වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




මම කිසිම දිනෙක වෙරළබඩ පැල්පතකට අඩිය තියලා නෑ
තමන්ගේම කෘතියක් පිළිබඳ සාහිත්‍යවේදියකු දක්වන අදහස් ඇතුළත් ලිපි මාලාව

මම කිසිම දිනෙක වෙරළබඩ පැල්පතකට අඩිය තියලා නෑ

ජයකොඩි සෙනෙවිරත්න කුමාරිහාමි ගැන පවසයි

ලූකස් දෑත දෙ වුර මත රඳවාගෙන වෙරළේ ගල් පරයක් මත හිටගත්වනම මුහුද දෙස බලා සිටී. මුහුදින් ගොඩ බිමට නිබඳවම රළු සුළං රැළි හමයි. ඒ සුළං රැළිවල සීගතු පින්න මිදී ඇතුවාක් වැන්න.

වාරකන් සමය ලබා දැන් මාසයක් ඉක්ම ගොස් ඇත. මේ මාසය තුළ තඹ දොයිතුවක් හම්බු කළ දවසක් ලූකස්ට මකත නැත.

ලූකස් පමණක් නොව මයිකල්, ඇන්ටනි වැන්නවුන්ද මුහුද සමඟින් ජීවිතය වෙනුවෙන් සටන් කරති. වාරකන් සමයට මුහුද දෙස බලා හූල්ලති. එපමණක් නොව මුහුදුකරයේ දුෂ්කර ජීවිතවලට උරුමකම් කියන මේරි, ජෙනිටා, විනිපි‍්‍රඩා ද තම ජීවිත ගැට ගසා ගන්නට වෙර දරති. මේ අතර හිච්චි මහත්තයා වැනි සල්ලාල ව්‍යාපාරිකයන් ඔවුනගේ ජීවිතවලට එබිකම් කරන්නේ තම පුද්ගලික අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහාම පමණි.

මේ බව විවරණය වන්නේ වෙරළබඩ ජීවිත පසුබිම් කර ප්‍රවීණ ලේඛක ජයකොඩි සෙනෙවිරත්නයන් අතින් ලියවුණු ‘කුමාරිහාමි’ නවකතාවෙනි. 1984 වසරේ හොඳම නවකතාවට හිමි රාජ්‍යයක සාහිත්‍ය සම්මානය ලද එය ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාව විසින් ටෙලිනාට්යදයකටද නඟන ලදී. අද මං සලකුණ විශේෂාංගයෙන් ජයකොඩි සෙනෙවිරත්නයන් ‘කුමාරිහාමි’ නවකතාව පිළිබඳ කතා කරන්නේ එය ඔහුගේ සාහිත්‍ය ජීවිතයේ ඉතාම වැදගත් සන්ධිස්ථානයක් වූ බැවිනි.

“1972 – 73 කාලයේ මම සේවය කළේ පානදුර ප්‍රදේශයේ. දවසක් මම ගෙදර ඉස්සරහට වෙලා ඉන්න කොට වයස අවුරුදු හැට පහක හැත්තෑ පහක විතර බොහොම කෙසඟ පුද්ගලයෙක් පාර දිගේ පුටු දෙකක් කත් බැඳ ගෙන ආවා. මමත් එළියේ ඉන්නවා දැකලා ඔහු මගෙනුත් පුටු ගන්නවාද කියලා ඇහුවා. පුටු දෙකේම මිල වුණේ රුපියල් අනූවක්. ඔහු කෙතරම් පිංසෙන්ඩු වුණත් අපේ ගෙදර පුටු තිබුණු නිසා මට ඒ ඉල්ලම ප්‍රතික්ෂේප කරන්න සිදු වුණා. පසුව ඔහු දිගටම ඇවිද ගෙන ගියා. සවස් වරුවේ ඔහු යළිත් ආවේ කත් ලීය විතරක් අරගෙන. මං ඉන්නවා දැකලා ඔහු මං එක්ක ටිකක් කතා කළා.

