වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




යුග යුග හද බැඳි භාරත විලාසිනියෝ

යුග යුග හද බැඳි භාරත විලාසිනියෝ

විලාසිතා යනු ඕනෑම සංස්කෘතික වටපිටාවක් තුළ යම් කාලයකදී ප්‍රචලිතව පවත්නා ඇඳුම් පැලඳුම් ආකාරයන්ය. විලාසිතා කලින් කලට, රටින් රටට අනුරූපව වෙනස් වේ. ඇඳුම් පැලඳුම් ආකාර ඉක්මනින් වෙනස්කම්වලට බඳුන් විය හැකි අතර සාමාන්‍ය භාවිතාවේදී විලාසිතා වශයෙන් හඳුන්වනු ලබන්නේ වඩාත් නූතන අඳින පලඳින ක්‍රමවේදයයි. නූතන ලෝකයේ ස්ත්‍රී පුරුෂ, බාල මහලු, තරුණ වැඩිහිටි භේදයකින් තොරව රිසි පරිදි විලාසිතා කිරීමට බොහෝ දෙනා පෙලඹී සිටිති.

විලාසිතා ව්‍යාප්ත වීම කෙරේ හේතු සාධක වන මාධ්‍යයන් අතුරින් සිනමාවට හිමි වන්නේ ප්‍රබල ස්ථානයකි. සිනමා අඹරේ දිදුලන තාරකාවන් විසින් ගත දැවටූ නා නා ප්‍රකාර වෛවාරන ඇඳුම් පැලඳුම් කෙසේ හෝ අත් කර ගනු පිණිස මඟ බලා සිටින ප්‍රේක්ෂක කොට්ඨාසයක් වෙති. සිනමා ප්‍රේක්ෂකත්වයෙන් ඔබ්බට ගොස් තවත් බොහෝ පිරිසක් තරව ඇද බැඳ තබා ගනු රිසියෙන් සිනමාව නූතනය වන විට ලොව ප්‍රබලතම විලාසිතා වාහකයක් බවට පත් වී තිබේ. දේශ සීමා අතිික්‍රමණය කරමින් කාල තරණය කරමින් වේගයෙන් පැතිරී යන විලාසිතාවන් කෙරේ කතුන්ගේ ඇල්ම බැල්ම ඉතාමත් වැඩි බැව් ඔබ අප ඉතාමත් හොඳින් දන්නා කරුණකි.

අපගේ අසල්වැසි ඉන්දියාවේ උත්තර භාරතීය සිනමාව එසේත් නැතිනම් බොලිවුඩය ද සුවිශේෂී විලාසිතා උත්පාදක වාහකයක් බවට පත් වී ඇති අයුරු ඉන්දියානු සිනමාව දෙස අවධානය යොමු කිරීමෙන් පැහැදිලි කර ගත හැකිය. මේ ලිපිය මඟින් විමසා බැලෙන්නේ එදා මෙදාතුර විලාසිතා ප්‍රවණතා නිර්මාණය (Fashion Trends) කළ විලාසිනියන් කීප දෙනෙකු පිළිබඳවය.

හින්දි සිනමාවේ 60 දශකය තුළ විලාසිතාකරණයේ ප්‍රබල නව්‍යතා රැසක් මතුවන්නට විය. වර්ණ ගන්වන ලද දෑස් පිහාටු, පුම්බා සකස් කරන ලද්දා වූ ගෙඩි කොණ්ඩා ආදිය ඒ අතරින් සුවිශේෂී විය. 70 දශකය වන විට බෙල් බොටම් කමිස, ප්ලැට් ෆෝම් හීල්ස්, ඉතා විශාල දෑස් කණ්ණාඩි ද, 80 දශකය තුළ වර්ණවත් සාරි, හීල්ස් මෝස්තර ආදිය ජනප්‍රිය වූ අතර 90 දශකය වෙද්දී හාත්පසින්ම වෙනස් වූ සාරිය පසෙකලා ඒ වෙනුවට ස්කර්ට්ස් ද, හීල්ස් වෙනුවට බූට්ස් ද කරළියට ආ බැව් පෙනේ. නූතනය වන විට මෙකී සෑම මාදිලියේම විලාසිතාවන්හි සංකීර්ණ සම්මිශ්‍රණයක් අපට දැක ගත හැකිය.

