වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රථම සමීප රූපයේ සිට ඇය සියුම්ය. ස්වභාවිකය.

ප්‍රථම සමීප රූපයේ සිට ඇය සියුම්ය. ස්වභාවිකය.

අතිශයෝක්තියෙන් තොරය...

පෙරදා වට මහ වැස්සෙන් තුරු හිස් මත රැඳුණු පිනි කැට සට සට හඬ නඟමින් ඊට පහතින් ඇති ගහකොළ මත පතිත වන්නේ කිසියම් රිද්මයකට අනුවය. දසතින් නැගෙනා කුරුළු කූජනය මේ සීත හිමිදිරියට එක් කරන්නේ අපූර්ව සුන්දරත්වයකි. ඒ කුරුළු හඬත් සමඟ කොහේදෝ ඈතක සිට පාව එන කොහෙකුගේ නාදය කියා පාන්නේ වසන්තයේ අසිරිය තවමත් මුළුමනින්ම පහව ගොස් නැති බවය.

මේ හිමිදිරි උදෑසන අන් කාටත් කලියෙන් සුවහසක් ‘සරසවිය’ පාඨකයන් හා එක්ව මම ඇයට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරමි.

‘රත්තරං සඳක් පායන්නයි
රත්තරං ඉරක් පායන්නයි
ජීවිතේ නඳුන් උයනේ
හිනැහෙන්න දී මල් කැළුම්
සුබ දවසක් වේවා . . . සුබ දවසක් වේවා
සුබ දවසක් වේවා . . . සම්පත් පෑදේවා . . .’

හෙළ සිනමාවේ පුණ්‍යවන්තිය වූ අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ උපන් දිනය යෙදී තිබෙන්නේ අදටය. සැබැවින්ම ඉහත ගීතය ද ‘දාහකින් එකෙක්’ චිත්‍රපටයට අසහාය ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාලයන් ගායනා කරනු ලැබුවේ මාලිනිය රඟපෑ දර්ශනයක් වෙනුවෙනි.

ඉකුත් දස වසරක කාලය පුරාවට මාලිනිය පිළිබඳ වැඩි වශයෙන් ‘සරසවිය’ පුවත්පතට විශේෂාංග ලිපි සම්පාදනය වූයේ මා අතිනි. එනිසාවෙන්ම ඇගේ ජීවිතයේ ‘ඇතුලාන්තය’ අතිශයෝක්තියෙන් තොරව පාඨකයන් වෙත ගෙන එන්නට මට අවස්ථාව උදා විය. මා කවදත් ඈ ඇමැතුවේ ‘මාලිනී අක්කා’ යන දයාබර නාමයෙනි. ඇය ආචාර්ය පදවියකින් පිදුම් ලැබූ පසුවත් පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරියක වූ පසුවත් මා ඈ ඇමතුවේ අර සුපුරුදු වදනින්මය. කිසිදු බියකින්, සැකයකින් තොරව ඈ හට එසේ ඇමැතීමට මා පෙළඹුණේ මාලිනියගේ නිහතමානී අව්‍යාජ ගති පැවතුම් ගැන මා හොඳින් දැන සිටි හෙයිනි.

39 වැනි ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලේ දී විශිෂ්ටතම රංගනය උදෙසා පිරිනැමෙන ‘රජත මයුර’ (ඉඪතමඥප ර්‍ථඥචජධජඬ) සම්මානයෙන් මාලිනිය පිදුම් ලැබූයේ අපේ සිනමාවට පමණක් නොව මුළු රටටම කීර්තියක් හා අභිමානයක් එක් කරමිනි. ඈ එසේ සම්මානයට පාත්‍ර වූයේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ආකාස කුසුම්’ හි ‘සන්ධ්‍යා රාණිගේ’ විශිෂ්ට චරිත නිරූපණය හරහාය.

‘ආකාස කුසුම්’ හි ‘ සන්ධ්‍යා රාණි’ වෙනුවෙන් අපේ මාලිනිය ඉටු කළ මහා සාධාරණය එහි ජූරිය විසින් විග්‍රහ කොට හේතු පාඨය දක්වා තිබුණේ මෙපරිද්දෙනි.

