වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




බී. ඒ. ඩබ්ලිව්.ගෙන් ජොසී බබාට කැපිල්ලක්

කඩවුණු පොරොන්දුව සිංහල සිනමා ඉතිහාසයේ පළමු කතානාද චිත්‍රපටය විය. දෙවැන්න වූයේ අශෝකමාලාය. 1947 ජනවාරි 21 වැනි දින කඩවුණු පොරොන්දුව තිරගත වී හරියටම දින හැත්තෑ පහක් ඉක්ම වූ තැන එනම් එම වසරේ අප්‍රේල් 07 වැනිදා අශෝකමාලා ප්‍රදර්ශනය ආරම්භ විය. කඩවුණු පොරොන්දුව ගැන මගේ මතය කියන්න කැමැත්තෙමි. එය සිංහල කතානාද සිනමා වංශාවලියේ ආරම්භක සිනමාපටය වුව ද එමගින් එළියට ආවෝ අතළොස්සකි. රුක්මණී, එඩී, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සහ හියුගෝ මාස්ටර් ඒ අතරින් කැපී පෙණින. අන් අය කෙසේ වෙතත් හියුගෝ මාස්ටර් මිය යන තෙක්ම සිනමාවේ සක්‍රීය ලකුණක් විය.

ඔහු කඩවුණු පොරොන්දුවේ ගීත රචනා කළා පමණක් නොව ගායකයකු ද විය. පසුකාලීනව හියුගෝ මාස්ටර් චිං චිං මෝනා, රම්‍යලතා, මාතලන්, අල්ලපු ගෙදර ආදී සිනමාපටයන්හි රඟමින් අති දක්ෂ චරිතාංග නළුවකු බවට පත් විය. අල්ලපු ගෙදර, වනමෝහිනී, දුප්පතාගේ දුක, සූරයා වැනි චිත්‍රපට රචනා කරන ලද්දේ ද ඔහු විසිනි. කඩවුණු පොරොන්දුවේ ජොසී බබාගේ චරිතය එවකට කාගෙත් සිත් ගත් චරිතය විය.

එයට පණ පෙව්වේ ජෙමිනි කාන්තාය. ඇයව බී. ඒ. ඩබ්ලිව්. තම ඊළඟ චිත්‍රපටවලින් ඉවත් කිරීම හේතුවෙන් ජෙමිනිගේ ගමන සීමාසහිත විය. බී. ඒ. ඩබ්ලිව්. ඇය වෙනුවට මේබල් බ්ලයිත් හඳුන්වා දුන්නේය. කැලෑහඳ චිත්‍රපටයේ පරණ පිනක් ගීතය ගැයුවේද මේබල් විසිනි. කැලෑහඳ සිනමාවට නැගුණ මුල්ම නවකතාව විය. මේ පිරිසට අමතරව කඩවුණු පොරොන්දුව සමඟින් සැලකිය යුතු කිසිවකු ක්ෂේත්‍රයේ නමක් ඇත්තෙකු බවට පත් නොවිණ. අශෝකමාලා එයට වෙනස් විය. එහෙත් කඩවුණ පොරොන්දුව පිරිස වේදිකාවේ නම් දැරූහ.

එමඟින් ක්ෂේත්‍රයට පැමිණ වැජඹුණෝ බොහෝය. කඩවුණු පොරොන්දුව මෙන් නොව අශෝකමාලා හි දෙබස් පවා තාත්ත්වික ස්වරූපයක් ගත්හ. 'පෙම්වත, ඔබ මාව කැඳවාගෙන යන්නේ කොයිබටද' වැනි නාට්‍යානුසාර දෙබස් වෙනුවට සත්‍ය ලෝකයේ කතාබහ කරන ආකාරය අශෝකමාලා චිත්‍රපටයේ චරිත කතා කළේය. අතීතයෙන් මීබිඳු සඳහා අශෝකමාලා ගැන මම ලිපියක් ලිව්වෙමි. එය පළ වූයේ 1972 මාර්තු 24 සරසවිය කලාපයේය.

එය මා සකස් කළේ අශෝකමාලා දෙබස් රචක සහ උප අධ්‍යක්ෂ මයිකල් සන්නස් ලියනගේ සමඟ සාකච්ඡා කිරීමෙනි. එහිදී ඔහු විසින් රසවත් කතා බොහොමයක් මට පවසන ලදී. අශෝකමාලා අධ්‍යක්ෂවරයා වූයේ ශාන්ති කුමාර් සෙනෙවිරත්නය. ඔහු මෙරට පළමු සිංහල අධ්‍යක්ෂවරයා වශයෙන් ඉතිහාසගත විය. මයිකල් පැවසූ අන්දමට ඔහු හා ශාන්ති කුමාර් අතිශය සමීප මිත්‍රයෝය. කවදා හෝ හොඳ සිංහල චිත්‍රපටයක් තැනීම තමන්ගේ එකම අභිප්‍රාය බව ඔහු දිනක් මයිකල්ට පවසා තිබේ. මේ අදහස පෙරදැරිව ඔවුහු එස්. එම්. නායගම් මුණ ගැසිණ.

