වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




රජත ස්වර විවිධ සංගීත සම්ප්‍රදායන් හි මුසුවක්

රජත ස්වර විවිධ සංගීත සම්ප්‍රදායන් හි මුසුවක්

අජිත් ජයවීර

ජාතික රූපවාහිනියේ වැඩ බලන සංගීත වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවය කරන අජිත් ජයවීර මේ දිනවල ඔබ හමුවට පැමිණෙන්නේ සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රි 11.30ට ‘රජත සර’ නම් ඔහුම නිෂ්පාදනය කරන සංගීත වැඩසටහන සමඟිනි. පසුගිය සුමති සම්මාන උලෙළේ දී හොඳම සංගීත වැඩසටහන ලෙස මේ සඳහා සම්මානයක් හිමි වූ අතර ඒ පිළිබඳත්, මේ වැඩසටහන හා ඔහුගේ සංගීත ජීවිතය පිළිබඳත් අජිත් දර්ශන ජයවීර සමඟ කළ සාකච්ඡාවකි.

ඔබට මේ සියලු හක්කලං කරන්නට හැකි වන්නේ සංගීතය පිළිබඳ මනා අයුරින් හදාරා ඇති බැවින් වග පෙනෙනවා. ඔබගේ ගුරුවරු සමඟ ගෙවුණු ඒ අතීතය මතක ද ?

මා ඉගෙන ගත්තේ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ. මේ පාසල 1967 තමයි ආරම්භ කළේ. එහි ආරම්භක පරපුරේ ශිෂ්‍යයෙක් ලෙසයි මා ගැනෙන්නේ. මා සංගීතයට අත්පොත් තියන්නේ නවරත්න අත්තනායක මහත්තයා යටතේයි. උසස් අධ්‍යාපනය ලැබුවේ කිත්සිරි අලුත්ගේ කියන ගුරුතුමාගෙන්. ඊළඟට රෝහණ වීරසිංහ මහත්තයාගෙන්. විශ්වවිද්‍යාලයට යන්නට පෙර මා ගුවන් විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයේ වයලින් වාදකයෙක් විදියට සේවය කළා. ලලිත කලා උපාධිය කරන ගමන් මා බටහිර සංගීතය හැදෑරුවා. ඒ ඩග්ලස් ෆර්ඩිනන්ඩ් කියන සංගීතඥයා යටතේ. ඔහු යටතේ ලන්ඩනයේ පස්වැනි වසර සමත් වී තිබෙනවා. බී. වික්ටර් පෙරේරා යටතේ මා වයලීනය ප්‍රගුණ කළා. ඒ ඔස්සේ මා ඉන්දියානු විභාග පාස් කරලා තිබෙනවා. මේ විදියට ලබාගත් පෙර අපර දෙදිග දැනුම මට වැඩසටහන පවත්වාගෙ යෑමට උවමනා වුණා.

ගුවන් විදුලියේ ගෙවූ කාලයේ ලැබූ අත්දැකීම් මොනවගේ ද?

එහිදී මා ලංකාවේ හා ඉන්දියාවේ ඉන්න ශ්‍රේෂ්ඨ සංගීතඥයන් පිළිබඳ කළ වැඩසටහන්වලට වයලින් වාදනයෙන් සම්බන්ධ වී තිබෙනවා. ඒ ශාස්ත්‍රීය සංගීත වැඩසටහන්වල දී. ඒ ඔස්සේ ලැබූ අත්දැකීම් ඇත්තටම මට බෙහෙවින් ප්‍රයෝජනවත් වුණේ ‘රජත සර’ වැඩසටහනටයි. මේ විදියට කටයුතු කරන අතරදියි මා රූපවාහිනියට ඉල්ලන්නේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේදීයි.

ජාතික රූපවාහිනියේ සාමාජිකයෙක් ලෙස ඔබ එහි පිවිසුණු දා පටන් අද දක්වා පැමිණි ගමන්මග ගැන යමක් කියමු ද?