“අනේ මහත්තයා මං ඒ පුටු දෙක ගෙනාවේ රුපියල් රුපියල් හැත්තෑ පහකට. ඒ වුණත් කිසිම කෙනෙක් ඒවා ඒ ගාණටවත් ගන්න කැමැති වුණේ නැහැනේ. අන්තිමට එක්කෙනෙක් කැමැති වුණේ රුපියල් හැත්තෑවකට ගන්න. අනේ.... මං අතින් රුපියල් පහක් පාඩු කරගෙන ඒ පුටු දෙකම රුපියල් හැත්තෑවකට විකිණුවා යැයි” බොහොම කනගාටුවෙන් කියමින් යන්න ගියා.

මේ කතාව ඇහුවාම මටත් ඇති වුණේ විශාල දුකක්. මේ මිනිස්සු ජීවත් වෙන්න මොන තරම් දුකක් විඳීනවාද කියලා හිතුනා. මොන තරම් අරගලයක් කරනවාද කියලා හිතුණා. ඒ කාලයේත් මම කෙටි කතා ලියමින් සිටියේ. මේ සිදුවීම මම කෙටි කතාවකට ගත්තේ ‘පුටු දෙක නමින්. නමුත් ඒක පළ කළේ නැහැ. ටික කාලයකට පසුව හිතුණා මේ ඔස්සේ නවකතාවක් ගොඩනඟන්න පුළුවන් බව.

ඔහු ධීවර ගම්මානයක පුද්ගලයෙක්. වාරකන් කාලයට ඔවුන්ට මුහුදු යන්න හැකියාවක් නැහැ. ඔවුන් කරන්නේ ඒ කාලයට මොරටුවේ ලී බඩු හදන තැන් වලින් පුටු වගේ දේවල් අරගෙන කද බැඳගෙන ගොස් විකුණන එකයි. මේ වෙළෙන්දා විතරක් නොවෙයි තවත් බොහෝ දුක් විඳීන මෙවැනි අය ධීවර ගම්මානයන්හි සිටිනවා. ඒ කාගේවත් ජීවිත සරුසාර ජීවිත නෙවෙයි. එදිනෙදා ජීවිතය ගෙන යන්න ඔවුන් විශාල අරගලයක නියැළෙනවා. අත් යන්ත්‍රය පේෂ කර්මාන්තයත් ඒ කාලය වනවිට මෙම පළාත්වල තරුණියන් අතර ජනපි‍්‍රයයි. ඔවුන්ට අවශ්‍යව නූල් ගෙනවිත් දී අවසාන නිෂ්පාදන ලබා ගන්නා සුළු පරිමාන ව්‍යාපාරිකයනුත් සිටියා. ඉතිං මේ සිදුවීම් මුලික කර ඒ ඔස්සේ නවකතාවක් ගොඩනඟන්න මා තීරණය කළා. කුමාරිහාමි නවකතාව එළිදකින්නේ එහි ප්‍රතිඵලය නිසා තමයි. ධීවර ප්‍රජාව තම ජීවිත ජීවත් කරගන්නට වෙර දරන විටදී සුළු පරිමාන වෙළෙන්දෙක් ධීවර ගම්මානයකට ගොස් තම බලය පතුරවන අයුරු මෙයින් නිරූපණය වෙනවා. ”

මේ වෙනුවෙන් ඔබත් ධීවර ගම්මානයක අත්දැකීම ලබන්න ඇති?

ලේඛකයෙක් වුණාම අවැසි වන්නේ පරිකල්පන ශක්තිය යි. සමාජයේ සිදුවන යම් යම් දේ යථාර්ථවාදී අන්දමින් ගවේෂණය කර ගන්න ඔහුට ශක්තිය තිබිය යුතුයි. ඇත්ත වශයෙන් කිසිම දිනෙක මම වෙරළබඩ පැල්පතකට අඩිය තියලා නැහැ. නමුත් හැන්දෑවේ හය හමාරට හතට විතර අලුත් මාළු මිලට ගන්න පානදුරේ පාලම ළඟට යනවා. ඒ අවස්ථාවට ඔවුන්ගේ ජීවිතවලින් යමක් උකහා ගන්න මට හැකි වුණා. මේ ධීවර ගම්මානවල පිරිමි ගත කරන්නේ ඉතාම කටුක ජීවිත. ඔවුන් කතා කරන ආකාරය, නම්, සංස්කෘතිය ආදි දේ මේ වෙලාවට දැක අවබෝධයක් ලබා ගන්න පුළුවන්. කල්පනා ශක්තියෙන් ඒවා අවබෝධ කර ගැනීමයි වැදගත්.

