වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




පුවත් කෙටියෙන්

රුක්මණී දේවි අනුස්මරණ සංගමයෙන් ඉල්ලීමක්

විකට රජා එඩී ජයමාන්න රඟපාමින් ගැයූ ඒකල ගීත ගායනා කරමින් රඟපෑමට හැකි නවකයන්, ගී ගැයීමට හැකි දෙපක්ෂයේම නවකයන් සහ රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට කැමැති අය ඔක්තෝබර් මාසයේ 15 වැනිදාට පෙර ඇනස්ටා මර්සලින්, 328, එඩ්ලන්ඩ් වත්ත, වැලිහේන, කොච්චි කඩේ, යන ලිපිනයට ඉල්ලුම් කරන ලෙස රැක්මණී දේවි අනුස්මරණ සංගමය ඉල්ලා සිටියි.

සුදර්ශී පෝ දින ධර්ම දේශනාවක්

සිංහල සංස්කෘත ආයතනය මාසිකව පුන් පොහෝ දින ඉදිරිපත් කරන ධර්ම දේශනාව මේ 27 වැනිදා පස්වරු 5.00 ට සුදර්ශී පරිශ්‍රයේ බෝධිය අභියසදී පැවත්වේ. මියගිය කලාකරුවන්ට පින් අනුමෝදන් කරමින් මෙම කටයුත්ත පැවැත්වෙන බව සමන්පි‍්‍රය මාරසිංහ සහ තිලක් ජයවීර යන මහත්වරු ප්‍රකාශ කර සිටිති.

ආධුනික කෙටි නාට්‍ය තරගයක් සඳහා පිටපත් කැඳවීම

කැලණිය ඇසි දිසි සංසදය මෙහෙයවන ආධුනික කෙටි නාට්‍ය තරගය සඳහා සැප්තැම්බර් 30 දා දක්වා පිටපත් කැඳවීම සිදු කිිරීමට සංවිධායක කමිටුව තීරණය කර ඇත. වැඩිහිටි හා යොවුන් ආධුනික කලාකරුවන් වෙනුවෙන් විවෘත වූ මෙම තරගයෙහි පිටපත් තාත්වික හා ස්වතන්ත්‍ර නිර්මාණ විය යුතු අතර විනාඩි 30 ක කාලයකට උපරිමව 'අපේ උරුමය රැක ගනිමු' තේමාව යටතේ නිර්මාණය විය යුතුයි.

මේ සඳහා පිටපත් දෙකක් යොමු කළ යුතු අතර, 2015 දෙසැම්බර් මාසයේදී අවසන් මහා තරගයට හා සම්මාන ප්‍රධාන උත්සවය පැවැත්වීමටත් සංවිධායක කමිටුව සංවිධානය කර ඇත. මේ සඳහා පිටපත් අංක 90, පොල්හේන පාර, ගල්බොරැල්ල ලිපිනයට යොමු කළ යුතු අතර දුරකථන අංකය 0726542324 ප්‍රේමරත්න රූපසිංහ මගින් අවශ්‍ය කරුණු විමසිය හැක.

නාලක ස්වර්ණතිලකගේ පිනි පොද වැස්සක්

සම්මානනීය ළමා නිර්මාණ ශිල්පී නාලක ස්වර්ණතිලකගේ ‘පිනි පොද වැස්සක්’ ළමා ප්‍රසංගය හෙට දින (25 වැනිදා) කළුතර පුරහලේ දී පැවැත්වෙයි. මෙහි ගීත බොහොමයක නව සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතඥ ලක්ෂමන් විජේසේකරගෙන් වන අතර නර්තන වනිර්මාණය සුචින්තා වීරවර්ධන, දිනිති දොරනෑගොඩ, හර්ෂිකා රත්නායක, සකුණි බරණතුංගගෙනි. නවෝදා ගජවීරගේ ගීත පුහුණුවෙන් ද, රත්න කුමාර ලියනවඩු අංග රචනයෙන් ද, සුසන්ත නානායක්කාර පසුතල නිර්මාණයෙන් ද, කූල් ටොම්පො ආලෝක කරණයෙන් ද, ජිනදාස නිවිතිගල රංල භාණ්ඩ නිර්මාණයෙන් ද, ඉනෝකා සුමනසේකර නිෂ්පාදන කළමනා කරණයෙන්ද ‘පිනි පොද වැස්සක්’ සඳහා සහය වෙති. කථනය අරුන්දතී කෝලියබණ්ඩාරගෙනි.

වයිට්ලීෆ් ප්‍රසංග කලා ඇකඩමියේ ඉදිරිපත් කිරීමක් වන ‘පිනි පොද වැස්සක්’ ප්‍රසංගයට මේ ඇකඩමියට සම්බන්ධ වී ප්‍රසංග කලාව හදාරන කොළඹ හා කළුතර ප්‍රදේශයේ පාසල් විස්සක ළමා ශිල්පීහු පනස් දෙනෙක් පමණ සහභාගි වෙති. හෙට දින පෙරවරු 10.30 පාසල් දර්ශනය පැවැත්වීමට නියමිත අතර මහජන දර්ශනය පැවැත්වෙන්නේ පස්වරු 6.30ටය. ඒ දර්ශනය පැවැත්වෙන්නේ ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි සහ චරිකා ප්‍රියදර්ශනීගේ ප්‍රධානත්වයෙනි.