වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




අනෝජා ගේ නවතම යුග මෙහෙවර 27 වැනිදා

අනෝජා ගේ නවතම යුග මෙහෙවර 27 වැනිදා

මෙරට ජන සමාජය පෙළමින් පවතින මානසික ආතතිය හා මානසික රෝග යෝග ක්‍රමවේදය මඟින් දුරු කරවනු වස් දැවැන්ත සමාජ වගකීමක සම්මානනීය නිළි අනෝජා වීරසිංහ උර දී ඇත්තීය. ඒ අනුව අභින යෝග ආශ්‍රමය මඟින් සංවිධානය කරන ජාත්‍යන්තර මට්ටමේ යෝග සමුළුවක් මෙම මස 27 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා ඉන්දියාවේ සිවානන්ද යෝග වේදාන්ත ධන්වන්තරී ආශ්‍රමයේ අධ්‍යක්ෂ ඇතුළු එහි ආචාර්යවරුන් සහභාගි වනු ඇත. මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු සහ කපිල රණසිංහ , හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක, ගීතා කරඳවල මහත්මිය මෙම සමුළුව සඳහා දේශකවරුන් වශයෙන් සහභාගි වනු ඇත.


පළමුවැනිදා කේමදාස සන්ධ්‍යාවක්

මහා සංගීතවේදී ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ හත්වැනි ගුණ සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා පදනමේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය මඟින් සංවිධානය කළ 'ප්‍රේමසිරි කේමදාස සන්ධ්‍යාවක්' ඔක්තෝබර් මස පළමුවැනි බ්‍රහස්පතින්දා සවස ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේ පැවැත්වෙයි. මෙරට සංගීත ඉතිහාසයේ නොමැකෙන මුද්‍රාවක් තැබූ කේමදාසගේ කලා භාවිතය පිළිබඳ විද්වත් කතිකාවතක් මෙන්ම ඔහුගේ අතිශය ජනප්‍රිය සංගීත නිර්මාණවල සජීවී ප්‍රසංගයක් ද ඇතුළත් පුළුල් වැඩ සටහනක් එදින පෙළගස්වා තිබේ.

මේ සඳහා සහභාගි වන්න යැයි කේමදාසයන්ට ළැදි සහෘදයන්ට සංවිධායක කමිටුව විවෘත ආරාධනාවක් කරයි.