කුමාරිහාමි කෘතිය රචනයේදී ධීවර ජනතාවගේ ජීවිත ඔබට දැනුණේ කෙළෙසින්ද?

වතුකරයේ ජනතාව තේ වතුවලට තම ශ්‍රමය කැප කිරීමෙන් ජිවිතය ගැටගසා ගන්නවා. රබර් වගාව වගේම හේන් ගොවිතැන් කරන ජනතාවත් මහපොළව සමඟ ඔට්ටු වෙන්නේ ජීවිත වෙනුවෙන්. ඔවුන්ට වැවිලි වගේම ධීවර ජනතාවගේ සම්පත වෙන්නේ මුහුද. මේ නිසාම ඔවුන්ගේ ජීවිතවල මුහුද වෙනුවෙන් තිබෙන්නේ විශාල ආදරයක්. ඒ වගේම පුදුමාකාර භක්තියක්.

අපි ලේඛකයන් වශයෙන් අපේ දෙසවන් බොහොම විවෘතව තියාගත යුතුයි. විවිධාකාර පුද්ලයන්ගේ කතාවිලාස, හැසිරීම් වැනි වූ සියලුම පැති ලේඛකයෙක් හොඳීන් දැකිය යුතුයි. දෙසවනින් හොඳීන් උරා ගත යුතුයි. මේ සියල්ල මනාව මතකයේ ගබඩා කර ගත යුතුයි. අපි වරිච්චි බිත්ති තියෙන ගෙයක් හදනකොට පළමුවෙන් කරන්නේ බට ලී වලින් සැකිල්ල හදන එකයි. ඊට පස්සේ තමයි මැටි පුරවලා බිත්ති බඳීන්නේ. නවකතා රචනයත් ඒ වගේමයි. නවකතාවක් රචනා කරන ලේඛකයෙකුත් මුලින් සිදුවීම හෝ කතා වස්තුව තෝරා ගත යුතුයි. හරියට අර බට ලී සැකිල්ල වගේ. ඊට පස්සේ ඔළුවේ තියෙන දැනුම ළඟ තියෙන අත්දැකීම් අර කතා වස්තුවට යෝග්‍ය පරිදි යොදා ගෙන කතාව ගොඩනැඟිය යුතුයි. එවිට නිර්මාණය සාර්ථකයි.

මම අගමෙහෙසිය පොත රචනා කළ පසු විචාරකයන් සහ පාඨකයන් මගෙන් විමසුවේ ඔබ කෙතරම් කාලයක් මුඩුක්කුවල සැරිසැරුවාද කියලයි. නමුත් අද වෙනකල් කිසිම දිනක මම මුඩුක්කුවකට අඩිය කියලාවත් නැහැ. මගේ පදිංචිය කිරිඳීවැල. මම බොහොමයන් ගමන් පහසුව සලසා ගන්නේ දුම්රියෙන්. එවිට ගමන් බිමන් යන එන විට මුඩුක්කු පරිසරයන් තැන් කිහිපයකදීම මුණ ගැසෙනවා. මගේ හැඟීම නම්, එසේ දකින දේ එම ප්‍රමාණයෙන් ඉක්මවා ගිහින් ගවේෂණය කරන්න ලේඛකයෙකුට හැකියාව තිබිය යුතුයි. ඒවා එම ස්ථානයටම ගිහින් ගවේෂණය කරන්න වුවමනා නැහැ. ඒ වුණත් හැම දේම එහෙම කරන්නත් බැහැ. උදාහරණයක් වශයෙන් යුද්ධයක් ගත්තොත් මායිම් ගම්මානවල මිනිසුන්ගේ ජීවිත අත්දැකීම් නොලබා අපට ඒ අයුරින්ම විවරණය කරන්න අමාරුයි. 71කැරැල්ලත් ඒ වගේ අත්දැකීම් නොලබා රචනා කරන්න අපහසු සිදුවීමක්.

කුමාරිහාමි ටෙලි නිර්මාණයක් ලෙසින් පුංචි තිරයට ආවත් පොත සහ ටෙලි නාට්‍යය අතර යම් යම් වෙනස් කම් තිබුණා නේද?