ජාතික රූපවාහිනියට මා පිවිසෙන්නේ පුහුණු වන නිෂ්පාදක සහකාරවරයෙක් ලෙසයි. ඒ 83 වසරේදී. කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යාපනයෙන් පස්සේ සහභාගී වන මේ කටයුත්තේ දී පුහුණුව අවසන් වෙලා නිෂ්පාදක සහකාරවරයෙක් ලෙස ජාතික රූපවාහිනියේ සේවයට බැඳෙනවා. ඊළඟට වැඩසටහන් නිෂ්පාදන සහකාරවරයෙක් ලෙස සංගීත අංශයේත්, ඊට පසුව ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක ලෙසත්, සහකාර අධ්‍යක්ෂ ලෙසත්, දැනට වැඩ බලන සංගීත වැඩසටන් අධ්‍යක්ෂ ලෙසත් මා දිගු ගමනක නිරත වෙනවා. ඒත් සමඟම වැඩසටහන් නිෂ්පාදකයෙක් ලෙසත් කටයුතු කරනවා. පසුගිය දවස්වල සුමති සම්මාන උලෙළේ දී සම්මානයට පාත්‍ර වූ ‘රජත සර’කියන සංගීත වැඩසටහන නිෂ්පාදනය කරන්නේත් මමයි.

‘රජත සර’ සංගීත වැඩසටහන වර්තමානයේ විකාශය වන සංගීත වැඩසටහන්වලින් වෙනස් ආරක් ගත් වැඩසටහනක් බව පෙනෙනවා.

මේ වැඩසටහනේ තිබෙන විශේෂත්වය වන්නේ අපේ රටේ සම්ප්‍රදායික ජන සංගීතය, උතුරු ඉන්දියානු හින්දුස්ථානී සංගීතය, දකුණු ඉන්දියානු කර්ණාටක සංගීතය, සම්භාව්‍ය බටහිර සංගීතය කියන මේ සියල්ලම මුසුවුණු වැඩසටහනක් වීමයි. එහිදී වරින්වර මේ සියලුම අංශ යටතේ ශිල්පිනියන් සහ ශිල්පීන් ඊට දායක වුණා. භාරතයෙන් පැමිණි භාරතීය සංගීතඥයන් වගේම බටහිර රටවලින් පැමිණි බටහිර සංගීතඥයන්, ලංකාවේ ශිල්පීන් ඇතුළු මේ ඔවුන් සියලු දෙනාවම සහභාගී කළ හැකි එකම වැඩසටහන වූයේ ‘රජත සර’ යි. මා දන්නා විදියට මීට පෙර මෙවැනි වැඩසටහනක් විකාශය වූයේ ගුවන් විදුලියේ පමණයි. එහෙත් ඒ වැඩසටහනත් මේ වනවිට විකාශය වන්නේ නැහැ.

මේ වැඩසටහන ආරම්භ වන්නේ කොයි කාලයේ ද?

මේ වනවිට ‘රජත සර’ ආරම්භ කරලා වසර තුනක කාලයක් පමණ වෙනවා. වැඩසටහන සඳහා නම දැම්මේ අපේ අහුබුදු සූරීන්. මෙහි නිවේදන කටයුතුවලින් මට සහය වන්නේ ශාස්ත්‍රපති ලාල් ආනන්ද අබේධීරයි. බ්‍රහස්පතින්දා රාත්‍රි 11.30ට මේ වැඩසටහන විකාශය වුණත් ඊටම ආදරය කරන ප්‍රේක්ෂක සමූහයක් මේ වටා එක්රොක් වී සිටිනවා. විශේෂයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් ශිෂ්‍යයන්, කථිකාචාර්යවරුන් ඇතුළු බොහෝදෙනා ‘රජත සර’ නරඹනවා. ඊළඟ දවසේ ඔවුන්ගේ අදහස්, උදහස්වලින් දුරකථනය පිරිලා. මෙතෙක් පැවැති කාලය ඇතුළත ඒ ලැබෙන ප්‍රතිචාරවලින් නම් අඩුවක් මා දුටුවේ නැහැ.

ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් මෙවැනි වැඩසටහනක් ආරම්භ කරන්න සිතුවේ ඇයි ?

සංගීතය ළැදි කෙනෙක් විදියට කාලයක පටන් මේ වගේ වැඩසටහනක් කළ යුතු යැයි කියන මතයේ මා සිටියා. එමෙන්ම මට තිබුණු සංගීත දැනුමත් සමඟ යමක් කළ යුතු යැයි සිතුවා. පළමු කාරණය නම් එහි ප්‍රතිඵලයක් විදියටයි ‘රජත සර’ ආරම්භ වන්නේ. අනෙක් කාරණා නම් මෙවැනි වැඩසටහනක් මෑතක මෙතෙක් කිසිම අංශයක නිෂ්පාදනය නොවීමයි.

 ‘රජත සර’ ශ්‍රව්‍ය මාධ්‍යයෙන් වෙනස් වන්නේ කෙසේ ද ?

මේ වැඩසටහන වඩාත් සමීප වන්නේ දෘශ්‍ය මාධ්‍යයට වඩා ශ්‍රව්‍ය මාධ්‍යයටයි. එහිදි දෘශ්‍ය මාධ්‍යයෙන් ඒ පැමිණෙන සංගීතඥවරිය හෝ සංගීතඥවරයා කවුදැයි නරඹන්නන්ට හඳුනාගත හැකි වීමත්, ඔවුන්ගේ ප්‍රාසංගික බව දකින්න ලැබීමත් කියන කාරණා ප්‍රමුඛ වෙනවා. නමුත් මේ වැඩසටහන දෘශ්‍ය සංකලනයක් ලොකුවට අවශ්‍ය වැඩසටහනක් නොවෙයි.

‘රජත සර’ වගේ වැඩසටහනක් මෙවැනි විකාශන කාලයක් ඇතුළේ විකාශය වන්නේ ඇයි ?

මුලදි මටත් එවැනි ප්‍රශ්නයක් තිබුණා. එහෙම වුණත් බොහෝ පිරිසක් මේ වැඩසටහන නරඹනවා. නැත්නම් දෙසියයක් තරම් වැඩසටහන් ගණනක් පවත්වා ගෙන එන්නට අපට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ වනවිට කළමනාකාරීත්ව හතරක් වෙනස් වුණත් වැඩසටහනට ප්‍රශ්නයක් වුණේ නැහැ. ‘රජත සර’ තුන්වරක් සම්මාන උලෙළට නිර්දේශ වුණා. මෙවරයි හොඳම සංගීත වැඩසටහන ලෙස සම්මානය ලැබෙන්නේ.

මෙවර එසේ සම්මානයක් ලැබෙන්නට තරම් ‘රජත සර’ වැඩසටහනේ විකාශය වූ විශේෂ අංගය වන්නේ කුමක් ද?

