වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




මඳ පමණින් සිරිනාථට වෙච්ච දෙයක්

මඳ පමණින් සිරිනාථට වෙච්ච දෙයක්

අපේ සුප්‍රකට කලා අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා. මිනිහගේ කලා දිවියට වසරවලින් ගත්තොත් අවුරුදු හතළිහටත් වඩා පැරැණියි. මෙයා ඒ කාර්යයට අමතරව අංග රචනයෙහි ද යෙදෙනවා. ඒ වගේම වැඩ කටයුත්තක් අහවර කරලා හවසට හවසට හීනියට සප්පායම් වෙනවා. ඔන්න ඔය වගේ දවසක මෙයාව හමුවන්න තිරකතා රචක රුවන් මදනායක ආවා. මේ කලා අධ්‍යක්ෂවරයා සමඟ බොහෝ වෙලාවක් කදේ වැටුණු රුවන් එතැනින් නික්ම යන්නට හැදුවේ මැදියම් රැයෙත් භාගයක් විතර ගෙවුණට පස්සේ (එතනම් මෙයාලා සාකච්ඡා කර කර හිටියා නෙවෙයි, මඳ පමණට සප්පායම් වෙමිනුයි හිටියේ). රුවන් එක්කම නිවස බලා යාමට සිතුව මේ කලා අධ්‍යක්ෂවරයා නිෂ්පාදන කණ්ඩායමෙන් සමුගෙන පාරට බැස්සේ දර්ශන තලයට ආසන්නයේ තිබූ නිවසට පයින් යාමට. ඒත් රුවන්ට නැවතත් කොළඹ එන්න සිදු වුණා. ඔහු කතා කළා පරේ තිබුණු ත්‍රීරෝද රථයකට. බැලින්නම් ඒක කලා අධ්‍යක්ෂවරයාගේ හිතවත් කෙනෙක්ගේ. ත්‍රීවිල් රියැදුරු කිව්වා කලා අධ්‍යක්ෂවරයාටත් යමු කියලා රුවන්ව දාල එන්න.

මොකද කරන්නේ දැන් දෙන්නම නැංගා ත්‍රීවිල් එකට. ටික දුරයි ගියේ රාගම පැත්තේ පාළු පාරක් ගාවදී ත්‍රීවිල් එක නැවතුණා. රියදුරාට ඒක හදාගන්න කියලා රුවන් සහ කලා අධ්‍යක්ෂවරයා අසළ ඇති ඇල කණ්ඩියක වාඩි වුණා. එතකොට රුවන්ට කෝල් එකක් ආවා. රුවන් සාක්කුවෙන් ෆෝන් එක අදිද්දි අතට සිගරට්ටුවකුත් අහු වුණා. ඒක කලා අධ්‍යක්ෂවරයාට දීලා රුවන් කෝල් එකට සම්බන්ධ වුණා. ඒක ඉවර වුණාට පස්සේ රුවන් අර කලා අධ්‍යක්ෂවරයගෙන් සිගරට්ටුව ගැන ඇහැව්වා. ඒක ඔහුගේ අතේ නැහැ. දෙන්නම හිතුවේ ඒක බිම වැටිලා කියලා. මොකද දෙන්නගෙම සිහිය තියෙන්නේ මඳ පමණටනෙ. කොහොම හරි දැන් දෙන්නා සිගරට්ටුව පොළව හාර හාර හොයනවා. හරියට ඌරුමීයො දෙන්නෙක් වගේ. එතන තිබුණු තණකොළ ටිකක් උගුල්ලලා. ඒත් නැහැ මේ කලබලය අස්සෙ ත්‍රීවිල් රථ රියදුරු ත්‍රීවිලය පණගන්වාගෙන. ඔහු අර දෙන්නට කතා කළා. දෙන්නම ත්‍රීවිල් එක ගාවට ආවා. කලා අධ්‍යක්ෂවරයා පුරුද්දට තොප්පියක් දානවා. ඒ පිණිබාන හින්දා. මෙයා ත්‍රීවිල් එකට නඟින්න තොප්පිය ගැලෙව්වා. ගැලෙව්ව ගමන් ත්‍රීවිල් රියදුරු ඇහැව්වා මොකද මහත්තයා සිගරට් එකක් ඔළුවේ ගහගෙන ඉන්නේ. එතකොටයි දෙන්නටම වැටහුණේ මෙච්චර වෙලා තමන් හොයපු දේ කොහෙද තිබුණේ කියලා. මේ කලා අධ්‍යක්ෂවරයා කවුද දන්නවද සිරිනාථ වික්‍රමසිංහ. ඕං අපි ඒක දැම්මා පින්තූරේ පිටින්ම.