වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය - ස්ටීවන් ස්පිල්බර්ග් නිපද වූ ටොම් කෲස් රඟ පෑ ‘වෝර් ඔෆ් ද වර්ල්ඩ්’ සිනමාපටයට පාදක වූයේ එච්. ජී. වේල්ස්ගේ විද්‍යා ප්‍රබන්ධ නවකතාවද?
 

මලින්ත විතානගේ

යටත්වල, රුවන්වැල්ල

අර්ජුන් -ඔව්, එය එච්. ජී. වේල්ස්ගේ නවකතාව පාදකකර ගත් චිත්‍රපටයක් තමයි.

ප්‍රශ්නය - දෝ බිගා සමීන් චිත්‍රපටයේ කතා තේමාව යොදා ගනිමින් සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය කර තිබේද?
 

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල, කොටුගොඩ.

අර්ජුන් -දන්නා තරමින් නම් නැහැ.

ප්‍රශ්නය - ළඳක මහිම චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම ගේ බිරිඳ ලෙස රඟපාන නිළිය කවුද?
 

සුදත් නිශාන්ත

මීගමුව.

අර්ජුන් -නීටා ප්‍රනාන්දු. එය ඇයගේ මුල්ම චරිතාංග රංගනයයි.

ප්‍රශ්නය - ෆ්‍රෙඩී සිල්වා ගැයූ ‘පරෙවියා වගේ රාජ මාළිගේ’ යන ගීතය වර්තමානයේ දිනේෂ් චන්දික ප්‍රනාන්දු (රෙඩ්) ගයන ‘රාජ මාළිගේ පරේවියා වගේ’ යන ගීය ගැන ඇති වී තිබෙන මත ගැටුම ගැන ඔබ දන්නා තොරතුරු කවරේද යන්න පැහැදිලි කර දෙන්න.
 

තිලකරත්න විල්වල

තටාකය පාර, කෑගල්ල.

අර්ජුන් - මං දන්නෙ මාධ්‍යවලින් කියූ දේ පමණයි. ඇත්තටම මා ෆ්‍රෙඩී සිල්වා මේ ගීතය ගායනා කළ වග ඇහුවේ දිනේෂ් ගේ ගීතය ඇහුවාට පසුවයි.

ප්‍රශ්නය - කිහිපවරක්ම විවාහ වුණ නිළියකගේ විවාහ මංගල උත්සවයට ඔබත් සහභාගි වුණා කියන්නේ ඇත්තද අර්ජුන්?
 

ෆිලීෂන් පෙරේරා - හංවැල්ල

අර්ජුන් - ඒක බොරුවක්. මේ වතාවේ නම් මට යන්න හම්බ වුණේ නෑ. හැබැයි ඊළඟ වතාවේ නම් නොවැරදීම එනවා කියා ඇයට පොරොන්දු වුණා.

ප්‍රශ්නය - විධුර ජාතකය ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කළා යැයි කියන්නේ ඇත්තද?

අර්ජුන් - 1955 දී එහෙම සූදානමක් තිබුණාලු. මාතලන් චිත්‍රපටයේ නිෂ්පාදක එස්. එම්. නායගම් නිපදවන්නට තැනූ එය අධ්‍යක්‍ෂණය කළේ ඒ. එස්. නාගරාජන්. මදුරාසියේ වාහිනී චිත්‍රාගාරයේ එහි දර්ශන තල සැකසූවත් චිත්‍රපටය කෙරුණේ නැහැ. ඒ දවස්වල තිබෙන ප්‍රවෘත්තිවල හැටියට එය තැනුවා නම් අපේ මුල්ම වර්ණ චිත්‍රපටය වන්නේ එයයි.

ඔබේ සිනමා පැන විසඳුම් අර්ජුනගෙන් පිළිතුරු. සරසවිය, ලේක්හවුස්, කොළඹ 10