‘ආකාස කුසුම්’ චිත‍්‍රපටයේ ප්‍රථම රූප රාමුවෙන්ම ඔබ ග්‍රහණය කර ගන්නා මාලිනී ෆොන්සේකා, චිත්‍රපටය අවසන් වන තුරුම ඔබ ඉන් මුදා නොහරී. ප්‍රථම සමීප රූපයේ පටන්ම ඇය සියුම්ය. ස්වභාවිකය. අතිශයෝක්තියෙන් තොරය. ඔබ ශ්‍රී ලාංකික සිනමාව දැන සිටියද, නොදැන සිටිය ද, ඇය අග්‍රගණ්‍යය රංගවේදිනියක බව ඔබ ක්ෂණයකින් වටහා ගනී. ප්‍රභාමත් තාරකාවක් ලෙස තිරය මත දිග හැරෙන ඇගේ අතීත යොවුන් රූප සටහන් අසිරිමත්ය.

මෙම ඇගැයුම ඇගේ විශිෂ්ටත්වයට පිදෙන උපහාරයක් පමණක්ම නොව සමස්ත සිනමා කලාවම උත්කර්ෂවත්ව සැමරීමකි. යනුවෙන් එම හේතු පාඨයේ වැඩිදුරටත් සඳහන්ව තිබිණ.

ඇය එසේ ජාත්‍යන්තරයේ බුහුමනට පාත්‍ර වෙද්දී ‘සරසවිය’ ඊට උණුසුම් සුබපැතුම් එක් කරමින් ඇය වෙනුවෙන් විශේෂ උපහාර කලාප දෙකක් නිකුත් කරන්නට කටයුතු සම්පාදනය කළේ කඩිමුඩියේමය. වර්ෂ 2008 ක් වූ දෙසැම්බර් 04 වැනිදා සහ දෙසැම්බර් 11 වැනිදා ‘සරසවිය’ කලාපයන් සමඟ එම විශේෂ අතිරේක දෙක ද පාඨකයන් හමුවට තිළිණ කෙරිණ. එම අතිරේක ද්විත්වයෙහි සියලුම ලිපි සම්පාදනය කරන ලද්දේ මවිසින්ය. දෙසැම්බර් 11 වැනිදා ‘සරසවිය’ කලාපයට පිටු තුනක් පුරා මා මාලිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් දීර්ඝ ලිපියක් ලියුවේ ඈ සම්මානය රැගෙන දිවයිනට පැමිණි දිනට පසු දිනයේ ඈ මුණ ගැසීමෙන් අනතුරුවය.

මාලිනියගේ රංගන දිවියට මහඟු අත්වැලක් වූ ඇගේ ගමන් මඟට ආශිර්වාදයක් වූ එවකට ජීවතුන් අතර සිටි ජෝ අබේවික්‍රම, සිසිර සේනාරත්න, අමරනාත් ජයතිලක, තිමති වීරරත්න වැනි කලාකරුවන් මාලිනිය පිළිබඳ දැක් වූ වැදගත් අදහස් උදහස් ද මම එම කලාපයට අකුරු කළෙමි.

එමෙන්ම සුමන ආලෝක බණ්ඩාර, තිස්ස ලියනසූරිය, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ටෝනි රණසිංහ, ධර්මසේන පතිරාජ, සිරිල් වික්‍රමගේ, රවීන්ද්‍ර රන්දෙණිය, අනෝජා වීරසිංහ, ගීතා කුමාරසිංහ, සනත් ගුණතිලක, මහාචාර්ය සුනිල් ආරියරත්න, ජැක්සන් ඇන්තනි, දිල්හානි අශෝකමාලා වැනි පිරිසක් ද එහිදී තම අදහස් පළ කර සිටියහ.

මාලිනිය සිය රංගන දිවියේ ‘අ’ යනු ‘ආ’ යනු කියන්නේ පාසල් වේදිකවේ සිටය. ඒ සොඳුරු මතකය අවධි කරමින් ‘නිළි රැජන’ මෙසේ වරක් මා හා පැවසුවේ කුඩා දැරියක් විලසිනි.

