වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




පුතා රටට වැඩදායි කෙනෙක් වුණොත් මට ඒ ඇති 

පුතා රටට වැඩදායි කෙනෙක් වුණොත් මට ඒ ඇති 

තරුෂිගේ කැදැල්ලට යමු

ඈත වෙල්යාය පිස හමන සුළඟ හැම තැනම සක්මනේ යෙදුණේ සතුටෙන්. ඒ තරුල් අකේන් තෙන්නකෝන් පුතා ඉපැදුණු පණිවුඩය හැමෝටම කියන්න වගේ. මේ පණිවුඩය ඇහුව තුරුලතාත් තාලයට සෙලවුණේ ඒ සතුටට හවුල් වෙමින්. නිල්ම නිල් පැහැති අහස් කුසේ වලාකුළු අතර සැඟවුණු හිරුගේ සුබ පැතුම් අරගෙන ආවේ සෞම්‍ය හිරු කිරණ. වෙනදා තරම් චණ්ඩ නැති ඒ සෞම්‍ය හිරු කිරණේ නැහැවෙමින් අප ගමන් ගත්තේ අලුත ඉපැදුණු තරුල් පුතාව බලන්න. ඇඹුල්දෙණියේ ඉඳලා හැතැක්මක් දුරින් අතුරු පාරක් දිගේ මීටර් පනහක් පමණ දුරින් පිහිටලා තියෙන තරුල් පුතාගේ නිවහනට යනවිටම අපට ඇහුණේ ඔහුගේ සතුටෙන් පිරුණු හුරතල් හඬ. ඒ හුරතලේ විඳීමින් ඔහු ළඟම හිටියේ තරුල් පුතාගේ අම්මා. ඔබ කවදත් ආදරය කළ රංගන ශිල්පිනියක් වුණු තරුෂි පෙරේරා. කුලුඳුලේම ලැබුණු මේ පැටියත් තුරුලු කරගෙනම ඈ අපට ඉඳ ගන්න ආරාධනා කළා.

“ එන්න.... එන්න..... අපි තුන්දෙනාම බලාගෙන හිටියේ ඔයාලා එනතුරුයි. ”

අප වටපිට බැලුවේ තුන්වැන්නා පෙනෙන්න නොසිටිය නිසා. ඒ තරුෂිගේ සැමියා සුමේධ.

“ සුමේධ..... සුමේධ ”

අපේ සිත් හැදින ගෙන වගේ ඈ සුමේධට කතා කළා. කතා කරන පරක්කුවෙන් සාලයට එබිලා බැලුව සුමේධ තරුෂි ළඟින්ම අසුන් ගත්තේ පුංචි පුතාව සිප ගන්න ගමන්.

“ ඔන්න එහෙම නම් තාත්තාත් එක්ක ඉන්න. ”

එහෙම කියලා ඈ සිය බිලින්ඳා සුමේධ අතට දුන්නේ දිගු කතාබහකට පසුබිම සකසන්න හිතාගෙන.

“මව් පදවිය ලැබීම කියන අත්දැකීම ගැන ඔබට තිබෙන්නේ මොන වගේ හැඟීමක් ද? ”

මා විමසුවේ අලුත්ම භූමිකාව ගැන ඇගේ සිතේ ගොනුවුණු අදහස් පෙළට ආරම්භයක් ලබාදෙමින්.

“ජීවිතේ ආයෙත් ඉපැදුණා කියන හැඟීමයි සිතට දැනෙන්නේ. මේක මට අලුත් ජීවිතයක්. වෛද්‍යවරු දුන්න දිනවලට වඩා දවස් දහසයකට කලින් බබාව ලැබුණා. ඒ රාගම ඩීසන්ස් රෝහලේ දීයි. එහි ඉන්න රාජපක්ෂ කියන වෛද්‍යවරයා මා විශේෂයෙන් මතක් කළ යුතුයි. ඔහු පවුලේ කෙනෙක් වගේ. මගේ තාත්තා වගේ මා ළඟින්ම සිටියා. ඒක මට ලොකු සැනසීමක් වුණා. ඔහු කළ උදව්වලට බොහොම ස්තූතිවන්ත විය යුතුයි. ඒ වගේම එහි කාර්යමණ්ඩලයටත් මා ස්තූති වන්ත වෙනවා. සාමාන්‍ය විදියට බබා ලැබෙන්නයි අප සැලසුම් කරලා තිබුණේ.