අපට මේ සම්මානය ලැබෙන්නේ ‘රජත සර’ ඔස්සේ විකාශය වූ වී. හේමපාල පෙරේරා කියන ශ්‍රේෂ්ඨ සංගීතඥයා පිළිබඳ කළ වැඩසටහනටයි. ඔහු ලංකාවේ ඉතාම ජනප්‍රිය ශාස්ත්‍රීය සංගීතඥයෙක්. ලංකාවේ ඉන්න හොඳම බටනළා වාදක ශිල්පියා. සෑම සංගීත භාණ්ඩයක්ම වාදනය කරන්න ඔහුට හැකියාව තිබෙනවා. ඔහු විසින් පසුගිය කාලයේ උත්තර භාරතීය සංගීතයට අනුකූලව සරල ශාස්ත්‍රීය ගීත හතරක් නිර්මාණය කරනු ලැබුවා. ඒ ගීත ලිව්වේ පද්මා කහඳවල කියන හින්දි සාහිත්‍යධාරිනියක්. ඈ විසින් නිර්මාණය කළ මේ ගීතවල ඇතුළත් වී තිබෙන්නේ දෙවියන් උදෙසා ලියන ලද බජන් ගීතයි. ඒ ගීත හතරට උත්තර භාරතීය රාගධාරී සංගීතය ඇසුරින් ඔහු සංගීතය නිර්මාණය කළ මේ ගීත ගැයුවේ රශ්මි සංගීතා, අසිත් අතපත්තු, දර්ශන ප්‍රමෝද් කියන ශිල්පීන් තිදෙනායි. මේ ගීතවල තිබෙන විශේෂත්වය වන්නේ අප මෙතෙක් රස විඳ ඇත්තේ ඉන්දියාවේ තැනුන බජන් ගීතයි. එහෙත් අපේ රටේම, හින්දි භාෂාවෙන්, ශාස්ත්‍රීය සංගීතයට අනුව බජන් ගීත තැනුණා අඩුයි. ඒ අඩුවයි ඔහු සම්පූර්ණ කළේ. එහිදී ඔහු මේ ගීත රාගයක් ඇසුරු කරගෙන නිර්මාණය කළේ කෙසේදැයි බටනළාවක් වාදනය කරමින් පෙන්වනවා. ඒ වචනවල තේරුම, ගීතවලට සංගීතය නිර්මාණය කිරීමේදී යොදාගත් රාග, ඒ රාග යොදා ගත්තේ ඇයි කියලා මනා අයුරින් ඒ වැඩසටහනේදී විස්තර කෙරෙනවා. ‘රජත සර’ අනෙක් වැඩසහන්වලින් මේ වැඩසටහන වෙනස් වූණේ ඒ කාරණා ඔස්සේයි. මේ වැඩසටහන සුමති සම්මාන උලෙළට ඉදිරිපත් කළාට පස්සේ නිර්දේශ වේවි කියල නම් සිතුණා. ඒ මේ වැඩසටහනේ තිබෙන වැදගත්කම නිසයි. නමුත් මෙවර වාසනාව අපට හිමිවුණා.

‘රජත සර’ සඳහා සහභාගී කරගන්නා ශිල්පීන් හා ශිල්පිනියන් තෝරා ගැනෙන්නේ යම් පදනමක් මත ඉඳල ද ?

මේ වැඩසටහන ශාස්ත්‍රීය සංගීත වැඩසහනක් නිසා අපේම රටේ විශිෂ්ට සංගීතඥයන්ට පමණක් ලඝු වී ශිල්පීන්, ශිල්පිනියන් තෝරා ගැනෙන්නේ නැහැ. ඒ අය පෙරදිග ද, අපරදිගද කියන කාරණයටත් ලඝු වෙලා නැහැ. කුමන දේශයක වුණත් විශිෂ්ට සංගීත ශිල්පියෙක් නම් ඔහුව මේ වැඩසටහනට සුදුස්සෙක් ලෙසයි මා සිතන්නේ. එපමණක් නොවෙයි ඒ සහභාගී වන කෙනාගේ අධ්‍යාපන මට්ටම, ප්‍රායෝගික කුසලතා කොයිතරම් දුරට වර්ධනය වී තිබේද?, ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ මනා හැදෑරීමක් කළ, පර්යේෂණ පැවැත් වූ අයෙක් විය යුතුයි. එවැනි අය පමණයි අප මේ වැඩසටහනට තෝරා ගනු ලබන්නේ. ඒ තෝරා ගැනෙන්නා නිකම්ම නිකම් සරල ගී ගායකයෙක් නොවිය යුතුයි. බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙක් විය යුතුයි.

ඒ වගේම ‘රජත සර’ දමිළ භාෂාවෙන් ද විකාශය වන වග අසන්න ලැබුණා. ඒ කාරණය සත්‍යයක් ද ?