40 දශකය හින්දි සිනමාවට සුවිශේෂී වන්නේ කාන්තාවන් හින්දි සිනමාවට ආගමනය වූ දෙවැනි දශකය වන බැවිනි. 40 දශකය වන විට ලීලා චිට්නිස්, ආශා ලතා, සිතාරා දේවි යනාදී රංගන ශිල්පිනියන් විසින් හින්දි සිනමා අඹර ආලෝකමත් කළ අතර ඔවුන් විසින් සිනමාපටයන්ට ඇඳි හෑන්ඩ්ලූම් සාරි මෙන්ම ෂර්ට්ස් හැඩැති බ්ලවුස් ද කැපී පෙනුණි. කෙසේ නමුත් 2 ලෝක යුද සමය පැවතීම හේතු කොට ගෙන පැන නැගි ගැටලුකාරී, උණුසුම් වටපිටාව හේතුවෙන් විලාසිතාකරණයට ප්‍රබල බලපෑමක් මෙම කාල සමයේදී සිදු නොවීම විශේෂත්වයකි.

50 දශකය වන විට මධුබාලා, නිම්මි, නාර්ගීස් යනාදී රංගන ශිල්පිනියන් හරහා හින්දි සිනමාව විලාසිතා වෙළඳපළ වෙත යම්තාක් දුරකට විවෘත විය. ශ්‍රී 420 චිත්‍රපටයේ එන ප්‍යාර්හුවා ඉක්රාර් හුවා ගීතයට නාර්ගිස් විසින් රාජ් කපූර් සමඟ රංගනයේ යෙදීමේදී ඇඳ සිටි වැසූ කර සහිත සාරි හැට්ටයක් ප්‍රින්ටඩ් සාරියත් අතිශය ජනප්‍රිය විලාසිතාවක් බවට පත් විය. එමෙන්ම මදර් ඉන්දියා සිනමාපටය සඳහා නාර්ගිස් විසින් හැඳි කොට්න් සාරි විලාසිතාව ද බොහෝ කතුනගේ අවධානයට පාත්‍ර විය.

හින්දි සිනමාවේ වීනස් දෙව්දුව ලෙස නම් ලද මධුබාලා හට අනර්කලී නම් වූ සල්වාර් විලාසිතාව හින්දි සිනමා ප්‍රේක්ෂකත්වය වෙනුවෙන් තිළිණ කිරීමේ ගෞරවය හිමි වේ. 1960 වසරේදී තිරගත වූ Mughal - E - Azam  චිත්‍රපටය ඔස්සේ වෛවාරන්න ලෙස හැඩ දැමූ ඉතාමත් ආකර්ෂණීය අනර්කලි සල්වාරය හඳුන්වා දෙන මධුබාලා නෙත් සිත් පැහැර ගන්නා රතු, ළා කොළ හා අළු මිශ්‍රිත අනර්කලි සල්වාරයකින් සැරසී Pyar Kiya to Darna Kya ගීතයට නර්තනයේ යෙදුණු අයුරු සිනමා ප්‍රේක්ෂකත්වය වෙත සදා අනුස්මරණීය වූ ද චමත්කාරජනක වූ ද මතක සටනක් එක් කරන ලදී.