එතකොට මම ගුරුකුල විදුහලේ ඉගෙන ගන්න පුංචි කෙල්ලක්. මගේ මොනවා හරි විශේෂත්වයක් දැකපු නිසා ද කොහෙද අපේ පංති භාර තිලකරත්න ගුරුතුමිය වාර අවසාන විවිධ ප්‍රසංගයකට මාව තෝරා ගෙන තිබුණා. ඒ ඉංග්‍රීසි කවියක් ඇසුරෙන් කරපු පුංචි නාට්‍යය ජනිකාවකට. මම රඟපෑවේ රුක්මණී කියන ප්‍රිටි මේඩ්ගේ චරිතය. ඇය විවාහ කර ගන්න එන තරුණයා හා රුක්මණී අතර මේ වගේ දෙබසක් කියැවෙනවා.

‘කොහෙද යන්නේ රුක්මණී’ තරුණාය අහද්දී මම කියනවා ‘කිරි දොවන්න යන්නෙමි’ කියලා. එතකොට අර තරුණයා අහනවා ‘මම ඔයාව කසද බඳින්න දෑවැද්දට මොනවද දෙන්නේ’ කියලා. රුක්මණී කියනවා ‘මගෙ මූණ තමයි ඔයාට දෑවැද්දට දෙන්නේ’ කියලා. අපි මේ ඩයලොග්ස් කිව්වේ ඉංග්‍රීසියෙන්. අර තරුණයාට රඟපෑවේ අපේම පංතියේ තවත් ගෑනු ළමයෙක්.

එසේ කැළණිය ගුරුකුල විදුහල් වේදිකාව මත විකසිත වූ පුංචි මාලිනියගේ රංග හැකියාව වඩාත් වැඩි දියුණුවට පත් වන්නේ ඇස්. මලල් මහතා එහි නර්ථන ගුරුවරයා ලෙස පත්ව ආපසුය. සැබැවින්ම ඇස්. මලල් මාලිනියගේ ප්‍රථම රංගන ගුරුවරයා සේම ඔහුගේ ප්‍රථම ගෝලයා වූයේ ද මාලිනියයි. ඇය ඉන් පසු විදුහලේ වඩාත් ප්‍රකට වූයේ නර්ථන ශිල්පිනියක ලෙසිනි. ඒ සෑම පාසල් වාර අවසාන ප්‍රසංගයකටම ඈ කදිම නැටුමක් ඉදිරිපත් කළ නිසාය.

මාලිනී සිය රංගන චාරිකාවට අත් පොත් තබන්නේ වේදිකාවෙනි. ඒ 1963 වසරේ එච්. ඩී. වීරසිරි නිෂ්පාදනය කළ ‘නොරත රත’ වේදිකා නාට්‍යය ඔස්සේය. එවකට ඕ දහසය හැවිරිදි පාසල් යුවතියකි. පසු කලෙක මෙරට ජනප්‍රිය හා විශිෂ්ට ගායිකාවක වූ සුජාතා අත්තනායක එදා සුජාතා පෙරේරා ලෙසින් මාලිනියගේ කුලුඳුල් රංගනය තම ගායන දායකත්වයෙන් හැඩ වැඩ කළාය. බී. රත්නායකගේ ‘අමල් බිසෝ’, ඇස්. කරුණාරත්නගේ ‘ගුත්තිල’, ‘එරබොදු මල් පොට්ටු පිපිලා’, ‘හිරු අවරට ගියාදෝ’, සුමන ආලෝක බණ්ඩාර හා ධර්මදාස ජයවීරගේ ‘අකල් වැස්ස’, සුනන්ද මහේන්ද්‍රගේ ‘සයුරෙන් ආ ළඳ’, ප්‍රේමකුමාර එපිටවෙලගේ ‘නුවන් පොදිය’, සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘බකතපස්’, සුමන ආලෝක බණ්ඩාරගේ ‘නිදිකුම්බා’ වැනි වේදිකා නාට්‍යයන් හි ඉන් පසු ඈ විවිධ චරිත නිරූපණය කළාය. 1963 වසරේ සිට 1967 වන විට ඇය වේදිකා නාට්‍යය දාහතරක රඟපා තිබිණි.

