වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




සිටුතුමා හදන්න පෙළඹුනේ නවරාත්‍රි දැකලා

සිටුතුමා හදන්න පෙළඹුනේ නවරාත්‍රි දැකලා

පුදුම හතට අද තම සිත ගත් දේ ගැන කතා කරන්නේ වේදිකාව, පුංචි තිරය මෙන්ම සිනමාවේද සුවිශේෂ වූ චරිතයක්. වේදිකාවෙන් කා අතරත් ජනප්‍රිය වූ ඔහු වරෙක හැඩි දැඩි චණ්ඩියෙකි. තවත් වරෙක ප්‍රේක්ෂකයා කුල්මත් කළේ සිනහ රස සාගරයක ගිල්වමිනි. යළිත් ඔහු වෙස් ගන්නේ කාන්තාවක ලෙසිනි.

ජයසේකර අපොන්සු. රංගන ශිල්පියෙකු, වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙකු සේම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙසින්ද කලා ජීවිතයේ දිගු ගමනක නිරත ඔහු අද පුදුම හතට තම සිත ගත් රංගන ශිල්පීන් හත් දෙනා ගැන පැවසුවේ මේ අයුරින්.

ගාමිණි ෆොන්සේකා

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මා කුඩා කාලයේ සිටම ආදරය කළ ශ්‍රේෂ්ඨ රංගධරයෙක්. පොඩි කාලයේ පටන්ම මමත් නළු පිස්සුවෙන් හිටියේ. චිත්‍රපටවලට වඩා වැඩි ලෝකයක් මට තිබුණේ නැහැ. ගාමිණි රංගනයෙන් දායක වූ චිත්‍රපට අතරෙන් මම ප්‍රථමයෙන් නැරඹුවේ සන්දේශය චිත්‍රපටය යි.

පිරිස අතරේ කැපී පෙනෙන චරිතයක් කළා මතකයි කුඩා වියේ මතකය ඒතරම් පැහැදිලි එකක් වුණේ නැහැ. සන්දේශය චිත්‍රපටයේ ගාමිණීගේ රංගනය අවබෝධ කරගත්තේ පසු කාලීනව සන්දේශය නැරඹු පසුවයි. රන්මුතු දූව චිත්‍රපටය බැලූ අවස්ථාව නම් මතකයි.

රන්මුතු දූව බලන්න වැල්ලවත්තට ආවා. මම එහි ගාමිණීගේ ආකර්ශනීය රංගනයට වශීවෙලා හිටියේ. ගාමිණී තමයි මගේ වීරයා වුණේ.

ඉන් පසුව චණ්ඩියා චිත්‍රපටය ඉතා ආසාවෙන් නැරඹුවා. අපේ ගෙවල් තිබුණේ නුවරඑළියේ. ගාමිණී තිරය ඉරා ගෙන විශාල පෝස්ටරයක් නුවරඑළියේ දාලා තිබුණා. ඒක දුටු දා පටන් මම හැමදාම ඇඟිලි ගනිමින් පත්තර බලමින් හිටියේ කවදාද මේ චිත්‍රපටය එන්නේ කියලා. නුවරඑළියට සිංහල චිත්‍රපටයක් එන්න ලොකු කාලයක් ගත වෙනවා.

ඒ නිසා චණ්ඩියා බලන්න මම කොළඹ එන්න තීරණය කළා. මම රෑ කෝච්චියෙන් කොළඹ ආවා. මරදාන ගාමිණි හෝල් එකට ආවේ. ඇවිත් බලනනොට තියෙන්නේ චණ්ඩියා නෙවෙයි වෙනත් චිත්‍රපටයක්. ආපු ගමන අපරාදේ නිසා හින්දි චිත්‍රපට දෙකක් බලලා ආයමත් ගෙදර ගියා. පස්සේ දවසක ආයෙමත් කොළඹ ඇවිත් චණ්ඩියා චිත්‍රපටය බැලුවා.