නමුත් එම සාකච්ඡාවේදී යම් යම් ගැටලු කිහිපයක් තිබීම හේතුවෙන් දෙපාර්ශවය බිඳුණු සිතුවිලි සමඟ විසිරී ගියෝය. නායගම් කඩවුණු පොරොන්දුව නිෂ්පාදනය කළේ ඉන් පසු කලකය. නමුත් ඔහු අශෝකමාලා නිෂ්පාදනය කළා නම් නායගම්ගේ ඉතිහාසය ද වෙනස් අයුරින් ලියවෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබිණ. අශෝකමාලා තැනීම සඳහා එහි නිෂ්පාදන කණ්ඩායම 1946 ඔක්තෝබර් මස 09 වැනිදා ඉන්දියාවට ගියහ. එය ඉතා රහසිගත ගමනකි. ඔවුන්ගේ අභාග්‍යයකට ඒ වන විටත් කඩවුණු පොරොන්දුව තැනූ බී. ඒ. ඩබ්ලිව්. ඇතුළු පිරිස ද සිටියේ ඉන්දියාවේය. ඔවුහු සිටියේ කාගේ කාගේත් ඇස්වලට වැලි ගසමිනි. මේ අතර ශාන්ති කුමාර්ගේ කඩවුණු පොරොන්දුවේ පිරිස මේ වන විටත් චිත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ කර ඇති වග සැඟවිය නොහැකි විය. ඔහු වහාම මේ බව මයිකල්ට දැන්වීය. මේ සියල්ල දැනගත් මයිකල් කිසිසේත්ම කලබල වූයේ නැත.

'තව පිරිසක් චිත්‍රපටයක් හදනවා කියලා අපි කලබල වෙන්න ඕනෑ නැහැ. මොනවා වුණත් අපේ රට වෙනුවෙන්නේ ඒ චිත්‍රපටයත් හදන්නේ. ඒගොල්ලන්ට තරගයක් නොවී අපි අපේ වැඩේ හිමිහිට හොඳට කරමු'.

මයිකල්, ශාන්තිට කීවේය. කෙසේ නමුත් ඒ මොහොතේම ශාන්ති තම පිරිස කැඳවූයේය.

මේ වෙන කොට සිංහල චිත්‍රපටයක් හදනවා කියලා ආරංචියි. ඒක හින්දා අපි ඉක්මනට අපේ වැඩ පටන් ගන්න ඕනෑ. අපි කාටවත් හඟවන්න හොඳ නැහැ. අපි මීට කලින් චිත්‍රපට නොහදපු අය විදිහට ඉන්න හොඳ නැහැ. පුළුවන් තරම් චිත්‍රපට ගැන දැනුවත්භාවයක් තියෙන අය විදිහට ඉමු.

ඔහු කණ්ඩායම ඇමතුවේ එලෙසිනි.

කෙසේ වෙතත් කඩවුණු පොරොන්දුව මදුරෙයි නගරයේ තැනෙද්දී ශාන්ති කුමාර් ඇතුළු පිරිස අශෝකමාලා මදුරාසියෙහි නිර්මාණය කළහ. අවසානයේ කඩවුණු පොරොන්දුව ඉස්සර විය. අශෝකමාලා දෙවැනි තැන ගත්තේය. එලෙස වීම එක්තරා ආකාරයකින් අප සිනමාවට අසුබවාදී බව මගේ අදහසයි. යම් හෙයකින් අශෝකමාලා ඉස්සර වූවා නම් නායගම්ගේ ඉතිහාසය මෙන්ම හෙළ සිනමා ඉතිහාසය ද වෙනස් මඟක් ගන්නට නොඅනුමානවම ඉඩ තිබිණ. අශෝකමාලා සිනමාපටයේ මංගල දර්ශනය පැවැත්වුණේ කොළඹ රීගල් ශාලාවේදීය. එහිදී ද ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාය.

අශෝකමාලා කතා පුවත අප ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින්ගේ සිත් ඉතා තදින් වැලඳ ගත්තේය. අශෝකමාලා අපට වැදගත් වන කාරණා කිහිපයක්ම තිබේ. ඉන් ප්‍රධානම හේතුව නම් අශෝකමාලා හරහා අප රටෙහි කලා ක්ෂේත්‍රයට ඉතාම දක්ෂයින් රැසක් බිහිවීමය. ඔවුන් පසුකාලීනව ජනකාන්ත තරු බවට පත් විය. ඒ පිළිබඳ කතා කිරීමට ලබන සතිය සුදුසු බව මාගේ හැඟීමයි. එහෙයින් අතීතයෙන් මිබිඳු සඳහා අදට මෙසේ විරාමයක් තබන්නෙමි.

අර්නස්ට් වඩුගේ ගේ අතීතයෙන් මීබිඳු සටහන් කරන්නේ