60, 70 දශකයන්හි හින්දි සිනමාව ඔපවත් කළ සධානා සිවදාසනී ද භාරතීය සිනමාව හරහා විලාසිතා රැසක්ම දායාද කළ ප්‍රමුඛ පෙළේ විලාසිතා රැජනකි. සාම්ප්‍රදායික කුර්තා කමිසය වෙනුවට ඇඟට කිටි කිටියේ තදවන චුදිදාර් කුර්තාව (Chu Didar Kurta) ප්‍රචලිත කිරීමේ පුරෝගාමිනිය වන්නේ ද සධානාය. යාෂ් චොප්රා විසින් 1965 වසරේදී නිපද වූ වක්ත් චිත්‍රපටය හරහා සධානා විසින් මේ සුවිශේෂී වූ විලාසිතාව හඳුන්වා දෙන ලදී. 50, 60 දශකවල සිටි දක්ෂ සම්මානනීය රංගන ශිල්පිනියක වූ ඔඩ්‍රි හෙප්බර්න් විසින් රෝමන් හොලිඩේ චිත්‍රපටය සඳහා භාවිතා කළ කොණ්ඩා මොස්තරය ඇසුරෙන් ‘සධානා කට්’ නම් ප්‍රචලිත වූ කේශාලංකරණ විලාසිතාව හින්දි සිනමාවට දායාද කරන්නේ ද සධානා විසිනි.

ආර්. කේ. නයියාර් විසින් අධ්‍යක්ෂණය කළ ලව් ඉන් සිම්ලා (1961) චිත්‍රපටය හරහා සධානා හඳුන්වා දුන් ‘සධානා කට්’ කොණ්ඩ විලාසිතාව අසීමිත ලෙස ජනප්‍රියත්වයට පත් විය. පුළුල් නළලත ආවරණය වන සේ කඩින් කඩ නළලත හරහා දිගට පටියක් සේ යොදන මෙම කොණ්ඩා මෝස්තරය දැනුදු ඉන්දීය තරුණියන් අතර ජනප්‍රිය විලාසිතාවකි. එනයින් පැහැදිලි වන්නේ ද විලාසිතාකරණය නමැති විෂය පථයට සිනමා මාධ්‍යය කවරාකාරව බලපෑමක් කරන්නේ ද යන වගයි.

2008 වසරේ තිරගත වූ රබ්නෙ බනාදි ජෝදි චිත්‍රපටයේ අඩංගු වූ චල්තේ චල්තේ ගීතයේ රංගනය වෙනුවෙන් බිපාෂා හැඳ සිටි කුර්තාවත්, චාන්දනි චොක් ටු චයිනා චිත්‍රපටය සඳහා දීපිකා සැරසී සිටි කොණ්ඩ මෝස්තරයත් සධානාව නැවත නැවතත් සිහි ගැන් වීය.

1968 වසරේදී තිරගත බ්‍රහ්මචාරි චිත්‍රපටය ‘ආජ් කල් තෙරෙ මෙරෙ ප්‍යාර්’ ගීතයට රංගනයේ යෙදෙමින් චිත්තාකර්ෂණීය නර්තනයක් ඉදිරිපත් කළ ජනප්‍රිය නිළි මුම්ටාස් ඔබට අමතක නැතිවාට සැකයක් නැත. එම ගීිතයේ මනස්කාන්ත නර්තනය සේම ප්‍රේක්ෂක සිත් සතන් ඈ වෙත ආකර්ෂණය වූ ප්‍රබලතම හේතුවක් වූයේ එහිදී ඈ හැඳ සිටි තැඹිලි පැහැ සාරියයි. මුම්ටාස් ස්ටයිල් සාරි ලෙසින් ද මෙකී සාරි විලාසිතාව ජනප්‍රිය වීම තුළ ප්‍රේක්ෂකයන් විලාසිතාවන් කෙරේ කෙතරම් උනන්දුවක් දක්වන්නේදැයි පැහැදිලි වේ.