තිලක් ගුණවර්ධන මහත්තයා ජාතික රූපවාහිනියෙ නාට්‍ය අංශයේ කටයුතු කරන කාලයේදී මුහුදුකරයේ ජීවිත ගැන කියවෙන නව කතාවක් හොයලා තිබුණා. ඒ වෙලාවේ පර්සි ජයමාන්න මහත්තයා තමයි කුමාරිහාමි නවකතාව ගැන කියලා මාව එතුමාට මුණගැස්සුවේ. ඒ වෙනුවෙන් තිරනාටකය ලියන්න භාර දුන්නෙත් මටයි. 1971 වසරේදී ඩී. බී නිහාල්සිංහ මහත්තයා මෙහෙයවූ තිරනාටක පාඨමාලාවක් කරලා මම ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගෙන හිටියේ. හැබැයි පවුලේ හැමෝටම බලන්න පුළුවන් විදියට ප්‍රචණ්ඩත්ව අඩු බොහොම ශිෂ්ට සම්පන්න විදියට එය ලියවෙන්න ඕනි කියන ඉල්ලීම කළා.

එදා අද තියෙන ක්‍රමයට වඩා ගොඩක් වෙනස්. ඒ වගේම බොහොම සංවරකමක් තිබුණා. ඒ නිසා පොතේ තියෙන අවසානයට වඩා ටෙලි නාට්‍යයේ අවසානය වෙනස් කරන්න සිදු වුණා. පොතේ තියෙන්නේ සුළු පරිමාන ව්‍යපාරිකයෙකු වූ හිච්චි මහත්තයා තම සල්ලාලකම නිසා මැරුම් කන අවස්ථාවයි. නමුත් ගුණවර්ධන මහත්තයා කිව්වේ අපි ඒක ටිකක් වෙනස් කරමු කියලයි. ඒකත් දැන් වගේ කළ බහුබූත යෝජනාවක් නොවෙයි. ඔහු ඒක ඉදිරිපත් කළේ බොහොම සාධාරණ ඒ වගේම ශිෂ්ට සම්පන්න විදියට. ඒ නිසා කතාවේ අවසානය වෙනස් වුණා. ඒය මගේ පූර්ණ අනුමැතිය ඇතිවයි සිදු වුණේ. පසුව ටෙලි නාට්‍යයේ ඒ විදියට පොත සංස්කරණය කරන්න හිතුවත් ඒක මම පාඨකයාට කරන අසාධාරණයක් කියලා හිතණා. මොකද ජනතාවගේ වැඩි කැමැත්ත තිබුණේ කුමාරිහාමි නවකතාවටයි.

කුමාරිහාමි කෘතිය සහ ටෙලි නාට්‍යය සමඟින් ඔබ එදා සහ අද අතර වෙනස දකින්නේ කොහොමද?

ඒ කාලයේ ටෙලි නාට්‍යය සම්ප්‍රදාය අදට වඩා බොහෝ වෙනස්. එදා තිබුණේ සාරධර්ම රැකෙන සම්ප්‍රදායක්. කතාවක් තෝරා ගන්නා විට බොහොම සැලකිලිමත් වුණා. නමුත් අද තත්ත්වයේ හැටියට නම් පොතේ අවසානයම ටෙලි නාට්‍යයේ අවසානය වන්නත් ඉඩ තිබුණා. එහෙම වුණා නම් ටෙලි නාට්‍යයටත් පොතට ලැබූණු ප්‍රතිචාර ලැබේවි.

ඔබේ තවත් නිර්මාණ පුංචි තිරයට පැමිණියා?

