වර්ෂ 2013 ක්වූ ජනවාරි 24 වැනිදා බ්‍රහස්පතින්දා




තුරුළේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ

තුරුළේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ

ආදරණීය අම්මා ගැන ටෙනිසන් කුරේ ගේ සංවේදී මතකයන්

වැහි බීරම හතර අතින් එළඹෙමින් පවතියි. කියාගත නොහැකි මහා පාළුවක් ජීවිතයට දැනෙයි. මම අම්මා නිදා සිටි ඇඳ වෙත ගියෙමි. ඇය එහි නැත.

දවසක් පැල නැති හේනේ, අකාල මහ වැහි වැස්සා, තුරුළේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ.

මහ වැස්සක් වැටුණ එක දවසක දුවගෙන ගොස් මම වලකට ඇද වැටුණේ නොදැනුවත්මය. වතුර පිරුණු වලෙන් මා ගොඩ ගත්තේ කෙසේදැයි මට මතක නැත. එහෙත් මහ වැසි නොතකා හනිහනිකට රෝහලකට ගෙන ගිය අයුරු මට මතකය. මුළුමනින්ම තෙත බරිත වී සීතලේ ගැහි ගැහි සිටිය ද මා සුවවන තෙක් එලෙසම සිටියා විණා වෙනත් ඇඳුමක් ඇඳ ගන්නට ඇයට වුවමනා නොවිණ.

අපේ අම්මාගේ නම හේරත් මුදියන්සේලාගේ රන් මැණිකා ය. උපන්නේ වැලිමඩ ය.

තවත් අවුරුද්දක් ජීවත්ව සිටියානම් අම්මා අවුරුදු සීයක් සපුරන්නීය. එහෙත් ඇය අවුරුදු 99 දී අපෙන් සමුගත්තාය. මම ඇයගේ දෙවැනි දරුවා විමි. මගේ රසික රසිකාවන් ටෙනී යන නමින් මා හැඳින් වුවද මට හාහා පුරා කීවේ අම්මාය. කේන්දර පිළිබඳ දැඩිව විශ්වාස කළ ඇය මගේ කේන්දරය බැලුවද එය කිසි දිනක මා අතට පත් කළේ නැත. එහෙත් එහි තිබෙන දේ ගැන ඇගේ විශ්වාසය වැඩිවිය. කවදාහරි මම මේ රටේ නමක් ඇති මිනිහෙක් වෙනවා යැයි අම්මා මට ඒ කාලයේ කීවාය. පාසල් අධ්‍යාපනය ගැන මා එතරම් උනන්දු නොවුවද ඇය මට දැඩි බලකිරීමක් නොකළේ ඒ නිසා විය යුතුය. මා මුලින්ම රඟපෑවේ ද ඇය ඉදිරියේදීය.

ඇය මගේ රඟපෑම් අගය කළාය. මගේ හිස අත ගෑවාය. මට ආශීර්වාද කළාය. පසු කලක මා රඟපෑ චිත්‍රපටයක් බලන්නට මම ඇයව කැඳවාගෙන ගියෙමි. එහෙත් සිනමාහලේ සෙනඟ වැඩි නිසා ඇයට එය නැරඹීමට නොහැකි විය. එදා සිට ඇය මියන තුරුම මගේ චිත්‍රපට බලන්නට සිනමාහලට ගියේ නැත.

මා කුඩා කල ඇයගේ එක් අභිලාශයක් වූයේ මා සඟ සසුනට පූජා කරන්නටයි. අම්මා ඒ සඳහා මා පන්සලට රැගෙන ගියද පැවිදි දිවියකට ඇතුළත් වීමට මට මනාපයක් නොවිණ. අම්මාද මගේ අකැමැත්ත වටහා ගත්තීය. ඉන්පසු ඇය ඒ සඳහා මා උනන්දු නොකළාය. අපි කලක් පිළියන්දල පෙදෙසේ පදිංචිව සිටියෙමු. එකල වෙසක් සමයේ තාත්තාගෙන් මුදල් ඉල්ලා ගන්නා අම්මා අසල්වාසීන් සමඟ වෙසක් සිරි නරඹන්නට යන්නීය. ඒ සඳහා බස් රථයක් ලබා දෙන්නේ ද තාත්තා ය.

කතෝලිකයකු වුවද මගේ තාත්තා අම්මාගේ ආගම දහමට හැමවිටම උපකාර කළේය. උඩරට උපන් අම්මා මොරටු පුත්‍රයකු මෙන්ම ඉංගී‍්‍රසි ගුරුවරයකු වූ අපේ තාත්තා සමඟ විවාහ වූයේ එක්තරා ආකාරයක විප්ලවයක් කොට යැයි මට සිතේ.එහෙත් ඇය සිතින් ජීවත් වූයේ තම පරපුරේ අභිමානය සමඟය. කන්ද උඩරටින් ඇයට උරුම වූ අභිමානවත් හැඟීම් මියයන තුරුම ඇය සිතේ තිබිණ.

මගේ ජීවන සහකාරිය මල්සිරි ද සොයා දුන්නේ අම්මාය. එකල ඇය අපේ තාත්තා ළඟට පැමිණියේ ඉංගී‍්‍රසි ඉගෙන ගැනීමටය. එහි පැමිණි ඇය මගේ අනාගතයට සුදුසු වන්නී යැයි ඇය විශ්වාස කළාය.

මියයන දවස වනතුරුම ඇය ඉතා හොඳින් ජීවත් වුවද වයසත් සමඟ ඇතිවන්නාවූ සුළු සුළු ආබාධ හැරෙන්නට වෙනත් කිසිදු රෝගයක් ඇයට තිබුණේ නැති තරම්ය. මෙම මස 16 වැනි දා සවස අම්මා එකවරම රෝගී තත්ත්වයට පත් වුණාය. ඇයගේ ස්වභාවයේ වෙනසක් අපට දැණින. එහෙත් එතරම් ඉක්මනින් ඇය මෙලොව හැරයනු ඇතැයි අපි නොසිතුවෙමු. එහෙත් ඇගේ තත්ත්වය එන්න එන්නම උග්‍රවිය. මේ මොහොතේ අපේ නිවසේ දුරකථනය නාද විය.

ඔය නිහාල් නෙල්සන් මහත්තයගෙ ගෙදරද?

අනිත් අන්තයෙන් ඇසිනි.

නැහැ, නැහැ මේ ටෙනිසන් කුරේගේ ගෙදර.

මම පැවසීමි.

එමාව හඳුනාගත් එයින් කතා කළ තැනැත්තා මා සමඟ සුහදශීලී විය.

මට දැන් කතා කරන්න බැහැ. මගේ අම්මට ගොඩක් අසනීපයි.

ඒ කතා කොට තිබුණේ භික්‍ෂූන් වහන්සේ නමකි.

උන් වහන්සේ මගේ නිවස තිබෙන තැන අසා ටික වෙලාවකින් ගෙදරට වැඩම කළේය.

අනතුරුව උන්වහන්සේ අම්මාට සෙත් පිරිත් කියා පිරිත් පැන් ටික පෙවූහ. එකී ස්වාමීන් වහන්සේ මට හමුව තිබූ කෙනකු නොවිණ. ඒත් අම්මාට අවසාන මොහොතේ එය මහත් ආශීර්වාදයක් වන්නට ඇත.