එහෙත් හදිසියේම එක්වරම ප්‍රසූති වේදනාව දැනුණාට පස්සේ රාජපක්ෂ වෛද්‍යතුමා තීරණය කළා සිසේරියන් සැත්කමකින් බබාව ගන්න. ඒ අනුව මැයි 27 වැනිදා උදේ පුතා ඉපදුණා. එයා ගෙනැත් මගේ මුහුණ ළඟින් තිබ්බට පස්සේ මෙතෙක් මට දැනුණ වේදනාව කොහෙන් ගියාද කියලා හිතා ගන්නවත් බැහැ. මට පෙනුණේ මගේ පුතාගේ හුරතල් මුහුණ විතරමයි. සුමේධත් මා ළඟමයි හිටියේ. දැනටත් පුතාව තුරුලු කර ගන්න හැම වෙලාවෙම මට සිතෙන්නේ හැම දේකින්ම මා දැන් අංග සම්පූර්ණයි නේද කියලා. පුතා මගේ ජීවිතේට ලැබුණ ලොකු හයියක්. ”

තරුෂි පුතාගේ මුහුණ බලාගෙනම සිනාසුණා. මුළු නිවෙසෙම විහිදුණු කිරි සුවඳත් අරගෙනම තරුල් පුතා මෙන්න අම්මාත් එක්ක සිනා වෙනවා.

“පුතාගේ කටයුතු කරන්න කැමැති තරුෂි අතින්ම වගෙයි”

දරු උපතින් පස්සේ මාස කිහිපයක් තමන්ගේ අම්මගේ නිවසේ ගත කළ තරුෂි එයාලගේම ගෙදරට ආවේ පසුගිය දිනෙක බැවිනුයි මා විමසුවේ.

“පුතා ලැබුණට පස්සේ ටික දවසක් ගෙදර නැවතිලා හිටියා. ඒ කාලයේ පුතාගේ කටයුතු ගැන දැනුමක් මම අම්මාගෙන් ලබා ගත්තා. පුතා නාවන විදිය වගේම එයාගේ අනෙක් කටයුතුත් අම්මා මට කියලා දුන්නේ බොහොම ආශවෙන්. දැන් පුතාව නාවන්නේ මමමයි. එහේ ඉන්න කාලයේ පුතා හිටියේ අම්මාගේ අතේමයි. එයා මුනුබුරාට බොහොම ආදරෙයි. එහෙම වුණත් අපේ නිවෙසත් පාළුවට යන නිසා මෙහි එන්න මම වගේම සුමේධත් තීරණය කළා. මගේ කටයුතුවලට උදව් කරන්න අම්මා වගේම නංගිලාත් නිතරම මෙහාට එනවා. සුමේධගේ නිවෙසේ අයත් අපට බොහොම උදව් කරනවා. දැන් නම් පුතත් එක්කම ඉන්න නිසා කාලය ගත වෙනවා දැනෙන්නේ නැති තරම්. වෙනදා එහෙම නෙවෙයි නේ. රූගත කිරීම්වලට දින වෙන්වුණාට පස්සේ ඒ කටයුතුත් එක්කයි දවස ගෙවෙන්නේ. ඒත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. පුතාටම මගේ කාලය වෙන්වෙලා.”

තරුෂිගේ වගේම සුමේධගෙත් ජීවිතය පුතා.

“සුදුපුතා........ සුදුපුතා..... ඔන්න අඬන්න එහෙම නැහැ.”

ඊට පස්සේ සාලයට ගලාගෙන ආවේ සුමේධ පුතාව නළවන ඉංග්‍රීසි ගීතයක ස්වරයක්.

“සුමේධ පුතාව නළවන්නේ ඒ විදියට ද? ”

පුතා කුසට ආව වෙලාවේ ඉඳලා බොහොම ආදරයෙන් තරුෂිව බලා ගත්තේ මේ දවස් උදා වනතුරු ඇඟිලි ගනිමින් බව අප දන්නවා.

“එයාගේ ජීවිතයත් පුතාමයි. නිතරම වැඩ ඇරිලා ගෙදර දුවගෙන එන්නේ පුතාගේ මුහුණ බලන්නයි. ඊට පස්සේ පුතා ළඟටම වෙලා එයාව හුරතල් කරන එකමයි කරන්නේ. පුතාගේ විතරක් නොවෙයි මගේ සෞඛ්‍ය ගැනත් ඔහු නිතරම සොයලා බලනවා. සමහර වෙලාවට පුතාගේ සමහර කටයුතු කරන්නත් ඔහු, මට උදව් වෙනවා.”

