|
සරත් ඩබලගෙ නෙළන සින්දු
සරත් කොතලාවලට, සරත් චන්ද්‍රසිරි එකතු වුණොත් කොහොම හිටීද කියලා දන්න අය දන්නවා. දෙන්නගෙ කටවල් එකකට එකක් පරයා යන්නේ නැහැ. කියවන්න ගත්තම මුවින් ගලා හැලෙන්නේ අපූරු වදන්. විටෙක සරත්ලා කියන සමහර උපහාසාත්මක දේවල් ඇත්තමදෝ කියලත් හිතෙනවා. ඔන්න ඉතින් මේ ඩබල ස්ටේජ් එකකට නැංගුවා කියන්නකො මයික් දෙකකුත් අතට දීලා. එසේ මෙසේ තැනක නෙවෙයි. ස්වර්ණ පුස්ථක සම්මාන උළෙලේදී. දැන් දෙන්නා රඟපාන්නෙ මෙන්න මෙහෙම. සරත් කොතලාවල සෙත් කවි සදන්නා. සරත් චන්ද්‍රසිරි ගායකයා. මිනිහා එනවා සෙත් කවි ලියන්නා හම්බු වෙලා සිංදුවක් ලියාගන්න. ඔන්න මෙතැන ඉඳලා දිග හැරෙන්නේ දෙන්නා කියපු දෙබස් ටික. (මේ කතාවේ කොනට අපේ සුනිල් ආරියරත්න මහාචාර්යතුමත් ඉන්නවා කියලා කියන්ට ඕනෑ). ස. කොතලාවල - ඇයි? ස. චන්ද්‍රසිරි - සිංදුවක් ලියා ගන්න ඕනෑ. නැගලා යන එකක්. ස. කොතලාවල - දෙන්නම්. මොන වගේ එකක්ද ඕනෑ. ස. චන්ද්‍රසිරි - මට ඕනෑ අර නෙළුම් කවි ගණයට වැටෙන සිංදුවක්. ස. කොතලාවල - නෙළුම් කවි. අපොයි මං නම් දන්නේ නැහැ එහෙම එකක්. නෙළුම් ගණයේ සිංදු මම නම් අහලා නැහැ. ස. චන්ද්‍රසිරි - මොකද නැත්තේ. සුනිල් ශාන්ත මහත්තයා කිව්වේ නෙළුවා නෙළුවා බරටම නෙළුවා කියලා සිංදුවක්. එතකොට අපේ සුනිල් ආරියරත්න මහාචාර්යතුමා ඉන්නවා නේද. එතුමත් ලිව්වා එහෙම එකක්. ස. කොතලාවල - තමුන් මේක වගකීමෙන් ද කියන්නේ? (සරත් එහෙම ඇහැව්වේ ඇත්තටම මහාචාර්යතුමා මුලසුනේ අසුන්ගෙන සිටිය නිසා) ස. චන්ද්‍රසිරි - මං ඔය එක එක දේශපාලනඥයෝ වගේ කතා කරන්නේ නැහැ. වගකීමෙන් කියන්නේ මේකයි සිංදුව. දවසක් මහාචාර්යතුමා පොත් මිටියක් කිහිල්ලේ ගහගෙන කැම්පස් එකට එනවා. එතකොට නසරානි කොල්ලෙක් එයාට තර්ජනය කරලා. මහාචාර්යතුමා කෙළින්ම ගියේ ගෙදර, ගත්ත කොලයක් අතට, ලිව්වා සිංදුවක්, දුන්නා නන්දා මාලිනීට. ස. කොතලාවල - මොකක්ද සිංදුව. ස. චන්ද්‍රසිරි - නෙළා ගන්න බැහැ මගේ අත දිග නැහැ. කොහොමද දෙන්නගේ කතාව මේක අහලා මහාචාර්යතුමන් හොදටම හිනා වුණාලු. |