වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබ නැතුව ඔබ එක්ක ‘සංවේදී නිමාවක් ...’

ඔබ නැතුව ඔබ එක්ක ‘සංවේදී නිමාවක් ...’

උකස් කඩයේ රාජකාරිය, ටෙලිවිෂනයේ මල්ලව පොර නැරැඹීම ජීවිත කරගත් මැදි වියේ සරත්සිරිට ඉන් එහා ජීවිතය හා බැඳුණු කිසිවක් නැති සේ විය. අහඹුවකදී දෑසක් දෑසකට හමු වීමකින් සරත්සිරි සිතින් තැති ගනියි. තෙත බරිත හැන්දෑවක බියට පත් පුළුල් විවර දෙනෙත චංචල දෙතොල් සසල කළේ සරත්සිරිගේ ආත්මයයි. තනිකම කුමක්දැයි සරත්සිට වැටහෙන්නට ගන්නේ එතැන් පටන්ය. එහි අග්‍ර ඵලය බවට පත්වන්නේ තමාටත් වඩා වැඩිමල් වැඩිහිටියෙකුට පෙර දුටු රූපය විවාහයකට තීන්දු වූ විටදීය. කිලිනොනච්චියේ උපන් සෙල්වි යුද පසුබිමකදී ආරක්ෂාව පතා උඩරට කඳුකරයේ බගවන්තලාව පරිසරයට අවතීර්ණ වේ. ඒ දරුවන් සමඟ තනි වූ වැඩිහිටි නැන්දනියන් දෙදෙනකු සමඟිනි.

ආර්ථික අපහසුකම් මඟ හරවා ගැනීමට උකස් කඩයට පැමිණෙන අවස්ථාවන් කීපයකින් අනතුරුව ජීවිතය බෙදා ගන්නට කරන ආරාධනය නිහඬවම ඉටු වේ. ඇරැඹුණු ජීවිතය නවතින්නේ කෙසේද? යටගියාව යටගියාවටම ගොස් ජීවිතය වෙනස් වන බව සරත්සිරිට නොදැනීම දැනෙයි. ඒ මත දිග හැරෙන ආදරයේ ජීවිත කතාවට ජීවිතයටම කිමිද ඇතුළතින් පවතින ලෝකයේ යථාස්වරූපය කියා පාන්න ඉඩ හසර විවර වෙද්දී සියල්ල ව්‍යාකූල වන්නට පටන් ගනියි.

මෙය මනුෂ්‍යත්වය කෙරෙහි යුද්ධය කෙසේ වග වෙයිද යන මතවාදය ඔස්සේ පශ්චාත් යුද සමාජය පිළිබඳව විවරණයක දිග හැරුම ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා සිත්තමේ මුල් අරුත වේ.

‘ඔබ නැතුව ඔබ එක්ක’ වාරණය විය යුතු යයි ප්‍රකාශිත දෙබස් රූප අතර පරස්පරයක් ගැඹුරින් මතු කළහොත් මෙහි නැත්තේම නොවේ. ඒක පාර්ශවික ප්‍රකාශන භාවිතාව තවත් පාර්ශවයකට සෘජු අසාධාරණයකි. එය විමසා බැලීම සාකච්ඡාවට බඳුන් විය යුත්තකැයි හැඟේ. යුද සමයේ කාන්තාවන් දැඩි අපහරණයට ලක්වන්නේ එක් පාර්ශවයකින් පමණක් ද යන මතය හරහා සිදුවන රූපමය ප්‍රකාශ සහ සෙල්වි තුළින් විද්‍යාමාන වියරු දරදඬු ශාරීරික ස්වභාව කෙතරම් ද ඒ තරමටම අන් පාර්ශවයකට සිදු නොවිණි ද යන ප්‍රශ්නාර්ථය ප්‍රේක්ෂකයා හමුවේ තැබීම තුළ අධ්‍යක්ෂවරයාගේ මේ ව්‍යායාමය කෙරෙහි අප තුළ ඇත්තේ සියුම් ප්‍රශ්නාර්ථයකි.

යුද සමයේ අඳුරු පැති දෘශ්‍යමාන ලෙස ඉදිරිපත් වන ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂවරයාගේ ‘පුරහඳ කළුවර’, ‘ඉර මැදියම’ සිනමා සිත්තම් යුගලයට පසු අප අද දකින ‘ඔබ නැතුව ඔබ එක්ක’ මෙම සිනමා සිත්තම පශ්චාත් යුද සමයේ අතුරු ඵල ලෙස විග්‍රහ කළ හැකිය.

