වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




පිරිමි නම් ලද සිංහල චිත්‍රපට

පිරිමි නම් ලද සිංහල චිත්‍රපට

මේ ගෙවී යන්නේ 2015 වසරේ අවසාන මාස කිහිපයයි. මේ වසරේ දැනට තිරගත කොට ඇති චිත්‍රපට අතුරින් පිරිමි නම් සඳහන් එක් චිත්‍රපටයක් මේ වන විට අති සාර්ථක අන්මින් ප්‍රදර්ශනය කෙරෙමින් පවතී. ඒ සනත් අබේසේකර නිමැ වූ මහරජ අජාසත් සිනමාපටයයි. ඒ හා සමඟම තවත් සුවිශේෂී කරුණක් සඳහන් කළ යුතුමය. මේ මස 25 වනදා සිට තිරගත කිරීම ආරම්භ කෙරෙන ලැන්ටිං සිංඤෝ චිත්‍රපටය ද පිරිමි නමකින් යුක්ත වීම අපූර්ව කාරණාවකි. අරුණ මහේන්ද්‍ර ජයවර්ධනගේ කුලුඳුල් සිනමා නිර්මාණය වූ ලැන්ටිං සිංඤෝ පවුලේ විනේදාත්මක චිත්‍රපටයකි. වසර 70 කට ආසන්න කථානාද සිනමා ඉතිහාසයක සාඩම්බර උරුමකරුවන් වන අපගේ සිනමා වංශ කතාව තුළ අපට අත්දකින්නට ලැබෙන අතිශය විරල අවස්ථාවක් හෙට උදාවනු ඇත. ඒ විරල අවස්ථාව අත් දකින්නට නම් ලැන්ටිං සිංඤෝ චිත්‍රපටය මුදා හරින තුරු සිටිය යුතුමය. ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසය තුළ පුරුෂවාචී නාමකරණය කළ සිනමා නිිර්මාණ දෙකක් එක විට ප්‍රදර්ශනය වී නොමැත. ලැන්ටිං සිංඤෝ චිත්‍රපටය මුදා හැරිය පසු ඒ අවස්ථාව ලාංකේය ප්‍රේක්ෂක ජනතාවට අත්විඳීමට ඉඩ හසර සැලසේ. මහරජ අජාසත් සිනමා නිර්මාණයත්, ලැන්ටිං සිංඤෝ සිනමා නිර්මාණයත් ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයට සුවිශේෂී මතක සටහන් රැසක් සමඟ ශ්‍රී ලංකාව පුරාම එක විට ප්‍රදර්ශනය වනු ඇත.

සිංහල සිනමාව නම් වූ රස ගුලාවේ අහුමුළු සොය සොයා යද්දී බොහෝ අපූර්වතම, සුවිශේෂීතම, චමත්කාර ජනක කරුණු ඉස්මතු වී පෙනේ. සිංහල සිනමා වංශ කතාවේ සිනමා නාමාවලිය පිරික්සීම පමණක් වුව ඒ සඳහා සෑහේ. සිංහල සිනමාවේ එදාමෙදාතුර බිහි වූ දහසකටත් අධික චිත්‍රපට ප්‍රමාණය අතුරින් කාන්තාවන්ගේ නම්වලින් අති බහුතර චිත්‍රපට සංඛ්‍යාවක් නිපදවා ඇති අතර පුුරුෂයන්ගේ නම්වලින් තැනූ චිත්‍රපට ප්‍රමාණය ඊට සාපේක්ෂකව සීමිත ප්‍රමාණයකි.