ගැටවරයෝ චිත්‍රපටය නුවරඑළියේදි මගේ මාමා එඩ්වින් පීරිස් එක්ක ගිහින් නැරඹුවා. ටිකට් එක සත පනස්පහයි. එහි සටන් දැකලා මම කෑගහනකොට මාමා මාව කොනිත්තනවා.

ගමිපෙරළිය බලලා ගාමිණි ඇයි ජිනදාස වගේ චරිතයන් රඟපෑවේ කියලා මට හිතුනා. පසුව තේරුම් වයසේදි අයෙමත් බලනවිටයි එහි ඇති යථාර්ථවාදී රංගනය මට තේරුම් ගන්න හැකි වුණේ. පරසතු මල් චිත්‍රපටයෙන් ඔහුගේ විශිෂ්ට අධ්‍යක්ෂණය දැක ගන්න ලැබුණා. මම පරසතු මල් චිත්‍රපටය දහවතාවක් විතර නරඹුවා. ගාමිණි ෆොන්සේකා කෙතරම් උසස් රංගධරයෙක්ද කියන එක මට කාලයක් සමඟ මා වැඩෙන විටදී තේරුම් ගන්න හැකි වුණා. මටත් එවැනි වූ රංගධරයෙක් සමඟින් රංගනයට අවස්ථාව ලැබීමත් භාග්‍යයක්. ඇත්තටම ගාමිණි කියන්නේ උසස් මනුෂ්‍යයෙක්.

ජෝ අබේවික්‍රම

පොඩි කාලයේදී ගාමිණි සමඟින් මගේ සිත ගත් අනෙක් නළුවා වුණේ ජෝ. චණ්ඩියා චිත්‍රපටයේ චණ්ඩියාගේ මිත්‍රයා වුණෙත් ජෝ. ඒක මට ලොකු සතුටක් වුණා. ඉන් පසුව හිතට හිත, අල්ලපු ගෙදර වැනි චිත්‍රපට නැරඹුවේ ගොඩක් සතුටින්. අල්ලපු ගෙදර බැලුවෙ බඩ අල්ලාගේන හිනහ වෙමින්. මේ චරිත සමඟින් ජෝ අබේවික්‍රමයන් මගේ හිතට කා වැදුණු නළුවෙක් වුණා.

ඔහු චරිතයන් වෙනුවෙන් වන්නා වූ ආවේශය එදා රංගනය හදාරමින් සිටි අපට ආදර්ශවත් වුණා. ගාමිණිගේ චිත්‍රපට වගේම ජෝ රංගනයෙන් දායක වූ චිත්‍රපටත් එකක් නෑර මම නැරඹුවා.

වැලිකතර චිත්‍රපටයේ ගෝරිං මුදලාලිගේ චරිතය දැකලා මටත් මේ වගේ නළුවෙක් වෙන්න පුළුවන් නම් කියලා හිතුණා.ඒ වගේ ආසාවකින් පෙළෙමින් සිටින විටදී සධානා චිත්‍රපටයේ මට ඔහුත් සමඟින් රංගනයේ යෙදෙන්න ලැබුණු අවස්ථාවේ වටිනාකම කියා නිම කරන්න බැරි තරම්. එහි මට ඔහුත් සමඟින් එකට චරිතයකට පණ පොවන්න සිදුවුණා.