‘පුරහඳ කළුවර’ තුළින් දුටු ‘වන්නිහාමි’ සහ ‘ඉර මැදියම’ හි ‘චමරි’ යුද සමයේ ඛේදනීය පීඩිත චරිත වේ. ඒවා මිය ගිය හෝ මියෙන චරිත නොවීය. සියල්ල දරාගත් පිළිතුරු සොයා ගිය යථාර්ථවාදී චරිත විය. පශ්චාත් යුද සමයේ නිරූපිත මෙහි හමුවන සෙල්වි ‘ඔබ නැතිව ඔබ එක්ක’ සිනමා සිත්තමෙහි ජීවත් නොකිරීම හරහා අප තුළ ඇත්තේ කුකුසකි. ව්‍යාකූල ජීවිත දෙකක් නිවැරැදි කර ගැනීමට දැරූ වෑයම ඝාතනය කිරීමකි. ඝාතනය වීමකි. ‘දැන් ඉතින් ඉන්දියාවට යන්න ඉස්සෙල්ලා උඩින් පැනල මැරියන්’ සෙල්විගේ සිත කීවේ එහෙමද? ප්‍රසන්න විතානගේ ඊට උත්තර සපයා තිබේද? විවාදයට බඳුන් වන ප්‍රේක්ෂක කුකුස එයයි.

ලොකු තිරයක පළමුවරට සෙල්වි චිත්‍රපටයක් බලන්නේ සරත්සිරි සමඟය. අවසානයේදී ‘අපරාදෙ සල්ලි‘ යනුවෙන් සරත්සිරි ප්‍රකාශ කරයි. එය සරත්සිරිගේ මමෝ ලෝකය පිළිබඳ කියැවෙන අවස්ථාවකි. එයම පසුව සරත්සිරි තුළින් අවලෝකණය වී සෙල්වි හමුවේ කරනු ලබන ප්‍රකාශ තුළ රළු බව ප්‍රේමය හමුවේ සාධනීය ලෙස මට සිළිටි වීම ආදරයේ අගය, අගය කළ නොහැකි තරමටම පිළිබිඹු වේ.

දෙදෙනා අතර ඇතිවන මත ගැටලුව සාධණීය වටපිටාවකින් සනාථ කිරීමට භාවිත කරන කෙටි වාග් ප්‍රහාර තියුණුය. සෙල්වි තුළින් ප්‍රකාශිත ප්‍රකාශන රූපමය ඉරියව්, අංග චලන නිහඬ භාෂාවක් මතු කරවයි. එහි ඇත්තේ තමන් පෙර දවස විඳි දෘශ්‍යමය කටුක ජීවිත අත්දැකීම් බව තහවුරු කරයි. සිත තුළ ගිලුණු මතකය මතුවන කාලය තුළ නලියන හැඟීම් නිරායාසයෙන් පැකිලීමකින් තොරව මුදා හැරෙයි. මේ තිර රචනයේ අපූර්වත්වයයි.

ආදරණීය නීල දෑසක අහිංසකත්වය විටෙක රෞද්‍රවීම දර්ශනය කරවන සමීප රූප භාවිතාව වර්ණ ගැළපීම, වතුකරයේ දිවා රාත්‍රී ඇතුළත පිටත දුරස්ථ හා සමීප පරිසරය මුසු කැමරා කෝණ භාවිතාව තාත්විකය. මුල අග රූප ඡේදනයට කතා සාරයට නව අරුතක් එක් කර ඇත. එය දෘශ්‍යමය අපූරුවක සංකලනයක් වැන්න. එසේම හඬට උචිත රූප චලනය සිනමා ආඛ්‍යානයේ දෘශ්‍යමය භාවිතාව උචිතය. තෙත බරිත බගවන්තලාව ස්වාභාවික පරිසරයේ අලංකාරත්වය කැමරා කාචයෙහි ගැබ්ව ඇති අයුරු බැහැර කළ නොහැකි තරමට විශ්මිත අපුරුවකි. තවද තෙත බරිත පරිසරයත්, තෙතක් නැති චරිත ද්වයත් ඉස්මතු වීම මනා ගැළපුමකි. එම්. ඩී. මහින්දපාල කැමරා අධ්‍යක්ෂවරයා ලෙස සිනමා සිත්තම තුළ රූප ජීවත් කරවයි.

