත්‍රා කීප විටක් විත් දැන් එයි කියා නැවත ගේ ඇතුළට ගියාය. රෑ දොළහත් වුණත් ගාමිණී තවම නැත. ඔය අතරේ ගාමිණී නැවත එළියට විත් මම පොඩි නින්දක් දාලා එන්නම් යැයි පවසා ගේ ඇතුළට ගියේය. දැන් පාන්දර දෙකත් පසුවෙලාය. මම ගෙදර ඉස්සරහා පුටුවේ නිදි කිරමින් ගාමිණී එනතුරු බලා සිටියෙමි. පාන්දර තුනට විතර ආ ගාමිණී, වඩූ ටිකක් නින්ද ගියා. මේ ටිකේ රෑත් ෂූටින් දවලුත් ෂූටින් යනුවෙන් පවසා සාකච්ඡාව ආරම්භ කළේය. කෙසේ හෝ පාන්දර පහ වනතුරු මාත් සමඟ කතා කළ ගාමිණී ඒ කතාවට සමු දුන්නේ ඔහුව එදින දර්ශන සඳහා ගෙන යාමට වාහනය පැමිණියාට පසුවය. ඉස්සරින්දා ගාමිණීගේ ගෙදරට ගිය මා පසු දින සාකච්ඡාව සිදු කොට කෙලින්ම ලේක්හවුස් පැමිණියෙමි. මගේ ජීවිතයට සරසවියක් වූ සරසවිය අද පනස් වසරට පා තබා තිබීම ගැන මා හදපත්ලෙන්ම සතුටු වෙමි. 1979 දී මා සරසවියෙන් සමුගෙන පිටව ගියත්, මා අද ලබා තිබෙන ජයග්‍රහණ රැසත් සමඟ මගේම කියා පුවත්පත් රැසක හිමිකාරයෙක් වීමට මට හැකි වූයේ සරසවියෙන් මට ලැබුණු සරසවි පහන නිසාය.
|
||||



දිනක් මා විජිත මල්ලිකා සමඟ පුවත්පත් සාකච්ඡාවක් කඳානේ එස්. පී. එම්.
චිත්‍රාගාරයේදී කරමින් සිටිනා අතරේ වාගිස්ටත් පැමිණියේය. මා විජිත මල්ලිකාගෙන්
රඟපානවා ඇරෙන්න චිත්‍රපට නිෂ්පාදනය කරන්න අදහසක් නැද්ද කියා ඇසීමි. චිත්‍රපටයක්
නිෂ්පාදනය කරන්න කැමැතියි කියා ඇය පැවසුවාය. මෙය ඇසුණු වාගි විජිත මල්ලිකා චිත්‍රපට
නිෂ්පාදනයට කියා ලොකුª අකුරින් හෙඩිමක් දමා ගොතන ලද ප්‍රවෘත්තියක් සරසවියේ පළ කළේය.
පත්තරය පිට වූවාට පසු විජිත මල්ලිකා මේ ගැන අපට දොස් තැබුවේ මා මෙවැන්නක් තවම
හිතලවත් නෑ යනුවෙනි. කෙසේ හෝ පසු කලෙක ඇය චිත්‍රපටයක් නිෂ්පාදනය කළා සේම ඒ
චිත්‍රපටයේ නිෂ්පාදක සමඟ ඈ විවාහත් වූවාය.