1965 වසරේ පැවැති රාජ්‍ය නාට්‍යය උළෙලේදී ඈ ‘අකල් වැස්ස’ උදෙසා හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නට තරම් පුණ්‍යවන්තියක වූවාය. ‘අකල් වැස්ස’ නරඹන්නට තිස්ස ලියනසූරිය, සුගතදාස මාරසිංහ, සිසිර සේනාරත්න, ජෝ අබේවික්‍රම ඇතුළු පිරිස දිනක් ලුම්බිණි රඟහලට පැමිණියේ එම නාට්‍යය නැරඹීමේ අභිලාෂයට එහා ගිය තවත් විශේෂිත කරුණක් මුල්කර ගනිමිනි. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ සුගතදාස මාරසිංහ නිෂ්පාදනය කිරීමට සූදානමින් සිටින අලුත්ම චිත්‍රපටය සඳහා නවක නිළියක සොයා ගැනීමය.

සිය ප්‍රථම සිනමා රංගනය පිළිබඳ මාලිනිය වරෙක මා හා පවසා සිටියේ මෙවැන්නකි.

එදා මට මතකයි ලොකු අයියා වේදිකාව පිටුපසට ඇවිත් ‘අන්න ඔයාගේ රඟපෑම් බලන්න ජෝ අබේවික්‍රම මහත්මයත් ඇවිත් ඉන්නවා’ කියලා කිව්වා. පසුවදා ජෝ අයියා, තිස්ස ලියනසූරිය, ඇන්ටන් අල්විස් එක්ක කැළණියේ අපේ ගෙදරට ආවා. ‘පුංචි බබා’ චිත්‍රපටයට කතා කරන්නයි ඒ අය ඇවිත් හිටියේ. තාත්තාගේ කැමැත්තක් මුල ඉඳන්ම තිබුණ නෑනේ මම රඟපානවාට. එදාත් තාත්තාගේ විරුද්ධත්වයට ලොකු අයියා තමයි හරස් කැපුවේ. ඔහු රැකියාවෙන් ඉවත් වී හෝ රූගත කිරීම්වලට මා කැටුව යන්නට සූදානම් බව තරයේ කියා සිටියා. ඉතින් ඒ විදිහට තමයි මම ‘පුංචි බබා’ චිත්‍රපටයේ ‘මාලා’ගේ චරිතයට සම්බන්ධ වූණේ.

ඒ ප්‍රථම සිනමා රංගනය වෙනුවෙන් රුපියල් 1,250.00 ක මුදලක් ඇයට ලැබිණ. මාලිනිය නැවතත් ඒ අතීතයට සිය සිත යොමු කරන්නීය.

ඒ කාලේ හැටියට ඒක ලොකු මුදලක්. ජෝ අයියා ඇතුළු පිරිස එදා අපේ ගෙදර ඇවිත් මට අත්තිකාරම් මුදලකුත් දීලයි ගියේ. ඊට දවස් කීපයකට පස්සේ විජය ස්ටුඩියෝ එකේ මගේ ස්ක්‍රීන් ටෙස්ට් එකක් තිබුණා. තිස්ස ලියනසූරිය, ජෝ අබේවික්‍රම වැනි අයගේ උපදෙස් මත මම ඒ තිර පරීක්ෂණයට මුහුණ දීලා එයින් සමත් වුණා. ජෝ අයියා තමයි සිනමාවේ මගේ පළමුවැනි ගුරුවරයා. ඒ වගේම ශාන්ති ලේඛාවත් මට නිතරම සිහිපත් වෙන කෙනෙක්. එයා තමයි ‘පුංචි බබා’ චිත්‍රපටයේ මගේ සාරිය ඇන්දවේ.

මාලිනිියගේ දිගු සිනමා දිවියේ ඇරඹුම සටහන් වූයේ එලෙසිනි. ප්‍රවීණ කලාකරුවන් රැසක් දැයට තිළිණ කළ කැළණිය ගුරුකුලයේ මාලිනිය හා එකම යුගයේ සිප් සයුර තරණය කළ ආදරණීයයන් පිළිබඳ ඇය නිරන්තරයෙන් සිහිපත් කරන්නීය.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ එච්. ඩී. ප්‍රේමරත්න, කැමරා අධ්‍යක්ෂ ඩොනල්ඩ් කරුණාරත්න හිටියේ අපේ ලොකු අයියාගේ පංතිවල. නිලන්ති හීන්දෙනිය, නෙතලි නානායක්කාර, පතිරාජ එල්. එස්. දයානන්ද වගේ අය මට ඉහළ පන්තිවල ඉගෙන ගත්තේ. එතකොට චිත්‍රපට අධ්‍යක්ෂ කේ. විජයරත්න හිටියේ ආනන්ද මල්ලිත් එක්ක. විමල් කුමාර් ද කොස්තා, කුසුම් පීරිස් මගෙත් එක්ක එකම පන්තියේ ඉගෙන ගත්තේ. ඒ දවස්වල අපි කියපු, කරපු දේවල් මතක් වෙන කොට දැන් හිතට දැනෙන්නේ ලොකු සතුටක්. ආශ්වාදයක්.