ස්ත්‍රී හෝ පුරුෂ හෝ වේවා චිත්‍රපටයට නමක් තබන විටකදී ප්‍රධාන වශයෙන්ම අවධානයට ලක් කර ගත යුත්තේ එහි අන්තර්ගතය පිළිබඳවය. ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ නිර්මාණය වූ සිනමා නිර්මාණ අතුරින් බොහෝමයකට හේතුපාදක වී ඇත්තේ කාන්තාවයි. කාන්තාවක සතු සුකොමළ ස්නිග්ධභාවය, නාරි ලාලිත්‍යය හෝ වේවා කුටුම්බය තුළ ගැහැට විඳින කාන්තාවක හෝ වේවා සමාජයේ පීඩාවට හසු වූ කාන්තාවක හෝ වේවා කවර හෝ ලෙස ස්ත්‍රිය නමැති භූමිකාව ඊට පාදක වේ. ඒ අනුව තේමාවට අනුව යමින් ප්‍රේක්ෂක සිත් ඇඳ බැඳ ගන්නා නම්‍යශීලී නමක් චිත්‍රපටයට ලබා දෙයි. කෙසේ වෙතත් මේසා වූ විශාල ස්ත්‍රී නාමික චිත්‍රපට නාමාවලියේ පුුරුෂ නාමික චිත්‍රපට අතළොස්ස කැපී පෙනෙන්නේ ද මේ නිසාවෙනි. එබැවින් හෙළ සිනමාවේ පිරිමි නම් සහිත චිත්‍රපට පිළිබඳ සොයා බැලීම අපූර්වතම ගවේෂණයකි.

ලංකාවේ චිත්‍රාගාරයක් තුළ සම්පූර්ණ වශයෙන්ම නිපද වූ පළමු චිත්‍රපටය වශයෙන් සැලකෙන බණ්ඩා නගරයට පැමිණීම තිරගත වූයේ 1952 දීය. මෙය රාජා වහබ් කාශ්මීර්ගේ අධ්‍යක්ෂණයකි. සිරිසඟබෝ රාජ චරිතය අලළා වර්නන් ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ සිරිසඟබෝ චිත්‍රපටය එම වසරේම තිරගත විය. දේශීය ගැමි ජන චරිතයක් වූ සරදියෙල්ගේ චරිතය පාදක කොට ගනිමින් සිරිසේන විමලවීරයන් විසින් අධ්‍යක්ෂණය කළ සරදියෙල් චිත්‍රපටය 1954 වසරේදී තිරගත කරන ලදී. දකුණු ඉන්දීය ජන කතාවක් පාදක කොට ගෙන නිර්මාණය කෙරුණු මාතලන් චිත්‍රපටය සිංහල සිනමාවට එක් වන්නේ 1955 දීය. මාතලන් ඒ. එස්. නාගරාජන්ගේ අධ්‍යක්ෂණයකි. එස්. එම්. එස්. නායිදු විසින් අධ්‍යක්ෂණය කළ සූරසේන චිත්‍රපටය තිරගත වූයේ 1957 දීය. අන්දරේගේ චරිතය ඇසුරෙන් බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද කවට අන්දරේ චිත්‍රපටය 1960 දී තිරගත විය. කේ. එස්. සේතුමාධවන් විසින් අධ්‍යක්ෂණය කළ වීර විජය චිත්‍රපටය එම වසරේම තිරගත විය. දස්කොන් ප්‍රමිලා කතා පුවත රැගත් දස්කොන් චිත්‍රපටය 1962 දී තිරගත වූ අතර උපාලි වනසිංහ එහිි අධ්‍යක්ෂවරයා විය.

රොබින් තම්පෝ විසින් අධ්‍යක්ෂණය කළ මහදැනමුත්තා චිත්‍රපටය 1966 දී තිරගත වූ අතර, බන්දු ගුණසේකර විසින් අධ්‍යක්ෂණය කළ කාශ්‍යප රජුගේ ජීවිත කතා පුවත රැගත් සීගිරි කාශ්‍යප චිත්‍රපටය ද එම වර්ෂයේම තිරගත කරන ලදී. ඩොමී ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ සිංගප්පූූර් චාලි චිිත්‍රපටය 1972 දී තිරගත විය. යසපාලිත නානායක්කාර විසින් අධ්‍යක්ෂණය කළ සහයට ඩැනී චිත්‍රපටය තිරගත වූයේ 1974 දීය. ජෝ මයිකල්ගේ සිරිල් මල්ලී චිත්‍රපටය 1975 දී තිරගත වූ අතර නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ සරදියෙල්ගේ පුතා චිත්‍රපටය 1976 දී තිරගත විය. ෂර්ලි පී. විජේරත්නගේ අධ්‍යක්ෂණයක් වූ ටිකිරා චිත්‍රපටය 1978 දී තිරගත විය. ජාතික නිදහස උදෙසා දිවි පිදූ පුරෝගාමි ජාතික විරයෙකු වූ වීර පුරන් අප්පුගේ ජීවිත කතාව අලළා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් විසින් නිර්මාණය කළ වීර පුුරන් අප්පු චිත්‍රපටය 1978 දී තිරගත විය.

