වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




‘ස්තුතියි’ යන ලියුම නැවත අපට නොලැබෙනු ඇත

‘ස්තුතියි’ යන ලියුම නැවත අපට නොලැබෙනු ඇත

අපෙන් වෙන්ව ගිය දයා අල්විස් වෙනුවෙනි

ඔබ මා පිළිබඳ ලියන ලද ලිපිය ඉතා අගනා එකකි. එය මගේ දිවියට මහත් දිරියක් දුන්නකි. ඔබට මගේ හද පිරි ස්තූතිය පිරිනමමි.

පුවත්පත් කලාවේදියකු, කලාකරුවන් සමඟ ඇති මිත්‍රත්වය ඉහළ එකකි. එහෙත් ඔවුන් වෙනුවෙන් ලියන ලිපියක අඩුපාඩුවක් ඇතොත් වහා දොස් නඟන බහුතරයක්, අගනා ලිපියක් වුව පෙරළා ස්තූතිය පළ කරන්නට ඉක්මන් වන්නේ නැත. ස්තූති කරන්නෝ ද ඉතා දුලබය.

ඒ දුලබ මනුෂ්‍යයන් අතර ස්තූතියෙන් සෑහිමකට පත් නොවී ඉහත සටහන ලියා එවන්නෙකු අප අතර විය. මේ ලිපිය විවිධ ආකාරයෙන් මට කිිහිපවරක් ලැබිණි. වචන පමණක් වෙනස්ය. අදහස එකය. එහෙත් අදින් පසු ඒ ලිපිය මට යළි ලැබෙන්නේ නැත.

හේතුව මේ ලිපිය ලියන්නේ ඔහු ගැනය. ලියන්නට තබා ස්තූති කරන්නටවත් ඉඩ නොතබා ඔහු ගිය සඳුදා මෙලොව අතහැර ගියේය. ඔහු දයා අල්විස්ය. හඳුනාගත් දවසේ පටන් ඔහු මට දයා අයියාය. තුයිඅප්පු ආරච්චිගේ දොන් දයා ද අල්විස් උප්පැන්නයේ ඇති සම්පූර්ණ නමය. උපන්නේ ඉඳුරුවගොඩය.

පවුලේ කොල්ලන්ම හත් දෙනෙකි. ඔහු උපන්නේ තුන් දෙනෙකුට බාලයා හැටියටය. තව තුන් දෙනෙකුට වැඩිමල්වය. උගත්තේ කළුතර ඥානෝදය විදුහලෙනි. ළා දළු වනමල් නමින් ඇරැඹෙන ගීයක් ඔහු මුලින්ම ගායනා කළේ 1956 වසෙර්ය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 14 කි.

සංගීතය ඉගෙන ගායකයෙකු වීම ඔහුගේ අරමුණ විය. එබැවින් 1964 වසරේදී ඔහු භාත්ඛන්ඩේ විද්‍යාලයට ඇතුළත් විය. ඉන් තෙවසරකට පසු යළි ලංකාවට පැමිණෙන දයා අයියා තෝලංගමුව මැදි විදුහලේ සංගීත ගුරුවරයා විය. පාසලේදී ඔහු ගිරිකූඨ නමැති නාට්‍ය නිර්මාණය කළේය.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ පේමතෝ ජායතෝ ඔහු ප්‍රසිද්ධ වේදිකාවට ගොඩ වූ මුල්ම අවස්ථාව විය. එතැන් පටන් දෙපානෝ, මූදු පුත්තු, රන්කඳ, විකෘති, මෝදර මෝල, ඒකාධිපති, මකරාක්ෂයා කළුවරේ ජරමරේ වැනි විශිෂ්ට නාට්‍ය රාශියකට රංගනයෙන් දායක විය. බර්නඩාගේ සිපිරි ගෙය ඔහු සංගීතවත් කළේය.

ආගන්තුකයෝ, කේ සරා සරා ඔහු අතින් තැනුණු වේදිකා නාට්‍ය විය. තිලක හා තිලකා ඔහුගේ මුල්ම සිනමා රංගනයයි. එතැන් පටන් මඩොල්දූව, සිරිබෝ අයියා, මහ ගෙදර, දඩයම, විරාගය, මායා, ගොළු මුහදේ කුණාටුව, මල්දෙනියේ සිමියොන්, පූජා, අන්තිම රැය ඇතුළු චිත්‍රපට රාශියකට ඔහු රංගනයෙන් සම්මාදම් වූයේය.