ඉතාම කෙටි කාල පරාසයක් තුළ සිනමා සිත්තම තුළ ගලායන උකස් කඩයේ දර්ශන අවස්ථා එනම්, ගැනුම්කරුවන් සහ සෙල්වි අතර සිදුවන කෙටි කෙටිම රූප භාෂාව සංස්කරණයේ උප සංස්කෘතික ලක්ෂණයකි. එසේම ප්‍රශස්තය. එහි සැලසුම් ගෞරවය සංස්කාරක ඒ. ශිකර් ප්‍රසාද්ට සහ ශබ්ද නිර්මාණය කළ තපස් නායක්ට හිමි විය යුතුය. හඬක් නැති කාලපරාසය අතරින් මුල අග හඬ රිද්මය කතා සාරයේ හරයට, ලක්ෂ්මන් ජෝශප් සේරම් ගේ සංගීත සංයෝජනය ඔසුවක් වැනි හොඳ මුසුවකි.

විසල් රූප රාමු අතරින් සියුම් හැඟීම් කියාපාන විවරව සැලෙන සෙල්විගේ දෑසේ අනගි රූපමය අවස්ථාවන් රැසකි. උකස් කඩයේ යකඩ රාමු අතරින් රන් සහ ඇස් ගනුදෙනු විම, විවාහයෙන් පසු දින හිමිදිරිය, සරත්සිරිගේ යටගියාව හඳුනාගත් මොහොත, උකස් කඩයේදී මැදි වියේ ගැහැනියක හා ගනුදෙනු කිරීම, සරත්සිරි යුද සමයේ දීී සිදු වූ සිදුවීම පාපොච්චාරණය කිරීම, මතකයට නැඟෙන නිදසුන් අතළොස්සකි.

සැඟවුණු බරක් දරා සිටින එසේම මොහොතින් මොහොත සසල වන විසල් දෑසක් සමස්ත සිනමා සිත්තම පුරාවට ප්‍රේක්ෂක සිත් ග්‍රහණය කර ගනියි. එහි සියලු ගෞරවය ප්‍රසන්න විතානගේට හිමි වේ. ඒ ශ්‍රී ලාංකික සිනමාවට හඳුන්වා දෙන ඉන්දීය නිළි අන්ජලි පාටිල්ගේ රංගන ව්‍යායාමය නිර්ලෝභී ලෙස ලබාගෙන තිබීම හේතුවෙනි.

සැඟවුණු අතීතයක් රැගෙන එන තලත්තෑනි මිනිසා සරත්සිරි (ශ්‍යාම් ප්‍රනාන්දු) කතා සාරය තුළ නොකරන්නේ මොනවාදැයි සිනමා සිත්තම අවසානයේදී ප්‍රේක්ෂකයාගෙන්ම ප්‍රශ්න කරවන තරමටම යමක් නොව හුඟක් ඉටුකර වගවීම ප්‍රත්‍යක්ෂ කර තිබේ.

නොහික්මුණු හැඟීම් මුසු රමණ අවස්ථාව සරත්සිරිගේ කඨෝර මානසික හුරුව පිළිබිඹු කරවයි. එය අතිශය නිර්මල දයාබරිත ළෙන්ගතු බවකින් විසිරි යන්නේ නිහඬ ප්‍රේමයේ රමණීය පරිසමාප්තිය ඉස්මතු කරවමිණි. සරත්සිරි ජීවිතය සෙල්වි නිසාම වෙනස් කර ගනියි. සෙල්වි හිමිහිට ජීවිතය වෙනස් කර ගනියි. ඒ ආදරයේ අමිල බැඳීම නිසාමය. එහෙත් සියල්ල තත්පරයක ඇසිල්ලකින් වෙනස් වෙන්නේ සිතිවිලි සැලෙන සුලු බව නිහඬවම කියාපාමිණි. මඟ හැරුණු දේ සහ අත හැරුණු දේ සොයා යාමේ චාරිකාව අතිසංවේදී ලෙස නිමා වෙයි. සිනමා සිත්තමේ නිමාව දුඛාන්තයක් වීම තුළ එහි හරය ලුහු වීමකැයි වරෙක සිතේ. අවසානයේදී හරවත් වූ ‘ඔබ නැතුව ඔබ එක්ක’ ප්‍රකාශය පමණක් අප අත ඉතිරි කරවයි.

තවත් කරුණකි. එනම්, අතීතයේ දැන කියාගත් රුසියානු ජාතික පියදෝර් දොස්තොව්ස්කි ගේ ‘කීකරු යුවතිය’ කියවා යළි සිතින් හමුවීමට ඇත්නම් කොතරම් හොඳදැයි යන සිතුවිල්ල දලු ලා වැඩෙන තරමටම ප්‍රසන්න විතානගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා සිත්තම ප්‍රේක්ෂක හදවත් තුළට කාන්දු කරවා තිබේ.