මගෙ කෘති හතක් පමණ ටෙලි නාට්‍ය නිර්මාණ ලෙසින් ජනතාව හමුවට ගියා. විජය ධර්ම ශී‍්‍ර අධ්‍යක්ෂණය කළ කස්තිරම, තිලක් ගුණවර්ධන අධ්‍යක්ෂණය කළ කුමාරිහාමි, සුරංජන් අධ්‍යක්ෂණය කළ නොමැරෙන මිනිස්සු වගේම අනුත්තරා ටෙලි නාට්‍යය ගැනත් තියෙන්නේ විශාල තෘප්තියක්. මම රචනා කළ සහෝදරයෙක් සහ සුදු හාමිනේ නවකතාව ඇසුරනේ ස්වර්ණවාහිනිය නිෂ්පාදනය කළ දහස් ගව් දුර ටෙලි නාට්‍යයෙත් ඉතා හොඳ ටෙලි නිර්මාණයක් බවට පත් වුණා. සහෝදරයෙක් නවකතාව මගේ ජීවිතය හැරවුම් ලක්ෂයක් වූ කෘතියක්. එය ජිවිතයේ ගැන ගැඹුරින් කතා කරන කෘතියක්. කුමාරිහාමි නවකතාව සේම සහෝදරයෙක් නවකතාවත් මම ඉතාම ප්‍රිය කරන මගේ කෘතියක්.

ලේඛක ජීවිතයේ ආරම්භය සිහිපත් කළොත්?

මම නවකතා රචනයට පිවිසියේ ළමා ලේඛකයෙන් ලෙසින්. එතකොට මගේ වයස අවුරුදු දොළහක් විතර ඇති. ලංකාදීප පුවත්පතේ එවකට තිබූ ළපටි පෙළ අතිරේකයට මම පොඩි නිර්මාණ, විහිළු කතා ලිව්වා. හතක් අටක් විතර එවන කොට එකක් විතර පළ වුණා. මගේ අයියත් එවකට පුවත්පත් කලාවේදයට සම්බන්ධ වෙලා හිටියේ. ඒ වුණත් සත පහක උදව්වක් නම් කළේ නැහැ. අයියා හැමදාම කිව්වේ ‘මල්ලි කරන නිරමාණ යවන්න. හොඳ නම් එයාලා ඒවා පළ කරාවි. ඒක කවුරුවත් ලවා කියවලා කරන එකේ තේරුමක් නැහැ’ කියලයි. ඒ නිර්මාණ ටිකෙන් ටික මුහුකුරා ගිහින් තමයි කෙටි කතාවට මුල පිරුවේ. මට වයස අවුරුදු දහහතක් වන විට මගේ පළමු කෙටිකතාව ජාතිය පත්තරයේ පළ වුණා. ඒ කාලයේ ජාතිය පත්තරයේ කතුවරයා වුණේ වෝල්ටර් සිරිමාන්න මහත්තයා. මම තව තවත් කෙටි කතා නිර්මාණ යැව්වා. ඒවාත් විටින් විට පළ වුණා. මේ විදියට ක්‍රම ක්‍රමයෙන් ලංකාවේ විවිධ පුවත් පත්වල මගේ කෙටි කතා හත්අට සියයක් විතර පළ වෙලා ඇති.

එතකොට නවකතාවට පිවිසෙන්නේ?

පොතක් විදියට පළ කරන්න නවකතාවක් ලියන්න මට ආරාධනාවක් ලැබුණේ 1968 වසරේදීයි. මේ ආරාධනාව ලැබුණේ වි.වී අබේගුණවර්ධන මහත්තයා ගෙන්. එතුමා සවස පත්තරයේ කතෘවරයාව සිටියදී ගම්පහ සාහිත්‍ය ප්‍රකාශන නමින් ග්‍රන්ථ ප්‍රකාශන ආයනයක් ආරම්භ කළා. ඒ කාලයේ මම සේවය කළේ මාතර තිහගොඩ. මේ ආරාධනාව ඔහු මට ලිපියකින් දන්වා එවා තිබුණා. ඔහු එකවර පොත් පහක් එළිදක්වන්න සූදානම් වුණා. මගේ පොතත් ඒ අතරේ එකක්.

ඒ කාලයේ ජනපි‍්‍රය වුණු පොත් නම් වුණේ සිංදුවල පද පේළි වලින්. ගුණදාස ලියනගේ මහත්තයා ‘මුළු හදින් මම ඇයට පෙම් කොට’ නමින් නවකතාවක් ලියනකොට තවත් ලේඛකයෙක් ලිව්වේ ‘අනාගත පෙම් සිහින මැව්වෙමි ’ කියලයි. ඒක රැල්ලක් වුණා. ඔය රැල්ල එන වෙලාවේ තමයි මමත් කල එළි බැස්සේ. ඉතිං මම ලිව්වේ ‘ආදර ගඟ ගලන දෑස’ නමින් වන නවකතාවක්. මගේ කුලුඳුල් නවකතාව ඒක තමයි.

