වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




එක වගේ දෙන්නෙක් ගැන අපූරු කතාවක්

එක වගේ දෙන්නෙක් ගැන අපූරු කතාවක්

2015 සැප්තැම්බර් 25 වන දින සිට එල්. එෆ්. ඩී. මණ්ඩලයේ සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය කිරීමට නියමිත 'ලැන්ටිං සිංඤෝ' චිත්‍රපටය වසර 60 කට පසු නව වෙනස් මඟකට නිර්මාණය කර ඇති හාස්‍යජනක ගීතමය විනෝදාත්මක චිත්‍රපටයකි.

'ලැන්ටිං සිංඤෝ' යනුවෙන් නම් කොට දැනට නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන පූර්ණ හාස්‍යෝත්පාදක (විනෝදාත්මක) චිත්‍රපටයට අන්තර් ගතවන කතාන්දරයේ සංක්ෂිප්තය.

ඩඩ්ලි මිතුරුසිංහගේ විවාහක බිරිඳ සමදරායි. එහෙත් ඔහු සමදරාව අතහැර පිලොමිනා නම් වන ධනවත් කාන්තාවක සමඟ එක්ව ජීවත් වෙයි. මේ තත්ත්වය විසින් ඇති කරවනු ලබන කනස්සල්ල සිතින් මැඬගෙන වෙනත් විවාහයක් ගැන පවා නොසිතා තරුණ සමදරා සිය සුවිසල් මැදුරට වී හුදකලාව ජීවත් වෙයි. ලිසී නම් වන හැඩකාර ගෘහ සේවිකාවක් අප්පු නමැති සේවකයාත් එහිදී ඇගේ සහායට සිටී.

මෙසේ කලක් ගතවෙද්දී දිනෙක බලාපොරොත්තු නොවූ මොහොතක සමදරා වෙසෙන මැදුරට හදිසියේ පැමිණෙන ඩඩ්ලි මිතුරුසිංහ එහි වෙසෙන කිසිවකු සමඟ හෝ කිසිදු කතාබහක් නොකර ආපසු පිටත්ව යාමට සූදානම් වෙයි. තරුණ ගෘහ සේවිකාව මේ බව දැක ස්වාමිදුවට හෙවත් සමදරාට පවසයි. සමදරා ගෘහ සේවිකාවගේ සහාය ලබාගෙන ඩඩ්ලිගේ ගමන වලක්වා ආපසු යන්නට නොදී ඔහුව බලහත්කාරයෙන් මැදුරේ රදවා ගනී.

එහෙත් මේ පුද්ගලයා ඩඩ්ලි මිතුරුසිංහ නොවෙයි. මානසික රෝහලෙන් පැනගත් මානසික රෝගියෙකු වෙයි. ඔහුගේ පෙනුම සාකල්‍යයෙන්ම ඩඩ්ලි මිතුරුසිංහගේ පෙනුමට සමාන වෙයි. සමදරා සිතන්නේ පිලොමිනා විසින් ඇගේ මායම් දැලට ඔහුව හසුකර ගැනීම සඳහා කවන ලද කිසියම් 'ඉනා බෙහෙතක්' බඩේ දී විෂ වී තම සැමියා මෙසේ මානසිකව විකල්භාවයකට පත් වී ඇති බවයි. මෙම වැරැදි කල්පනාව ඔස්සේ ඇය ඔහු සමඟ අඹු සැමියන් ලෙස එකට ජීවත් වෙමින්ම ඔහුගේ රෝගී තත්ත්වය සුව කිරීමට ද අවංකවම උත්සාහ කරයි.