සාම්ප්‍රදායික කඩතුරා බිඳහැර අපරදිග සංස්කෘතියේ විලාසිතාංගයක් වන බිකිනි විලාසිතාව හින්දි සිනමාවට දායාද වන්නේ 70 දශකයේදීය. 1967 වසරේදී තිරගත වූ An Evening in Paris චිත්‍රපටය වෙනුවෙන් බිකිනියක් ඇඳි ෂර්මිලා තාගෝර් එකල සිනමාව තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කළාය. මීට පෙරාතුව නූටාන් දිල්ලි කා තග් චිත්‍රපටයට, වෛජයන්ති මාලා සංගම් චිත්‍රපටය සඳහා මෙන්ම තනුජා චාන්ද් ඕර් සුරජ් චිත්‍රපටවල නාන ඇඳුමින් සැරසී සිටිය ද බිකිනි විලාසිතාව හින්දි සිනමාවට ආගමනය වන්නේ ෂර්මිලා හරහාය. ඉන් අනතුරුව ඈ විසින් බිකිනිය හැඳ ගන්නා ලද ඡායාරූපයක් Film Fare සඟරාවේ පිට කවරය පවා සැරසීය.

70 දශකයේ අතිශය ජනාදරයට පත් බොබී සිනමා නිර්මාණය සමඟ දොරට වඩින ඩිම්පල් කපාදියා ද හින්දි සිනමාවේ ප්‍රචලිත විලාසිතාකාරිනියකි.

බොබී චිත්‍රපටයට ඩිම්පල් ඇඳි ඇඳුම් අතර ඉතා විශාල කළු තිත් විසිරුනු (පොල්කා ඩොටඩ්) උඩ ඇඳුමත්, කළු පැහැ මිණි සායත් යුවතියන් අතර එකල අතිශය ජනප්‍රිය විය. බොබී ප්‍රින්ට් විලාසිතාව ලෙස නම් දැරූ එකී විලාසිතාව දැනුදු ඉන්දීය යුවතින් අතර සිත් බැඳි විලාසිතාවකි.

හින්දි සිනමාව බිහි කළ සරාගී ගිනි සිළුවක ලෙස නම් ලද අතිශය සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක වන රේඛා විසින් උම්රාඕ ජාන් චිත්‍රපටය උදෙසා ඇඳි විසිතුරු වූ සළුපිලියෙන් නිමවන ලද මුජ්රාව අතිශය ජනප්‍රියත්වයට පත් විය. ඈ විසින් එම සිතුවම්පටය තුළදී රංගනය දැක් වූ දිල් චිස් ක්‍යා හේ, ඉන් ආංකොකෙ මස්තී ගීතයන් දැනුදු සිනමාලෝලී ප්‍රේක්ෂකත්වය නොමඳව රස විඳී.

70, 80 දශකවල ජනප්‍රියත්වයේ හිණිපෙත්තේම වැජඹුණු සීනත් ආමන්, පර්වින් බාබි, නිතු සිං විසින් විලාසිතා ලෝකයට අමුතුම ආකාරයේ චමත්කාරයක් ගෙන ආහ. පිරිමින්ට පමණක් සීමා නොවූ ඉතාමත් වර්ණවත් මුද්‍රිත විශාල බෙල් බොටම් කලිසම් ජනප්‍රිය කරලීමට මොවුන් තිදෙනාගේ දායකකත්වය ඉවහල් වූහ.

