|
|
ම ත ක පො ත
මහිස් එකක් ගියේ නම් නුඹේ නමට කිමා
විසැක් කමලාව රස පහස නොවිඳ මා
දස්කොන්- ප්‍රමිලා කියන්නේ අමරණීය පෙම් යුවළක්. දස්කොන් අදිකාරම්ගේ සහ ප්‍රමිලා දේවියගේ රහසිගත ප්‍රේමය ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුට සැලවීමෙන් පසු හිස ගසා දමන්නට ගෙන යන විට දස්කොන් කියූ කවිය තමයි මේ. මේ ඉතිහාසගත ප්‍රේම කතාව අපේ හෙළ සිනමා සිත්තමක් ලෙස ද නිර්මාණය කෙරුණා. මේ එහි දස්කොන් අදිකාරම්ගේ හිස ගසා දමන්නට සැරසෙන මොහොත කැමරා කාචයට හසු වූ ආකාරයයි. 1962 වසරේදී තිරගත වූ දස්කොන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ උපාලි වනසිංහ. දස්කොන්ට රඟපෑවේ කිත්සිරි පෙරේරා.
කලියුග කාලේ සිදු කෙරුණ මඟුලක්
මේ විවාහය චාම් විදියට සිදු කෙරුණ එකක්. මනාල යුවළ හරිම සරල විදියට තමයි සැරසිලා හිටියේ. මේ කවුද කියලා ඔබට හඳුනා ගන්නට පුළුවන්ද? මෙහි පෙනී සිටින්නේ ටෝනි රණසිංහ සමඟින් නීටා ප්‍රනාන්දු. මේ දෙන්නා මේ අයුරින් විවාහ දිවියට පිවිසියේ ටී. අර්ජුන් අධ්‍යක්ෂණය කළ ‘කලියුග කාලේ’ චිත්‍රපටයේදී. 1975 වසරේදී තමයි එය තිරගත වුණේ. මීට පෙර 1974 වසරේදී මෙහි දෙමළ පිටපත ‘කලියුග කාලම්’ නමින් තිරගත කෙරුණා.
පාඨක ඔබ ළඟත් මෙවැනි වූ සොදුරු මතක සටහන් තිබේ නම් ඒවා තවත් අමරණීය මතකයන් බවට පත් කිරීමට සරසවියට එවන්න. එවිට ඒ මතක ඔබ අප කා අතරත් සුන්දර මතකයන් ලෙස රැඳෙනු ඇත. |