සිංහබාහු චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය ඔහුගේය. ඔහු විසින් ලියන ලද මුල්ම තිර නාටකය වනුයේ ද සිංහබාහුය. ඉන් අනතුරුව අන්තිම රැය ඇතුළු තිර නාටක රැසක් ද ඔහු අතින් රචනා විය. මෙරට ටෙලි නාට්‍ය ඉතිහාසය ආරම්භයේම එළි දකින ලාහිරු දහසක් ටෙලි නාට්‍ය හරහා ඔහු ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ රංගනයට එක් විය.

එතැන් පටන් පිටගම්කාරයෝ, වනසරණ, නිවටයා, බෝඩිම, හික්මීයා, පුනරාවර්ථන හා ආවර්ජනා ඇතුළු ටෙලි නාට්‍ය රැසකට ඔහුගේ දායකත්වය ලැබිණි. ආවර්ජනා, පුනරාවර්ථන, බෝඩිම ඔහු රචනා කළ ටෙලි නාට්‍ය කෘති අතර වෙයි. චන්ද්‍රයාමය ඔහු අධ්‍යක්ෂණය කරන ලද මුල් ටෙලි වෘතාන්තයයි. මේ සියල්ල මැද 1978 දී යමුනා දයාංගනී සමග විවාහ වූ දයා අයියා, එයින් සාරංගදේව හා සපුමල් බණ්ඩාර යන පුතුන් දෙදෙනා සමඟ අවුරුදු 36 කට ආදර්ශමත් සැමියෙක් විය.

ගෞරවාන්විත පියෙකු විය. මිය යන විට ඔහු දරු මුනුබුරන් මැද කල් ගෙව්වේය. එක මිනිසකු සතු වූ කලා කුසලතා ද ඒ සියල්ල මැද යහපත් පවුල් ජීවිතයක් ද ඇත්තේ කලාතුරකිනි. ඒ කලාතුරක හමු වූ සුන්දර මිනිසකු වනුයේ දයා අයියාය.

දයා අයියාගේ පුද්ගලික එකතුවෙහි විශිෂ්ට ඝණයේ සිනමා කෘති රැසක් විය. සංගීතය පිළබඳ ඔහුගේ ඥානය සුවිසල් එකක් විය. ඔහු සිය වැඩිමහල් පුතුට සාරංගදේව යැයි නම තැබුවේ එබැවිනි. සංගීතය පිළිබඳ ඔහුගේ පුළුල් දැනුම කෙතරම් ද යත් එහි රසවිඳිමින් භාවනාවක නිරත වන්නට ඔහු සමත් විය. ලෝකයේ විශ්ෂ්ට සංගීතය අසන්නට නම් කෙතරම් සැතපුම් ගණනක් හෝ දුර ගෙවන්නට ඔහු කැමතිය.

ඔහු තරම් මෙරට වේදිකාව, රූපවාහිනිය හා සිනමාව යන මාධ්‍යයන් ත්‍රිත්වයේම විශිෂ්ටයන් සමඟ කටයුතු කළ තවත් කෙනෙකු නැති තරම්ය. වේදිකාවේදී සරච්චන්ද්‍රයන් මෙන්ම, සිනමාවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ද, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ පරාක්‍රම නිරිඇල්ල ද ඔහුව දායක කරගත්තේය. මිය යන තෙක්ම ඔහු ඉගෙන ගන්නට කැමැතිය.

විශිෂ්ට සංගීත රසයක් පිළිබඳ කතා කරන්නට නම්, හොඳ සිනමාව ගැන කතා කරන්නට නම් රෑ එළි වනතුරු යාං හෑලි කියන්නට නම් දයා අයියාගේ සොඳුරු මිත්‍ර සමාගම ජීවිත කාලය පුරා අමතක නොවන්නකි. ඒ අත්දැකීම් මට වරින් වර ලැබිණ. පෞද්ගලික ජීවිතයේදී දයා අයියා යනු අති සුන්දර මිනිසෙකි.

ඔහු සමඟ ගත කරන කාලය කිසිසේත් ඉගිල යනු නොදැනෙන්නකි. ඇතැම් රූපගත කිරීම්වලදී දයා අයියාගේ දර්ශන නිමාවූවත් බලහත්කාරයෙන් මෙන් වැඩිපුර දවසක් හෝ දෙකක් රඳවා ගනුයේ ඔහු ඉන්න තැන රස ආකරයක් වන බැවිනි. කෙතරම් විනෝදයෙන් ගත කළ ද වගකිව යුතු තැන ඔහු ඉතා වගකීමෙන් කටයුතු කළේය. බොහෝ දේ ලැබීම්, කිසිවක් නොලැබීමත් යන කාරණාව ඔහු උපේක්ෂාවෙන් විඳ ගත්තේය. ඔහුගේ ජීවිතය නිරන්තරයෙන් කලාකරුවන්ගෙන් පමණක් නොව යතිවරුන්ගෙන් ද සේවනය ලද්දෙකි.