ඔව්. ඒ කටයුත්ත කෙරෙන්නේ දෙමළ සංගීත රසිකයන්නේ ඉල්ලීමක් අනුවයි. අපේ ‘නේත්‍රා’ නාළිකාවේ දී බ්‍රහස්පතින්දා සවස 5.30ට නැවත විකාශයක් ඉදිරිපත් වන්නේ ඔවුන්ගේ රස වින්දනය සඳහායි. එහි නිවේදන කටයුතු කරන්නේ නෙරංජනී ශංමුගරාජායි.

ඔබ සංගීත නිර්මාණයෙන් සහභාගී වූ ගීත කිහිපයක්ම මේ වනවිටත් ජනප්‍රිය වී තිබෙනවා.

දයාරත්න පෙරේරා ගයන ‘නොදොඩා මුවින්, ‘දිගු නෙත් හසරැල්ලේ’, ‘නෙතට නෙත මුණ ගැසිලා’, ලක්ෂ්මන් හේවාවිතාරණ ගයන ‘කිරිවෙහෙර වැන්දා වගේ’ කියන ගීත අදත් ශ්‍රාවකයන් අතර ජනප්‍රියයි. මේ වනවිට මා ගුවන් විදුලියේ ඒ ශ්‍රේණීයේ වයලින් වාදකයෙක්. බී ශ්‍රේණියේ සරල ගී ගායකයෙක්. මා ගැයූ එක ගීතයක් හෝ ජනප්‍රිය යැයි කියා සිතෙනවා. ඒ හදිසියේම ගැයූ ‘අනේ මන්දා’ කියන ගීතයයි. මේ ගීතය ලිව්වේ ප්‍රේමකීර්ති ද අල්විස්. සංගීතය නිර්මාණය කළේ තිස්සසිරි පෙරේරා. අප තිදෙනාගේ පුංචි හමුවීමකදීයි ඒ ගීතය බිහි වන්නේ. මම ඒ ගීතය මුලින්ම ගායනා කරන්නේ මගේ සරල ගී වැඩසටහනටයි. ඊට පසුවත් ඒ ගීතය රූපවාහිනියේ වගේම ගුවන් විදුලියේත් නිතරම වගේ ප්‍රචාරය වුණා. ගායනයට වඩා දක්ෂකම් දක්වන්නේ වාදනයට නිසා දිගටම ඒ කාර්යයේ නියැළුණා. මේ තනතුරේ සිටියත් දැනටත් මා කැමැතියි ඇතැම් රූපවාහිනි වැඩසටහන්වලට වයලින් වාදකයෙක් විදියට කටයුතු කරන්න. ඒ මගේ සිතේ සතුට සඳහායි. කවදාහරි විශ්‍රාම ගියා පස්සේ ගුවන් විදුලියට සම්බන්ධ වී වයලින් වාදකයෙක් ලෙස කාලය ගෙවන එක මගේ එක් හීනයක්.

ටෙලි නාට්‍ය සඳහා සංගීතයෙන් දායක වීමටත් ඔබට අවස්ථාව හිමි වී තිබේ ද?

විමලරත්න අධිකාරී, සංතුෂ ලියනගේ කියන අයගේ නිර්මාණ කිහිපයකටම සංගීත නිර්මාණයෙන් දායක වීමට අවස්ථාව මට හිමිවුණා. ඒ අතරට ඒකාංගික ටෙලි නාට්‍ය හතකුත්, වෘත්තාන්ත ටෙලි නාට්‍ය දෙකකුත් අයත්.

ඔබ යටතේ කෙරෙන අනෙක් සංගීත වැඩසහන් මොනවාද ?

මා යටතේ සංගීත නිෂ්පාදන කටයුතු කරන විවිධ තනතුරු දරන දහතුන් දෙනෙක් ඉන්නවා. ඔවුන් අතින් බිහිවන ‘සුසර දැහැන’, ‘සිහිනයකි රෑ’, ‘රිදම් චැට්’ ආදී වැඩසටහන් බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගෙන තිබෙනවා. මේ සියල්ල සිදුවන්නේ මගේ අධීක්ෂණය යටතේයි.