ජයන්ත පී. සමරසිංහ විසින් අධ්‍යක්ෂණය කළ සව්දන් ජෙමා චිත්‍රපටය 1979 දී තිරගත විය. 1980 වසරේ තිරගත කළ සිංහල චිත්‍රපට අතුරින් පිරිමි නම් සහිත චිත්‍රපට හතරක්ම දැකගත හැකි වීම සුවිශේෂී කරුණකි. හර්බට් රංජිත් පීරිස්ගේ සිල්වා, කේ. ඒ. ඩබ්. පෙරේරාගේ ආදර රත්නේ, දයානන්ද ජයවර්ධනගේ ඩොක්ටර් සුසන්තා, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සිරිබෝ අයියා යනාදී සිනමා නිර්මාණ එම සුවිශේෂී නිර්මාණය. ඓතිහාසික කතා පුවතක් රැගත් අජාසත්ත චිත්‍රපටය 1981 වසරේදී තිරගත විය. මෙය ජෝ මයිකල්ගේ අධ්‍යක්ෂණයකි. ශ්‍රී ලාංකේය සිනමා වංශයේ සුවිශේෂී කඩඉම් රැසක් ජය ගනිමින් ලාංකේය සිනමාව තුළ තමාටම අනන්‍ය වූ මුද්‍රාවක් සනිටුහන් කළ අග්‍රගණ්‍ය සිනමාකරුවකු වන ධර්මසේන පතිරාජ ශූරීන්ගේ සොල්දාදු උන්නැහේ චිත්‍රපටය තිරගත වන්නේ ද 1981 දීය.

දයා විමලවීරයන්ගේ අධ්‍යක්ෂණයක් වූ මේජර් සර් චිත්‍රපටය 1982 දී තිරගත විය. තිලක් වේහැල්ල අධ්‍යක්ෂණය කළ චුට්ටේ චිත්‍රපටය 1983 දී තිරගත විය. ජෝ මයිකල්ගේ කරාටේ ජෝ චිත්‍රපටය තිරගත වූයේ එම වසරේදීය.

1984 වසරේදී ජෝ මයිකල්ගේ මද්දුම බණ්ඩාර චිත්‍රපටයත්, සිරි කුලරත්නයන්ගේ පොඩි රාලහාමි චිත්‍රපටයත්, හර්බට් රංජිත් පීරිස්ගේ ඇර සොයිසා චිත්‍රපටයත් තිරගත විය. ඩී. බී. නිහාල්සිංහ ශූරීන්ගේ මල්දෙණියේ සිමියොන් චිත්‍රපටය තිරගත කළේ 1986 දීය. ඇන්ටන් ග්‍රෙගරි විසින් අධ්‍යක්ෂණය කළ සූර සරදියෙල් චිත්‍රපටය ද තිරගත වූයේ එම වසරේදීමය. 1987 වසරේදී නිශාන්ත ද අල්විස් විසින් අධ්‍යක්ෂණය කළ පොඩි විජේ චිත්‍රපටයත්, පතිරාජ එල්. එස්. දයානන්ද ගේ කිවුලේගෙදර මොහොට්ටාල චිත්‍රපටයත් තිරගත විය.

බෞද්ධ කතා තේමාවක් රැගත් අංගුලිමාල චිත්‍රපටය 1988 දී තිරගත විය. එහි අධ්‍යක්ෂකවරයා වූයේ බැප්ටිස්ට් ප්‍රනාන්දුය. 1990 වසරේදී ෂර්ලි පී. විජේරත්න විසින් අධ්‍යක්ෂණය කළ විර උදාර චිත්‍රපටය තිරගත කරන ලදී. එන්. විමලසේනයන්ගේ අලිබබා සහ හොරු හතළිහ චිත්‍රපටය 1991 වසරේදී ප්‍රදර්ශනය කළ අතර, යසපාලිත නානායක්කාර විසින් අධ්‍යක්ෂණය කළ සුරනිමල චිත්‍රපටය 1992 දී ප්‍රදර්ශනය කෙරුණි.