දස වසරකට පමණ පෙරාතුව මම නිවාසයක් තැනීමේ සිහිනයක පෙළුණෙමි. අපේ පළාතේ පලාත් පාලන ආයතනයේ සමහරු එහි අනුමැතිය එක එක ජාතියේ කාරණා කියමින් කල් ඇරියේය. දයා අයියා පදිංචිව සිටිනුයේ ද ඒ පළාතේය. ඔහුට මගේ ගැටළුව ආරංචිව තිබිණ. තකහනියෙක්ම ඔහු මා අදාල ආයතනය වෙත ගෙන ගියේය.

එහි සිටි ලොකු මහත්වරු මේ විශිෂ්ට චරිතාංග නළුවාට ගෞරව කළහ. ඒ වන තෙක් එතැනින් මෙහාට ගිය මගේ ලිපි ගොනුවට සාධාරණය ඉෂ්ට කරන්නට දයා අයියාට හැකි විණ. ඔහුගේ නිවස මිතුරන්ට සංග්‍රහ කළ නිවහනක් විය. මේ කතා විද්වත් දැනුම බෙදා ගන්නා ශාස්ත්‍රීය මණ්ඩපයක් පමණක් නොව මිහිරි මතක සමුදායක් බෙදා ගන්නා රස කතා ආකරයක් ද වෙයි. ඒ රස කතා නිකම්ම ඒවා නොවේ. සමහර විට දයා අයියා පවසන කතා මහ අරුත්බර ඒවා යයි පවසන්නේ පසුව කල්පනා කරන විටදීය. උපන් ගම පළාතේ දොදොල් වෙළඳාමක් ගැන දයා අයියා පැවසු කතාව එබන්දකි.

ගාලු පාරේ එක ගෙදරක දොදොල් වෙළඳාමක් පටන් ගත්තේය. ඒ වතාවක් දයා අයියා ගමේ ගොහින් එන විටය. පොඩියට පටන් ගත් ව්‍යාපාරය ඊළඟ වතාවේ එන විට සරුවට තිබිණ. ඊළඟ අවුරුද්දේ ගමට යන විට ගාලු පාර අයිනේ දිගටම දොදොල් කඩ වැහි වැහැලාය. වරදක් නැත. ඊළඟ අවුරුද්දේ කඩ සියල්ල වැසිලාය. ඒ මදිවාට කඩ පිල ඉදිරිපිට දොදොල් තාච්චි විකිණීමට තිබිණ. මේ කතාව ඇසූ අප බඩ අල්ලාගෙන සිනාසීමු. එහෙත් කතාවේ අර්ථය අප ඉඳුරා විඳ ගත්තේ පසු කලකය. අනුනට සිනාසෙන මිනිසුන් තමන් අරඹයා විහිළු කළ විට කෝප වෙයි. එහෙත් දයා අයියා අනුන් පමණක් නොව තමන් ද කේන්ද්‍ර කරගෙන උපහාස කතා පැවසුවේය. දයා අයියාගේ කතා නිකම් කතා නොව රස කතා බවට පත් වූයේ එහෙයිනි.

ඔහු ටෙලිවිෂන් නාට්‍ය කලාවේ වඩාත්ම ආදරයට පාත්‍ර වූයේ ලාහිරු දහසක් ටෙලි නාට්‍යයේ බාස් උන්නැහේගේ චරිතය රඟපෑමත් සමඟය. එය ඒ අවදියේ පරමාදර්ශී චරිතයක් විය. ඒ වන විට දයා අල්විස් ගැන නොදැන සිටි ඇතැම් රසිකයන්, දයා අල්විස් යනු ඇත්තම බාස් උන්නැහේ කෙනෙකු යැයි සැක පහල කළහ.