ඉතිං මම මගේ හිතේ තිබණු දේ ඔහුට පැවසුවා. “ජෝ අයියා මම ඔයාගේ චිත්‍රපට බැලුවේ හරිම ආසාවෙන්. ඔයා මම ගෞරව කරන නළුවෙක් කියලා මම කිව්වා. ඔයාගේ විහිළු මතක් වෙලා දැනුත් හිනහ යනවා” කියලා මම ජෝ අයියාට කිව්වා. “පුතා උඹ ඒක අමතක කරපං. මේ චිත්‍රපටයේ උඹයි මමයි. ඒක හිතට අරන් රඟාපාන්න” කියමින් රංගනයට උපදෙස් රැසක් මට දුන්නා. ඔහු මිතුරෙක් වගේ ළෙංගතුව ඇසුරු කළා. පසුව සුබෝධා, සයුරු තෙර වැනි චිත්‍රපටවලින් චරිතයට සමවැදි නිරූපණය කිරීම මම ඔහු තුළින් දුටු විශේෂත්වයක්. ජෝ ඉපදිලා තියෙන්නේම සිංහල සිනමාව වෙනුවෙන්.

ඩී. ආර් නානායක්කාර

ඩී. ආර් කියන්නෙත් අපේ සිංහල සිනමාවේ විශේෂ වූ රංගන ශිල්පියෙක්. මම මුලින්ම ඩී. ආර් රඟපාන චිත්‍රපටයක් විදියට නැරඹුවේ කුරුලු බැද්ද චිත්‍රපටය යි. පරසතු මල් චිත්‍රපටයේ අමාරිස්, බයිසිකල් හොරා චිත්‍රපටයත් විශේෂයි. ඩී. ආර් නානායක්කාර නම් රංගන ශිල්පියාට කැමැති වෙන්නත් විශේෂිත හේතු තිබුණා.

ඔහු රඟපෑවේ ආකර්ශනීය වීර චරිත, කොලු චරිත නොවෙයි. ඔහු පණ පෙව්වේ තාත්තා කෙනෙක්, සීයා කෙනෙක්, මාමා කෙනෙක් වගේ චරිත. ඒ චරිත වලට ඔහු කෙතරම් ස්වභාවික ලෙසින් පණ පෙව්වාද කීවොත් අපට ඔහු නළුවෙක් ලෙසින් නොව අපේ කෙනෙකු ලෙසයි පෙනුනේ. අදටත් ඔහු අපේ හිත් තුළ ජීවත් වෙන්නේ ඒ නිසයි.

සිනාවයි ඉනාවයි, භක්ති වැනි චිත්‍රපටවල මට ඔහු සමඟින් රංඟනයට දායක් වෙන්න අවස්ථාන ලැබුණා. ඔහුත් මට රංඟනයේදී බොහෝ දැනමුතුකම් දුන් ජ්‍යෙෂ්ඨයෙක්. ඔහු දර්ශන තලයේ විවේක ලද සැම විටම පැරණි අත්දැකීම් පවසමින් නවකයන්ට අපූරු පාඩම් කියාදුන් ගුරුවරයෙක්. ඔහු සමඟින් කතා කරන විට දැනෙන්නේ තමන්ගේ නෑදෑයෙක් සමඟ සිටිනවා වගෙයි. ඒ වගේම හොඳ ගති ගුණ තියෙන හිත හොඳ මිනිසෙක්.

සිවාජි ගනේෂන්

නුවරඑළියේ සිටි අපට සිංහල චිත්‍රපටයට වඩා දෙමළ චිත්‍රපට නරඹන්න අවස්ථාව ලැබුණා. රීගල්, ටි‍්‍රවෝලි හෝල් දෙකට දෙමළ චිත්‍රපට බොහොමයක් එනවා. මමත් මගේ මාමා එක්ක ගිහින් දෙමළ චිත්‍රපට බොහොමයක් බැලුවා.

ඒ අතරේ මගේ හිතේ විශේෂ වුණේ සිවාජි ගනේෂන්. ඔහුගේ රංගනයෙන් ඔපවත් වූ පරා ශක්ති චිත්‍රපටය තමයි මම ඒ අතරින් මුලින්ම නැරඹුවේ. ඔහුගේ රංගනය නම් පුදුමාකාරයි. ඉන් පසුව නවරාත්‍රි චිත්‍රපටයට මම වශී වුණා කිව්වොත් නිවැරදියි.