විශ්වීය රූපණවේදයක, ලාංකේය පුරෝගාමීත්වය සනිටුහන් කළ නිළිය මාලිනී යැයි මම සිතමි. හෙළ සිනමා නිළි පරම්පරාවේ සදාතනික සුන්දරත්වය වූ මාලිනිය ජනප්‍රිය සිනමාවේ දීප්තිමත් තාරකාවක් වූවාය. එමෙන්ම ඇය කලාත්මක යැයි සම්මත සිනමාවේ විශිෂ්ට චරිතාංග නිළියක ලෙස ද කිරුළු පැළඳුවාය.

‘ පුංචි බබා’ චිත්‍රපටය වෙනුවෙන් මාලිනිය ජනප්‍රියම සහාය නිළිය ලෙස ස්වර්ණ සංඛ ගුවන් විදුලි සම්මානය ද හිමි කර ගත්තාය. එතැන් පටන් තාරුණ්‍යයේ සුන්දරත්වය රිදී තිරය මත විකසිත කළ ඈ සුදාස් මාස්කෝරාලගේ ‘පාරාවළලු’ ජී. ඩී. එල්. පෙරේරාගේ ‘දහසක් සිතිවිලි‘, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘අක්කර පහ’ වැනි චිත්‍රපටවල උප ප්‍රධාන චරිත රඟමින් සිනමා නිළියක ලෙස කෙමෙන් ස්ථාවර වන්නට වූවාය.

නීල් රූපසිංහගේ ‘හතර දෙනාම සූරයෝ’ ජේ. සෙල්වරත්නම්ගේ ‘හොඳට හොඳයි’, ලෙනින් මොරායස්ගේ ‘හොඳයි නරකයි’, තිමති වීරරත්නගේ ‘මේ දෑස කුමටද’, ‘සංගීතා’, යසපාලිත නානායක්කාරගේ ‘තුෂාරා’ වැනි චිත්‍රපට හරහා ජනප්‍රිය සිනමාවේ දිදුළන තාරකාවක් බවට පත් වූ මාලිනිය 70 දශකයේ අපේ සුන්දර, ස්වර්ණමය සිනමාව ගොඩ නංවන්නට සිය අප්‍රමාණ රංගන දායකත්වය පුද කළාය. ජනප්‍රිය සිනමාවේ පැවැත්මට ප්‍රබල ලෙස බලපෑවේ ගාමිණී - මාලිනී හා විජය - මාලිනී යුගයන් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.

මාලිනියගේ විශිෂ්ටතම රංග ප්‍රතිභාව විදහා දැක්වුණේ ‘නිධානය’ චිත්‍රපටයේ ‘අයිරින්’ ගේ භූමිකාව හරහා යැයි පොදු පිළිගැනීමක් තිබේ. එහි විලී අබේනායක ලෙස රඟපෑවේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔවුන් හා එක්ව සැබැවින්ම මෙරට සිනමාවට දායාද කළේ සැබෑ නිධානයකි.

ආචාර්ය ධර්මසේන පතිරාජ මාලිනියගේ ප්‍රතිභාන්විත රංගනය කලාත්මක සිනමා ධාරාව ඔස්සේ වඩාත් ඉහළ තැනකට ඔසවා තබන්නට පෙරමුණ ගත් සිනමාවේදියකු යැයි මට සිතේ. ‘බඹරු ඇවිත්’, ‘එයා දැන් ලොකු ළමයෙක්’ හා ‘ ‘සොල්දාදු උන්නැහේ’ වැනි විශිෂ්ට සිනමා කෘති ඊට කදිම නිදසුන්ය. අමරනාත් ජයතිලකගේ ‘සිරිපාල හා රන් මැණිකා’, කේ. විජයරත්නගේ ‘මධුසමය’ වැනි සිනමාපටවල ඈ ඉදිරිපත් කළ රංගනයන් පිළිබඳ මේ මොහොතේ ප්‍රසාද පූර්වකව සිහිපත් කළ යුතුය.