ඊට පසුව මාව දයාවංශ ජයකොඩි මහත්මයාට හඳුන්වා දුන්නේත් අබේගුණවර්ධන මහත්තයා විසින්මයි. එදා පටන් අද දක්වා පළ කළ කෘති කිහිපයක් හැරෙන්නට මගේ සියලුම කෘති පළ කරන්නේ දයාවංශ සහ ජයකොඩි සමාගමෙන්.

ලේඛකයෙක් සහ ප්‍රකාශකයෙක් අතර වසර ගණනක් පුරා පැවතෙන අපූරු මිතුදමක්?

දයාවංශ සහ ජයකොඩි සමාගම සහ මම අතර තියෙන සම්බන්ධකම අවුරුදු හතළිහකට අධික කාලයක් අඛණ්ඩව කිසිදු හිත් අමනාපකමක් නැතුව පැවතගෙන එන සබඳකමක්. වෙනත් කිසිම ලේඛකයෙක් සහ ප්‍රකාශකයෙක් අතර මේ වැනි සහයෝගයක් නැතුව ඇති. ඒක මගෙත් වාසනාවක්. ඒ වගේම මම මුදල් පසුපස යන ලේඛකයෙක් නොවෙයි. මුදලට මම කලබලකාරී නැහැ. දයාවංශ සහ ජයකොඩි සමාගම සමග ගනුදෙනුවලදිත් පිරිසිදුකමින් අවංකව එය පවත්වාගෙන යන්න හැකි වෙලා තියෙනවා. පෞද්ගලිකව බැලුවත් ජයකොඩි මහත්මයා සහෝදරයෙක් සේ ළෙන්ගතුයි. මා ලියූ කිසිම නවකතාවක් දයාවංශ සහ ජයකොඩි සමාගමෙන් ප්‍රතික්ශේප වෙලා නැහැ. ඒ වගේම ජයකොඩි මහත්තයා කිසිම දවසක කිසිම පොතක් කියවන්නේ නැතුව මුද්‍රණය කරන්නෙත් නැහැ.

ඒ ගැන නම් අපූරු සිදුවීමක් අතීතයේදී සිදු වුණා. ගත්කතුවර ජී. බී සේනානායක මහත්මයා දවසක් නවකතාවක අත් පිටපතක් ඇතිව දයාවංශ සහ ජයකොඩි සමාගමට පැමිණියා. ඔහු ප්‍රකාශකයන් ආමන්ත්‍රණය කරන්නේ මුදලාලි කියලා. එතුමා ඇවිත්,

‘මුදලාලි මේ මගේ අලුත් පොත. ඒක මුද්‍රණය කරගන්න ආවේ’

කියලා ජයකොඩි මහත්තයාට කිව්වා. ජයකොඩි මහත්තයාත් හිනාවෙලා බොහොම ගරු සරුව,

‘මට බොහොම ආඩම්බරයි ඔබතුමාගේ කෘතියක් පළකරන්න ලැබීම ගැන’

කියලා අත් පිටපත ගන්න හැදුවා විතරයි සේනානායක මහත්තයා පිටපත ආපසු ගත්තා. ජයකොඩි මහත්තයා මම දිහාත් බලලා,

‘මම කිසිම පොතක් කියවන්නේ නැතුව පළ කරන්නේ නැහැ’යි කිව්වා. සේනානායක මහත්තයා අත් පිටපත ගත්තේ,

‘නෑ .... නෑ මගේ අත් පිටපත් කාටවත් කියවන්න දෙන්නේ නැහැ ’ කියමින්.

‘සර්ගේ අවරගිර පොතේ මුලින් එන ජයසේකර පස්සට යනකොට ජයවීර වෙන්නේ මොකද?’

කියල ජයකොඩි මහත්තයාත් හිනාවෙලා ඇහුවා.

‘ආ... ඔයා පොත් කියවනවාද?’