සිවාජිගේ රංගනය පුදුමාකාරයි. චරිතයෙන් චරිතයට වෙනස්වීමේ හැකියාවෙන් ඔහු සිටින්නේ ඉහළින්. ආකර්ශනීය රංගනය මෙන්ම දෙබස් උච්ඡාරණයද ඉරියව්ද සුවිශේෂ වෙනවා. නවරාත්‍රි චිත්‍රපටයේ නව ආකාරයකින් වූ ඔහුගේ රංගනය මගේ හිතේ විශේෂ අයුරින් සටහන් වුණා. මමත් එයට කෙතරම් ප්‍රියා කළා දැයි කීවොත් මාගේ රංගන දිවියටද එයින් යමක් ගැනීමට මමද උනන්දු වුණා. ම විසින් චරිත දොළහක් නිරූපණය කළ සිටුතුමා නාට්‍ය එහි ප්‍රතිඵලයකි විදියට පසුකාලීනව නිර්මාණ කෙරුණා.

ඔහු රඟපෑ Muthal Mariyana චිත්‍රපටයේ රංගනයට දායක වන විට ඔහු තරමක් වියපත් වූවෙක්. එම චිත්‍රපටයේ අවසාන දර්ශනය මා සිත කම්පා කළ දර්ශනයක්. එහි ඔහු එක් කාන්තාවක් එනතුරු පණ අදිමින් සිටින දර්ශනයක් ඇතුළත්. එය මා සිත කම්පා කළ සදාකල් මතකයේ තිබෙන දර්ශනයක්. අදටත් සිවාජිගේ රංගනය ඇතුළත් චිත්‍රපට මා අන්තර්ජාලය හරහා නරඹන්නේ ඔහුගේ විශේෂත්වය නිසාමයි.

ඩස්ටින් හොෆ්මන්

හොලිවුඩ් නළු ඩස්ටින් හොෆ්මන් අසාර්ථකත්වයෙන් පසු අතිසාර්ථකත්වයට පත් වූ විශිෂ්ට නළුවෙක්. බටහිර සිනමාවේ වීරයෙක්. වර්තමානයේ එක් අසාර්ථකවීමකින් පසුබා යන නවකයන්හට හොෆ්මන් දෙන්නේ කදිම ආදර්ශයක්. පාසල් අධ්‍යාපනය සාර්ථක ලෙස නිම නොකළ ඔහු රැකියාවක් සොයා යනවා. එය අසාර්ථක වී ඔහු නැවත පියවර තබන්නේ වේදිකා නාට්‍ය පාසලකටයි.

ඔහු එහිද අසාර්ථකම සිසුවා බවට පත් වෙනවා. පසුව නැවතත් රැකියාවකට පිටත්වන ඔහු අපසු පැමිණෙන්නේ පෙර කී නාට්‍ය පාසලටයි. එහිදී කුඩා චරිතයකින් වේදිකාවට පිවිසි හොෆ්මන් නවතින්නේ ඔස්කාර් සම්මාන උළෙලේ වේදිකාව මත සම්මාන අතැතිවයි.

මම පළමුවෙන්ම ඔහුගේ රංගනය දුටුවේ Rain Man චිත්‍රපටයෙන්. මාමා තමයි එදා ‘හොඳ නළුවෙක් ඉන්නවා. ඔයාට පෙන්වන්නම්’ කියලා මාව එක්කරගෙන ගියේ. එහි රෝද පුටුවක උමතුවෙන් මෙන් සිටින පුද්ගලයෙකු රංගනයේ නිරත වුණා. ඇත්තටම මෙයාට පිස්සුද කියලත් හිතුණා. එතකොට තමයි මාමා කිව්වේ එයා තමයි ඩස්ටින් හොෆ්මන් කියන්නේ කියලා.