‘පුංචි බබා’ චිත්‍රපටයේ සිට ‘ආකාස කුසුම්’ දක්වා ඈ රඟපෑ චිත්‍රපට ප්‍රමාණයෙන් එකසිය පනහ ඉක්මවා යයි. ඉන් පසුව ද ඈ චිත්‍රපට කිහිපයක රඟපෑ බවත් මා මතකයේ ඇත. ඒ සියල්ලේ එකතුව චිත්‍රපට එකසිය පනස් පහක් පමණ විය යුතුය. දසක පහක් පුරාවට ඈ රංගනයෙන් දායක වූ සියලුම චරිත සඳහා උපරිම සාධාරණයක් ඉටු කළ බව මෙහි ලියා තබන්නේ ඇයට ගෞරවයක් ලෙසිනි. ඒ බොහෝ චරිත දෙස්, විදෙස් සම්මානයන්ගෙන් පිදුම් ලද වග ද මෙහි සඳහන් කරනු රිසියෙමි.

අපේ නිළි රැජනගේ රංගනය පිළිබඳ වරෙක ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මා හා ප්‍රකාශ කළේ මෙවන් අදහසකි. එය ඇගේ රංගනය පිළිබඳ අපේ කලාකරුවකු සිදු කළ අනගිතම විග්‍රහය යැයි මට සිතේ. ඒ මෙපරිදිය.

“මාලිනී ෆොන්සේකා ජාත්‍යන්තරයේ අවධානය තමා වෙත දිනා ගත්තේ ඇය විසින් රංග භාවිතාවේ යොදා ගත් ලාංකේය රංග සවිඥාණය හේතු කොටගෙනයි. අනාගත ලංකාවේ රංග ශිල්ප ශාලිකාවක් බිහි වන්නේ නම් මාලිනී ෆොන්සේකා යනු එහි විෂය නිර්දේශ ග්‍රන්ථයයි. ඇගේ භාවිතාව හඳුනා ගත හැක්කේ භාව වින්දන රංගන සම්ප්‍රදාය ලෙසයි. එහෙයින් අනාගතයේ අපේ රටේ රංග ශිල්ප ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ ආකෘතිය මාලිනී ෆොන්සේකා රංග සම්ප්‍රදාය යනුවෙන් ඉගෙන ගනු ඇති.”

නිළි රැජන මාලිනී ෆොන්සේකා පසු කලෙක දේශපාලනයට සම්බන්ධ වීම පිළිබඳ ඇගේ ප්‍රේක්ෂකයන්ගේ පමණක් නොව මුළු රටේම ජනතාව තුළ ඇත්තේ පරස්පර වූ අදහස්ය. කෙනෙකුට එය හොඳය. තවකෙකුට නරකය. එහෙත් මාලිනිය සිය දේශපාලන භූමිකාව තුළ අවංකව හා සෘජුව මෙරට සිනමාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටියාය. වඩාත් හොඳ සිනමා කලාවක් හා කර්මාන්තයක් බිහි කරළීම උදෙසා යෝජනා ඉදිරිපත් කළාය. එය ප්‍රයෝගික යථාර්ථයක් නොවීම වෙනම කාරණාවකි.

හෙළයේ මහා කලා මංගල්‍යය වූ 32 වැනි ‘සරසවිය’ සම්මාන උළෙලේදී ඇය ‘විශ්ව ප්‍රසාදිනී’ සම්මානය හිමි කර ගත්තේ සුවහසක් රසික සිත් සතන් ප්‍රමෝදයට පත් කරමිනි. ඒ 2010 වසෙර්ය. ඒ අසිරිමත් උළෙලේ වර්ණවත් රාත්‍රිය වෙත මගේ මතකය සැනෙන් දිව යයි. සැබැවින්ම කොතරම් මනරම්, හෘදයාංගම රාත්‍රියක්ද? කලා ලොවේ දිදුලන තරු එකම රැයක, එකට එක් වූ සොඳුරුතම හෝරා කිහිපයකි ඒ ගෙවී ගියේ.

ගැහැනු, පිරිමි බේදයකින් තොරව ඒ අසිරිමත් රැයෙහි සැවොම ඒ විශ්ව ප්‍රසාදිනිය සිප වැළඳ ගත්තේ තම අසීමිත ආදරය හා ගෞරවය ඇයට පුද කරමිනි. ඒ සියල්ල මා සියැසින් දුටුවෙමි.