‘ඔව්. මම ඔබතුමාගේ හැම පොතක්මත් කියවලා තියෙනවා’

‘ආ එහෙනම් ගන්න’ කියමින් සේනානායක මහත්තයා අත් පිටපත ජයකොඩි මහත්තයා අතට දුන්නා.

ඔබේ ලේඛන දිවියේ අත්වැල් බැඳගත් සෙනෙහබර පාඨකයන් ගැනත් සඳහන් කරමු?

අද මම එන ගමනේදී මරදානේ දුම්රිය පොළෙන් පිටවන විට ප්‍රවේශපත් නිකුත් කරන අංන 2 කවුළුවේ සිටි මහත්තයා මට කතා කළා. ආයුබෝවන් කියලා මගෙන් ඇහුවේ, ‘ ඔබතුමා ජයකොඩි සෙනෙවිරත්න මහත්තයා නේද? ’කියලයි. ඔහු මගේ අලුත්ම නවකතාව වන ‘දිසාපාමොක්’ කෘතිය අරගෙන. ඒක කවුන්ටරයෙ තියාගෙන ඉඳලා මගෙන් අහනවා අත්සන් කරලා දෙන්න පුළුවන්ද කියලා. දිසාපාමොක් කෘතිය නිල වශයෙන් එළිදකින්නේ සැප්තැම්බර් 24 වැනිදා කොළඹ ජාත්‍යයන්තර පොත් ප්‍රදර්ශනයේදීයි. මගේ පොත් කියවන පාඨකයන් මට හරිම ළෙංගතුයි. පාඨකයෙක් මට ලියුමක් එව්වොත් අනිවාර්යයෙන්ම මම පිළිතුරු ලිපියක් යවන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම මගේ කෘති කිහිපයක් කියවලා මට ලියන විට ඊළඟ මගේ අලුත්ම කෘතියේ පිටපතක් ඔවුන්ට තුටු පඬුරක් විදියට දෙන්නත් මම අමතක කරන්නේ නැහැ.

කොළඹ නගර සභාවේ ගණකාධිකාරිවයක ලෙස සේවය කළ සීතා අමරසිංහ මහත්මියත් මගේ පොත් කියවලා ඒ ගැන පොඩි පොඩි කවි අදහස් පුවත්පත් වලට යවන පුරුද්දක් තිබුණා. පසුගිය කාලය පුරා ඇය පිළිකා මාරයා සමගින් සටන් කළා. එතුමියගේ දියණියක් මට සැල කර සිටියේ එතුමියට අසාධ්‍ය බවයි. මම දිසාපාමොක් කෘතිය මුද්‍රණයෙන් පිටවූ වහාම කළේ එතුමියට පිටපතකත් යවන එකයි. බොහොම අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදීත් දරුවන්ටත් එහි වූ දේ පවසමින් කෘතිය රස විඳී නමුත් එතුමියට එය කියවා අවසන් කරගත නොහැති වූ බව දියණිය මට පැවසුවා. ඒ වගේම මම මගේ කෘතිවලින් පාඨකයන්ට ස්තූති කරන්නත් ඔවුන්ගේ නම් ඇතුළත් කරන්නේ ඔවුන් වෙනුවෙන් වන ළෙන්ගතුකම නිසාමයි.

නවකතා රචකයෙක් ලෙසින් වත්මන් යොවුන් පරපුරට ඔබ දෙන පණිවුඩය?

මම නවකතාවක් රචනා කරනවිට පළමුවෙන්ම කරන්නේ තේමාව තෝරා ගන්න එකයි. ඉන්පසු එයට ගැළපෙන වස්තු බීජය තෝරා ගන්නවා. මම බොහොම හෙමින් ගමනක් යන කෙනෙක්. නවකතා පිටපතක් මම සාමාන්‍යයෙන් අවම වශයෙන් තුන් වතාවක් වත් ලියනවා. ඒ නිවැරදි බව ඉහළින්ම අගය කරන නිසා. කොලනිය නවකතාව ලියන්න මට අවුරුදු පහක් විතර ගත වුණා. කොහොම වුණත් අපි නිර්මාණයක ගුණාත්මක බව රැක ගත යුතුයි. ලියන්නන් වාලේ නොලියා සමාජයට ප්‍රයෝජනවත් දේ තිළිණ කරන්න ලේඛකයන් වගබලා ගත යුතුයි.