ඇත්තටම මාර නළුවෙක්නේ කියලා මට ඉබේම කියවුණා. Tootise චිත්‍රපටයේ කාන්තාවක මෙන් කළ රංගනයක් මගේ මතකයේ තදින් සටහන් වූ චරිතයක්. තටු නාට්‍යයේ කාන්තා චරියට ඒ ආභාෂය බලපෑමක් කළා කීවොත් නිවැරදියි. හොෆ්මන්ගේ ස්වභාවික රංගනය ඉතා විශිෂ්ටයි. ඔහුගේ The Garduate, Midnight Cowbaoy, Lenny වැනි චිත්‍රපට මම ඉතා ආසාවෙන් නැරඹූ චිත්‍රපටයන්.

දිලිප් කුමාර්

දිලිප් කුමාර් බොලිවුඩයේ බොහොම සුන්දර නළුවෙක්. බොලිවුඩ් සිනමාවේ යුගයක් ඒකාලෝක කළ නළුවෙක්. පනහ හැට දශකයෙ හින්දි සිනමාවේ රජු ලෙසින් කිරුළු පළන් ඔහුගේ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට. එදා ඔහු රංගනයෙන් දායක වුණ දේවිදාස්, මධුමති වැනි චිත්‍රපට මම නැරඹුවේ වශීවෙලා.

මධුමති චිත්‍රපටයට කෙතරම් වශී වුණාදැයි කියනවා නම් ඒක විසිහය වතාවක් නැරඹුවා. බොලිවුඩයට ජීවයක් දුන් නළුවෙක් ලෙසින් මා දිලිප් කුමාර් දකිනවා. ගංගා ජමුනා චිත්‍රපටයේ වෙනස්ම චරිතයක් නිරූපණය කරනවිටදී රාම් ඕර් ශ්‍යාම් චිත්‍රපටයේ රංගනයෙන් රිදී තිරයට අමුතු ලස්සනක් ගෙන දුන්නා.

වැඩිම සම්මාන ගණනත් හිමි වූ ඔහුගේ රංගනයෙන් ඔපවත් වූ අසාද්, ශක්ති, කර්ම වැනි චිත්‍රපට අදටත් ලොව පුරා රසික රසිකාවන්ගේ හිත් තුළ සදාඅනුස්මරණීය ලෙසින් රැඳි තිබෙනවා.

පීටර් සෙලස්

හොලිවුඩයේ පීටර් සෙලස් ද පුදුමාකාර රංගන පෞරුෂයකින් හෙබි නළුවෙක්. The Party  චිත්‍රපටයේ ඔහුගේ රංගනය ඉතාම විශිෂ්ටයි. එහිදී ඔහු පේ‍්‍ර්ක්ෂකයාගේ හිත් ආකර්ශනය කර ගන්නා ආකාරය අපූරුයි. ඔහු කවරෙක්ද යන්න දැන ගන්නට ඔහු පිළිබඳ හදාරන්න එක් චිත්‍රපටයක් නැරඹීම ප්‍රමාණවත්.

සියුම් ඉරියව්වලින් බොහෝ දේ දක්වන්න හැකියාව ඔහු සතුයි. හාස්‍යමය රංගන ශිල්පියෙක් සහ ගායකයෙක් ලෙසත් ඔහුගේ Pink Panther, The Running Jump & Standing Stil Film, Being There, Lolita  වැනි චිත්‍රපට වල ඔහුගේ සුවිශේෂ රංගනය නරඹන්න අපට අවස්ථාව උදා වුණා.

වේදිකාවේද සුවිශේෂ චරිතයක් වූ ඔහු 1948 වසරේ සිට මිය යන තෙක්ම ගුවන්විදුලියට හා රූපවාහිනියට තිබූ දායකත්වය අත නොහැර සිටියා. Any Old Iron, Goodness Gracious Me වැනි හාස්‍යමය ගීත ද ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගත්තා.