‘රැවුල් කොට ඇලිලා මූණ දෙපැත්තම රිදෙනවා’ ඉසිඹුවක් ලද ඇසිල්ලේ මාලිනිය එසේ මා හා පැවසුවේ අවිහිංසක සිනහවක් මුවඟට නඟා ගනිමිනි. ඒ ඇගේ නිහතමානිත්වය හා ළෙන්ගතු බව මා මැනවින් පසක් කර ගත් දිනයකි.

පෞද්ගලික ජීවිතයේ බොහෝ දේවල් ඔබ කැප කළේ සිනමාව වෙනුවෙන්. ආපසු හැරි බලද්දී ගැහැනියක වශයෙන් ඔබට අහිමිව ගිය දේ ගැන ඇත්තටම දුකක්, කනගාටුවක් හිතෙන්නේ නැද්ද?

එක්තරා පිළිසඳරකදී මම මාලිනී අක්කාගෙන් එසේ විමසුවෙමි. මොහොතක් කල්පනාවේ නිිමග්නව සිටි ඕ මා සමඟ මෙසේ පැවසුවාය.

පෞද්ගලික ජීවිතයේ සියලු සැප සම්පත්වලින් පිරිපුන්, සුඛෝපභෝගී ජීවිත ගත කරන අය ඉන්නවා. හැබැයි ඒ දේ විතරයි ඔවුන්ට. තවත් අය සමාජයේ ඉතාමත් ජනප්‍රියත්වයට, කීර්තිියට පත් වෙනවා. නමුත් පෞද්ගලික ජීවිතයේ නොයෙක් අඩුපාඩු තියෙනවා. එහෙම බලන කොට සර්ව සම්පූර්ණ ජීවිත ගත කරන අය මේ ලෝකේ හරිම අඩුයි. යම් යම් කාලවලදී ජීවිතයේ සිදු වූ නොයෙක් පෙරළි නිසා මම දුක් වෙලා, කනගාටු වෙලා තියෙනවා. ඒත් මම ඒ මත්තේ හැපිලා කවදාවත් මගේ ජිවිතය කඩා වැටෙන්න ඉඩ දුන්නේ නෑ. එහෙම වුණා නම් අද ඔබත් එක්ක කතා කරන්න මාලිනී ෆොන්සේකා කෙනෙක් ජීවත්ව නොසිටින්න ඉඩ තිබුණා.

සමනල පියාපතක් සේ මෘදු හදවතක් තිබුණ ද ඈ සතු දරා ගැනීමේ ශක්තිය මහමෙරක් බඳු යැයි මට සිතුණේ ඇගේ ඒ ප්‍රකාශයත් සමඟිනි. සැබැවින් මාලිනී ෆොන්සේකා නමැති චරිතය මා හඳුනා ගන්නේ අනුනට ඕනෑ හැටියට නොව තමන්ට ඕනෑ විදිහට ජීවත් වූ දිරිය, මිනිස් දියණියක් ලෙසය. ඈ ආදරයට බෙහෙවින් ආදරය කරන්නට ඇත. ඒ ආදරය වෙනුවෙන් සියලු දේ පුද කරන්නට ඇත. එහෙත් ආදරය ඇයට අකාරුණික වූ කළ ඈ වැලහින්නක සේ හඬා වැටෙමින් ජීවිතයෙන් පලා යන්නට උත්සාහ කළේ නැත. ඒ මාලිනී අක්කාගේ නොසැලෙන චිත්ත ධෛර්්‍යයයේ එක් පැතිකඩක් පමණකි.

‘ආදරයේ ඔබ ඔබමය
මා ඔබ නොව ඔබ මා නොව
දවසක් දා ... හඳුනා ගත්තොත් ඔබ මා
හඳුනා ගත්තොත් ඔබ මා ...’

‘බඹරු ඇවිත්’ චිත‍්‍රපටයේ එකී තේමා ගීය වඩාත් ගැළපෙන්නේ මාලිනීගේ රංගනයෙන් එහි ජීවමාන වූ ‘හෙලන්’ට නොව සැබෑ මාලිනියටමැයි මේ ඇසිල්ලේ මට සිතේ.