80, 90 දශකය රංගනයෙන් හැඩ කළ සුරූපී නිළි ශ්‍රී දේවිය ද ප්‍රබල විලාසිතා රැජිනියක ලෙස නම් කළාට වරදක් නැත. පෙනුමෙන් එතරම් සිත් නොගත්ත ද ඉතා වර්ණවත්  Chiffon සාරි විලාසිතාව අතිශය ජනප්‍රිය කරවීමට ශ්‍රී දේවිය සමත් වූවාය. රේඛා මීට පෙර සිල්සිලා චිත්‍රපටය උදෙසා Chiffon සාරියකින් සැරසී සිටිය ද එය ජනප්‍රිය නොවුණි. Chandni සිනමාපටයට ශ්‍රී දේවි හැඳ සිටි වර්ණවත් තැඹිලි පැහැති Chiffon  සාරිය සේම Mrindiq චිත්‍රපටයට ඈ හැඳි වර්ණවත් නිල් පැහැති සාරි විලාසිතා ප්‍රේක්ෂකත්වය ආදරයෙන් වැලඳගත් අතර එදා සිට වර්තමානයේ දීපිකා පදුකෝන් දක්වාම මෙකී වර්ගයේ සාරි විලාසිතාව අතිශය ජනප්‍රියත්වයට පත් වී ඇත.

ආසියාවේ සරස්වතී අවතාරය ලෙස නම් ලද සුරූපී රංගන ශිල්පිනී මධුරි දික්සිත් ද විලාසිතා මවන්නියකි. 1994 වසරේ තිරගත වූ Hum Aapke Hain Kaun චිත්‍රපටයේ ආ ලතා මංගේෂ්කාරයන් විසින් ගායනා කළ දිදි තෙරා දේවර් දිවානා ගීතයට මධුරි රංගනයෙන් දායක වෙද්දී ඇඳ සිටි වර්ණවත් තද දම් පැහැ සාරිය ඔබට මතකද? මධුරි පිටුපස රහිත බ්ලවුසයක් හැඳ දම් පැහැ විල්ලුද වැඩ දමා නිම කළ දම් පැහැ සැටින් සාරිය හැඳ ඉතාමත් ආකර්ෂණීය, මනබන්දනීය නර්තනයක නිරත වන අතර මධුරි මෙහිදී හැඳි සාරි විලාසිතාව කෙතරම් ජනප්‍රිය වූවාදැයි කිවහොත් ඉන්දීය විවාහ මංගලෝත්සවවල මෙම සාරි විලාසිතාව වර්තමානය වන විට නොවැරදිම අංගයක් බවට පත් වී ඇත.

නූතන පරපුර් ප්‍රචලිත නානා විධ විලාසිතා අතර ජනප්‍රිය නිළි කරිනා කපූර් විසින් Jab We Met  චිත්‍රපටය සඳහා සැරසී සිටි දිගු ටී ෂර්ටයත් Patials එකත් තරුණියන් අතරේ ඉතාමත් ජනප්‍රිය විලාසිතාවක් බවට පත් විය.

එමෙන්ම සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක වන රාණි මුඛර්ජි විසින් Bunty Aur Bubly  චිත්‍රපටයේ සැරසී සිටි කේලර් කෙටි කමිසය Patial එකක් හරහට දැමූ පෝලා බෑගයත් අතිශය ජනප්‍රිය විණි. බන්ටි බබ්ලි විලාසිතාව ලෙසින් ද මෙය හඳුන්වනු ලබයි.

එකී මෙකී නොකී සෑම සිනේ තාරකාවක්ම ප්‍රේක්ෂක සිත් අමෝදයට පත් කරමින් ඔවුන් සිහින ලොවක් කරා කැඳවාගෙන යන සුරංගනාවන් බඳුය. ඔවුන් අප දෑස මත්තේ මවාපාන මායා දැලට හසු වූ අප නිරායාසයෙන්ම ඒ වෙතට ළං වේ. අතීතයේ සිදු වූයේ එයමය. වර්තමානයේදී සිදු වන්නේ ද එයමය. අනාගතයේදීත් එලෙසම සිදු වනු නියතය. කවර හෝ ලෙසකින් ගත්ත ද අදෘශ්‍යමාන ඉන්ද්‍රජාලිකයන් කෙරෙහි නොව මිහිපිට සුන්දරත්වය සරසාලන මෙබඳු විලාසිනියන් නෙතට සිතට ආනන්දය නොගෙනේ යැයි කාහට නම් කිව හැකිද?