වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ගාමිණී 11 වැනි සැමරුමට

ගාමිණී 11 වැනි සැමරුමට

උදෑසන පුෂ්පෝපහාර - ළමුන්ට පොත් පත්

සවස - ප්‍රසන්න විතානගේ, ආචාර්ය සරත් අමුණුගම

සමරු දෙසුම් සමඟ නිධානය රට පුරා ශාලා 7 ක කවුද රජා

මෙම 30 වැනිදාට යෙදෙන හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා රංගවේදියාණන්ගේ එකොළොස් වැනි ගුණ සමරුව නිමිති කර ගනිමින් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක වේ. ඒ අනුව එදින උදැසන 10 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහල අභියස ඇති ගාමිණී පිළිරුවට පුෂ්පෝපහාරයක් පුද කෙරේ. එම අවස්ථාවට සමගාමීව නාගරික මන්ත්‍රී සමන් අබේගුණරත්නගේ අධීක්ෂණය යටතේ තෝරා ගත් දිළිඳු ළමුන් පන්සිය දෙනෙකුට පොත්පත් බෙදා දීමක් ද සිදුවනු ඇත. එදින සවස 5.30 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ගාමිණී සමරු දෙසුම් දෙකක් පැවැත්වීමට නියමිතය. ගාමිණී රංගධරයා සහ අධ්‍යක්ෂවරයා යන මාතෘකාව යටතේ ප්‍රසන්න විතානගේ පළමු දෙසුම පවත්වන අතර, ආචාර්ය සරත් අමුණුගම ගාමිණී රංගධරයා සහ දේශපාලඥයා යන මැයෙන් ගාමිණීගේ දේශපාලන දිවිය පිළිබඳව දෙවැනි දෙසුම පවත්වයි. එම කාර්යයෙන් අනතුරුව සවස 7 ට ගාමිණී රඟපෑ විශිෂ්ටතම සිනමා කෘතියක් වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන් අධ්‍යක්ෂණය කළ නිධානය ප්‍රදර්ශනය වනු ඇත.

එමෙන්ම ගාමිණී ෆොන්සේකා රඟපෑ කවුද රජා සිනමාපටය ලිබර්ටි ලයිට් - කොළඹ, ඇමිටි ලයිට් - මහරගම, සිටි සිනමා - රත්මලාන, ඩොන්ස් ප්ලාසා - කළුතර, ස්කයි ලයිට් - මාතර, එන්. අයි. පී. - කුරුණෑගල සහ චායා - කෑගල්ල යන සිනමාහල්හී එදින රාත්‍රී 7 ට තිරගත වීමට නියමිතය. මෙම සිනමා ශාලා ඩිජිටල් තාක්ෂණය යටතේ නවීකරණය කෙරුණකි.