ආනන්ද වික්‍රමසිංහ අධ්‍යක්ෂණය කළ සාජන්ට් නල්ලතම්බි චිත්‍රපටය 1993 දී තිරගත විය. රෝයි ද සිල්වාගේ ජීවන් මල්ලි චිත්‍රපටය ද තිරගත කළේ එම වසරේදීමය.

රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ විජේ සහ අජේ චිත්‍රපටයත්, සරත් ගුණරත්නගේ චිට්ටි චිත්‍රපටයත් 1995 වසරේදී ප්‍රදර්ශනය කළ චිත්‍රපට අතර වේ. රෝයි ද සිල්වා විසින් අධ්‍යක්ෂණය කළ රෑ දැනියෙල් දවල් මිගෙල් චිත්‍රපටය 1998 වසරේ තිරගත විය.

ධර්ම ශ්‍රී වික්‍රමසිංහ අධ්‍යක්ෂණය කළ ජැක් ඇන්ඩ් ජිල් චිත්‍රපටය 2001 දී තිරගත විය. 2003 වසරේදී සුදේශ් වසන්ත පීරිස්ගේ පිංපොං චිත්‍රපටයත්, රෝයි ද සිල්වාගේ සැපට දුකට සනී චිත්‍රපටයත්, උපාලි පියරත්නගේ ඇලඩින්ගේ වෑල්ඩින් චිත්‍රපටයත්, සුනිල්සෝම පීරිස් හා සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ ජිම් පප්පා යනාදී චිත්‍රපටත් තිරගත විය. සුනිල්සෝම පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය 2004 දී තිරගත විය.

රෝයි ද සිල්වා විසින් අධ්‍යක්ෂණය කළ මිස්ටර් ධන රින චිත්‍රපටය 2007 දී තිරගක වූ අතර, සුනිල්සෝම පීරිස් හා සුදේශ් වසන්ත පීරිස්ගේ වැඩ බැරි ටාසන් චිත්‍රපටය ද එම වසරේදීම තිරගත විය.

තුෂාර පීරිස්ගේ ප්‍රභාකරන් චිත්‍රපටයත්, පණ්ඩුකාභය කුමරුගේ ළමා කාලය ඇසුරෙන් ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කළ අබා චිත්‍රපටයත් 2008 වසරේදී ප්‍රදර්ශනය කෙරිණි. අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කළ විදූ චිත්‍රපටය 2010 දී තිරගත කරන ලදී.

2011 වසරේදී සරත් වීරසේකරයන් විසින් අධ්‍යක්ෂණය කළ ගාමනී චිත්‍රපටයත්, සංජය ලීලාරත්නගේ සෙල්වම් චිත්‍රපටයත්, ටෙනිසන් කුරේගේ තැන්ක් යූ බර්ටි චිත්‍රපටයත් තිරගත විය. සමන් වීරමන් විසින් අධ්‍යක්ෂණය කළ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයත්, බන්දු සමරසිංහගේ පීටර් වන් චිත්‍රපටයත්, ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සිරි පැරකුම් යන චිත්‍රපට ත්‍රිත්වය 2013 දී ප්‍රදර්ශනය කෙරුණි.

දෙස් විදෙස් සම්මාන රැසකට පාත්‍ර වූ ප්‍රියංකර විතානාච්චි විසින් අධ්‍යක්ෂණය කළ සැමීගේ කතාව චිත්‍රපටය තිරගත වන්නේ 2014 දීය. මිචෙල් ෆොන්සේකාගේ සුපිරි අන්දරේ චිත්‍රපටයත්, උදයකාන්ත වර්ණසූරියගේ කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයත්, සුදේශ් වසන්ත පිරිස් අධ්‍යක්ෂණය කළ රන්ජා චිත්‍රපටයත්, සිංහල ජාතියේ උන්නතිය වෙනුවෙන් ඇප කැප වී තම ජාතික මෙහෙවර ඉටු කළ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ ජීවිතය ඇසුරෙන් සනත් අබේසේකර තැනූ අනගාරික ධර්මපාල යනාදිය 2014 තිරගත වූ සෙසු චිත්‍රපටයි.