වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ශ්‍රී දේවි දෝණිත් තිරයට

ශ්‍රී දේවි දෝණිත් තිරයට

වර්තමානයේ ජනප්‍රිය බොලිවුඩ් තරු ගැන කතා කරනවිට පෙර පරම්පරාවන් දීප්තිමක් කළ තරු ගැනත් අපි කතා කරනවා. අනාගතය වෙනුවෙන් පායන ඇතැම් තරු ගැන කතා කරන විටත් පෙර පරම්පරාවේ තරු වල දීප්තිය යළිත් දැල්වෙනවා. ශ්‍රී දේවි අසූව අනූව දශකවල බොලිවුඩය දීප්තිමත් කළ රංගන තරුවක්. ඇය චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් සමඟ විවාහයෙන් පසු සිනමාවෙන් දුරස් වුනේ තම පවුල හා දියණියන් දෙදෙනා වෙනුවෙන්.

ඇයගේ වැඩිමහල් දියණිය ජාන්වි දැන් ඉන්දීය සිනමාවට එක් වෙන්න සූදානමින් සිටිනවා. බාහුබාලි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළ එස්. එස් රාජ්මෞලිගේ පියා වන කේ. වී විජේන්ද්‍ර අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටයට ජාන්වි රංගනයෙන් දායක වෙන්න සූදානම්ලු. එහිදි ඇයත් සමඟින් රංගනයේ යෙදෙන්න නියමිතව සිටින්නේ මලයාලම් සිනමාවේ ජනප්‍රිය යොවුන් නළු දුල්කර් සල්මන්. මේ චිත්‍රපටය මලයාලම්, දෙමළ, තෙළිඟු සහ හින්දි භාෂාවන් ගෙන් නිකුත් වීමට නියමිතයි.

1997 වසරේ උපන් ජාන්විහට ඇයගේ මවගේ සුන්දරත්වය නොඅඩුව ලැබී තිබෙනවා. ජාන්වි දැනටමත් මෙම චිත්‍රපටයේ චරිතයක් තෝරාගෙන අවසන් බවයි ආරංචි වෙන්නේ. ඇයත් මව සේම දීප්තියෙන් ඉහළ තරුවක බවට පත්වනු ඇති බවට දැනටමත් මත පළ වෙලා.