මෙම රෝගියා මානසික රෝහලෙන් පැන ගන්නා දිනයේදීම සිරකරුවෙකු ද සිර ගෙදරින් පැන ගනී. ඔහු නමින් 'මෝල් වත්තේ විමලයා' නම් වෙයි. පොලීසියත් සමඟ හැංගිමුත්තන් කෙළමින් දිවි ගෙවන විමලයාට දිනක් අහම්බෙන් මෙන් සර්පිනාවක් වයමින් ගී ගයා නගරයේ හිඟමන් යදින අන්ධ පුද්ගලයෙකුව දැකගන්නට ලැබෙයි. ඔහුව හොඳින් නිරීක්ෂණය කරද්දී මේ අන්ධයා කලක් තමන් සමඟ එකට සිරබත් කෑ සෙබස්තියන් නැමැත්තා බවත්, එවක ඔහුගේ දෑස් හොඳින් පෙනෙමින් තිබුණු බවත් විමලයාට සිහිපත් වෙයි. ඔහු හෙමින් සීරුවේ අන්ධයා වෙත ළංව ඒ පිළිබඳ ප්‍රශ්න කරයි.

විමලයාගේ අනුමානය සාර්ථක වෙයි. සෙබස්තියන් සැබෑවටම අන්ධයෙකු නොවෙයි. සිරගෙදරින් නිදහස්ව පැමිණෙන ඔහු ජීවත්වීම සඳහා දන්නා කියන සියලුම 'දෝස්මුර' දමා ඒ සෑම එකක්ම ව්‍යර්ථ වුණු තැනයි ජීවන රඟ මඬලේ මෙම අන්ධ හිඟන්නාගේ භූමිකාව රඟන්නට පටන්ගෙන ඇත්තේ. දෙදෙනා අතර කෙරෙන කතාබහ අවසන් වන්නේ සෙබස්තියන්ගේ ආරාධනාව මත විමලයා සෙබස්තියන් පවුල ජීවත් වන මුඩුක්කු පැල්පතේ පදිංචියට යාමෙන්. සෙබස්තියන් පවුලේ අනෙක් සාමාජිකාවන් දෙදෙනා වන්නේ සැර පරුෂ බිරිඳ කරලැයින් නෝනා සහ නව යොවුන් දියණිය ජුලියට්ය.

මුඩුක්කුවේ සෙබස්තියන් පවුල ජීවත් වන පැල්පත් නිවාසයට යාබද නිවසේ වෙසෙන පවුලේ ද සාමාජික සාමාජිකාවන් තිදෙනෙකු වෙයි. ගෘහ මූලිකයා 'මාර්ෂල් මහත්තයායි'. විශ්‍රාමික සොල්දාදුවෙකු වන මාර්ෂල් මහත්තයාගේ වත්මන් රැකියාව සිකුරිටි ජොබ් එකක්. පැල්පත දේවාලයක් බවට පත් කර ගෙන දේවාරූඪයෙන් මන්තර ගුරුකම් වැඩ කරන හැඩකාර 'රූපාවතී මෑණියෝ' මාර්ෂල් මහත්තයාගේ බිරිඳයි. ඔහුගේ එකම පුතු තරුණ රෝමියෝයි.

සෙබස්තියන්, මාර්ෂල් පවුල් දෙක අතර පවතින ආරෝව, ඊශ්‍රායල,පලස්තීන අරගලය මෙන් මේ කපේදී කෙළවර නොවන්නක්. එහි බීජය මායිම් මුල් කොට ගන්නක් නොවෙයි. මුල, සෙබස්තියන්ගේ සර්පිනා කබලයි. භාරයක් ඔප්පු කරන්නාක් මෙන් දිනපතා උදෑසන සෙබස්තියන් සිය සර්පිනාව 'රෙපයාර්' කිරීමට පටන් ගැනීම රෑ එළිවෙන තෙක් නිදිමරාගෙන මුර ජොබ් එක කර නිදි පැදුරට වැටෙන්නට බලාගෙන ගෙදර එන මාර්ෂල් මහත්තයට මළ කරදරයක්.