මෙරට ටෙලිවිෂන් නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂයක් වූයේ ලාහිරු දහසක් නාට්‍යයි. වැඩිහිටි චරිතයක් වූ බාස් උන්නැහේගේ චරිතය රඟපාන විට ඔහු වයසකට පත්ව නොසිටියේය. එහෙත් දයා අයියා එදා සියල්ලන්ට වැඩිහිටියෙක් වූයේය. සිනමා රංගනයේදී චිත්‍රපටයේ සුළු චරිතයක් වුව ද මුළු මහත් චිත්‍රපටයේම කැපී පෙනෙන චරිතයක් බවට පත්වන්නට හැකි වීම ඔහුගේ ප්‍රතිභාව සිහිපත් කරයි. සිරිබෝ අයියා චිත්‍රපටයේ සාදිරිස් එබඳු චරිතයකි.

මහගෙදර අප්පුහාමි ද එබන්දෙකි. දයා අල්විස්ට එම චිත්‍රපට යුගලයෙහිම දායක වන්නට ඉඩ ලැබුණේ රූප රාමු කිහිපයක වුව ද එයින් උපරිම ඵල නෙලා ගන්නට ඔහු සමත් විය. විරාගයේ කුලසේකර පවා ලද අවම අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නට දයා අයියා ගත් ප්‍රයත්නයකි.

ඔහුගේ රංගන ජීවිතය පිළිබඳ කලකට ඉහත තිස්ස අබේසේකරයන් ගෞරවාන්විතව සටහන් කර තිබිණ. තිස්ස අබේසේකරයන්ගේ සෑම චිත්‍රපටයක මෙන්ම ටෙලි නාට්‍යයකද දයා අයියාට ඉඩක් තිබිණි. දයා අයියාගේ රඟපෑම විචාරකයන්ගේ අවධානය යොමු නොවුණ විශිෂ්ට රඟපෑමක් බව තිස්ස අබේසේකරයන්ගේ මතය විය.

මේ ලිපිය පුරාම මට ලියන්ට සිදු වන්නේ අපේ හිතවතාගේ සුන්දර ජීවිතයයි. ඔහු තමා ලියූ තිර නාටක, තමා ගැන ලියන ලද ලිපි සියල්ල පිළිවෙලට සුරක්ෂිතව ආරක්ෂා කර තැබූවෙකි. ඔහු පසුගිය කාලයේදී රඟපෑමට තිබුණ සියළුම ටෙලි නාට්‍යවල රඟපා හමාර කළේය.

ඒ මේ සති අන්තයේ ඕස්ට්‍රේලියාවට ගොස් තම පුතු ළඟ සය මසක් ගත කරන්නටය.

නිෂ්පාදකවරුන් අමාරුවේ දෑමීමේ සිරිතක් ඔහුට නැති හෙයින් ඔහු දිවා රෑ දෙකෙහිම කටයුතු කළේ ගමනට පෙර බාර ගත් වැඩ ඉවර කරන්නටය. ඔහු එක දිගට වැඩ කළේ සය මසක නිවාඩුවකටය.

ඒ අතරවාරයේ හැම විටම නිරෝගී බව අගය කළ ඔහු දිනපතා ව්‍යායාමයන්හි යෙදුණේය. ඔහු අනතුරකට මුහුණපෑවේ ඒ අතරතුරය.

සය මසක නිවාඩුවක් ගන්නට සිටි ඔහු ජීවිතයේ සදාතනික නිවාඩුවක් ලබා ගත්තේය. ගහක් ගලක් වන් සිටි දයා අයියා සොරුන් අරගෙන ගියා වැන්න. දයා අයියාගේ මරණය සැල වූ වහාම කටුවාවල නිවෙසට පැමිණි කලාකරුවන් පිරිස ඔහු සිය සහෘදයන් සමඟ ගත කළ ජීවිතය පිළිබඳ සාක්ෂියකි.

දයා අයියා කෙතරම් සහෘදයෙකුදැයි මට දැනුණේ මේ ලිපිය ලියන්නට පටන් ගනිද්දීය. එය අතිශය වේදනාකාරී ඇත්දැකීමක් විය.

පසුගිය දවසක අප දෙදෙනාගේම මිතුරකු වූ ප්‍රසන්න පරණවිදාන තිදෙනා සමඟ සොඳුරු සැන්දෑවකට සැලසුම් කළේය. එම සැන්දෑව උදා වූයේ නැත. මේ ලිපිය ලියා පළ කළ පසු එයට ‘ස්තූතියි’ යනුවෙන් ලියුමක් දයා අල්විස් නමින් නැවත නොලැබෙන බව නම් මට සහතිකය.

දයා අයියාගේ මුළු පවුලටම අපගේ සාතිශය සංවේගය මෙසේ පළ කරමු.