අනෙක් වෙලාවට පුතා නළවන්නේ තරූ. නැළවිලි ගීත වගේම ළමා ගීත, ඈ බොහොම ප්‍රිය කරන ගීත ගයලා තරුල් පුතාව නළවද්දි චූටි පුතා අහගෙන ඉන්නේ කිසිම සද්ද බද්දයක් නැතිව.

“තරුල් පුතාට නම තිබ්බේ කවුද ?”

“ පුතා ඉපදුණාට සති කිහිපයකට පස්සේ මමයි, සුමේධයි දෙන්නාම කතා කරලයි මේ නම තිබ්බේ. තරුල් කියන්නේ තරු වළල්ල. අකේන් කියන්නේ අග්‍රනායක.”

“ඒ කියන්නේ තරුල් කියන්නේ තරු වළල්ලට අග්‍ර නායක කියන එකයි”

“ මට නම් පුතා තරුවළල්ලට අග්‍රනායකයා නොවුණාට කමක් නැහැ. මනුෂ්‍යත්වයට, රටට වැඩදායී කෙනෙක් වුණොත් ඒ ඇති. ලොකු තරුවක් වෙන්න උවමනා නැහැ. චූටි තරුවක් වුණොත් හොඳටම ඇති. පුතා යා යුතු මාර්ගය නියම ආකාරයෙන් එළිපෙහෙළි කරලා දීමයි අම්මා කෙනෙක් විදියට මගේ යුතුකම වන්නේ. හරි විදියට ගමනක් යන්න හරි පාර පෙන්නන එකයි අප දෙන්නාගේ යුතුකම වන්නේ. එයාගේ දක්ෂතාවලට අනුව එයා නිවැරැදි පාර තෝරා ගනීවි යැයි කියන විශ්වාසය අපට තියෙනවා.”

“කවදහරි පුතා රංගනය තම වෘත්තිය විදියට තෝරා ගත්තොත් කැමැතිද ? ”

පුතාවත් වඩාගෙන නැවතත් අප අතරට ආව සුමේධවත් කතාබහට එක්කර ගත්තා.

“අපි දෙන්නටම උවමනා නැහැ එයාව නළුවෙක් කරන්න. එයා රටට, මිනිස්සුන්ට හොඳ කෙනෙක් වීමයි අපේ පැතුම වන්නේ.”

තරුත්, සුමේධගේ කතාවට තවත් අදහස් කිහිපයක් එකතු කළේ මේ විදියට.

“ එහෙම කියන්නේ කලාවට අවතක්සේරුවක් කරන්න නොවෙයි. රඟපාන්න උවමනා නම් රැකියාවක් කරන ගමන් රඟපාන්නත් පුතාට පුළුවන්නේ. කොහොම වුණත් ඒ හැම දෙයක් ගැනම තීරණය කරන්න පුතාටම බාර දෙනවා.”

“මෙහෙම ගියොත් තරුෂි පෙරේරා රංගනයෙන් සමුගනියිද? ”

“පසුගිය දවස්වල අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක්ම නිර්මාණවලට දායක කරගන්න මට කතා කළා. එහෙත් දැන් මම රඟපෑවොත් රඟපාන්න වෙන්නේ කාලගෝලගේ චරිතෙ තමයි. මේ විදියට තවත් ටික කාලයක් පුතා ළඟටම වෙලා ඉන්නයි මා අදහස් කරලා තිබෙන්නේ. ලබන අවුරුද්දේ මැද විතරදි රංගන කටයුතුවලට දායක වෙන්නයි සිතාගෙන ඉන්නවා. ඒත් පුතාගේ කටයුතුවලට අපහසු වන විදියේ නිර්මාණ බාර ගන්නේ නැහැ.”

මේ වනවිට නම් තරුල් පුතාගේ මුහුණේ සිනාව වියැකිලා. ඔහු අම්මාගේ දෙසම බලාගෙන ඉන්නේ අඬන්න ඔන්න මෙන්න වගේ. සුමේධ ඉක්මනටම තරුෂි ළඟට පුතාව අරගෙන ආවා. තරුල් අම්මාගේ අතට පැන්නා. එයාගේ භාෂාවෙන් මොන මොනවදෝ අම්මාට කියනවා. මේ අතර අපි මේ සොඳුරු කැදැල්ලෙන් සමු ගත්තේ ඒ හුරතල් මැද ඔවුන්ට දවස ගෙවන්න ඉඩහරිමින්.

තරුෂි, සුමේධ කැදැල්ලට ආ අලුත් අමුත්තා