මුලින් පිරිමින් දෙදෙනා අතර කෙරෙන කට වචන හුවමාරුවක් ලෙස හීනියට පටන් ගන්නා ආරවුල හැමදාම අවසාන වන්නේ මහ ගෑනුන් දෙදෙනා කොණ්ඩාවලු පටලවා ගන්නා තරමේ මහ ගුටි කෙළියකින්. මේ තත්ත්වය වැඩිහිටියන් අතර නයි පොළොන් වෛරයක් ඇති කොට තිබුණත් තරුණ දූ පුතුන් දෙදෙනා එනම් ජුලියට් සහ රෝමියෝ 'රෝමියෝ ජුලියට්' ලෙවල් එකේ පෙම්වතුන්ය.

මුඩුක්කුවේ කරුනු කාරණා ඒ හැටියට සිද්ධ වෙද්දී දිනක් පිලොමිනාගේ හොඳම මිතුරිය රෝෂනී, පිලොමිනාව ඇගේ බංගලාවටම සොයගෙන ඇවිත් අමුතු ආරංචියක් දැනුම් දී සිටී. ඒ ඔප්පු කරන්න පුළුවන් සාක්කි සාධකත් එක්කයි. ඒ ඩඩ්ලි මිතුරුසිංහ සමදරාත් සමඟ ප්‍රසව හා නාරි වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණ සිටි බව සහ මේ වන විට සමදරා ගැබිනියකව සිටින බව. මේ කතාව පළමු වටයේදීම පිලොමිනා කොහත්ම පිළිගන්නේ නෑ. ඇයට අනුව රෝෂනී වලිගයක් පාගාගෙන. රෝෂනී දැක ඇත්තේ ඩඩ්ලිව නොවන බව පිලොමිනා පරසක්වල ගසමින් පවසනවා. තම ටෙලිෆෝනයේ කැමරාවට හසු කර ගන්නා ලද සමදරා සහ පිස්සාගේ යුගල ඡායාරූපය පිලොමිනාට පෙන්වීමට රෝෂනීට සිදුවන්නේ එතැනදීය.

පිලොමිනා ව්‍යාග්‍ර ධේනුවක පමණට සාහසික වෙනවා. ඇගේ වියරුව ඩඩ්ලි මිතුරුසිංහ අතට හසුවන මායිමක වී නම් මරාගෙන කන තරමට උත්සන්න වෙනවා. ඊට බලපාන ප්‍රබල හේතු දෙකක්ම පිලොමිනාට තිබෙනවා. එකක් ඩඩ්ලි ඇයව බොහෝ කාලයක් තිස්සේ සිට නරක ලෙස රවටා තිබීම. අනෙක ඇයට ඩඩ්ලිව අහිමි වී තිබීම.

තමන්ට අහිමි ඩඩ්ලිව, මෙලොව වෙනත් කිසිම ගැහැනියකට අයිති වෙන්නට ඉඩ නොතබන බවට දැඩි ආත්මාර්ථකාමී හැඟීමකින් මඬනා ලද සිතැත්තී පිලොමිනා, ඔහුව රහසිගතව විනාශ කිරීමට කුලී මිනීමරුවෙකුට ඝාතන කොන්ත්‍රාත්තුවක් බාර දෙනවා. මේ කුලී මිනීමරුවා වූ කලී අනෙකෙකු නොව මෝල්වත්තේ විමලයායි. විමලයා එම භාරදූර කාරිය සඳහා සහායට එක්කර ගන්නේ සෙබස්තියන්වයි.

හිරගෙදර කල්දේරම් බතේ කටුක රස දන්නා සෙබස්තියන්, එක ගලේ නැවත නැවත පය හප්පා ගැනීම නොකළ යුතු ගොංකමක් බව විමලයාට වටහා දී ඩඩ්ලි මහතා නොමරාම පිලොමිනා මැඩම්ගෙන් සම්පූර්ණ කොන්ත්‍රාත් මුදලම ලබා ගැනීමට කූට උපක්‍රමයක් යොදයි.

ඒ කුමක් විය හැකිද?