වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




පෙම්වතුන් සිටීම ගමනට බාධාවක්

පෙම්වතුන් සිටීම ගමනට බාධාවක්

සුසුමට පවා රහසින් ඇය වඩාත් ජනප්‍රිය කරලීය. එම ටෙලි සිතුවමේ වසුන්දරා වූ මේ සුරූපිනිය තිරාෂා සෙව්වන්දි ලෙසට මම ඔබට හඳුන්වා දෙමි.

* මේ දිනවල වසුන්දරාට ගොඩක් අය පෙම් බඳිනවා නේද තිරාෂා?

ඒක නම් ඇත්ත. සෑහෙන දෙනෙක් සුසුමට පවා රහසින් බලනවා. මම ඉතින් ගොඩක්ම ජනප්‍රිය කෙනෙක් නෙවෙයිනේ. ඒ හින්දා මගේ නමින් නොහඳුනන අය වසුන්දරා නේද මේ කියලා ළඟට ඇවිත් කතා කරනවා. එතකොට හුඟක් සතුටුයි.

* ඔබට කවදා හරි හිතුණද වසුන්දරා ජනප්‍රිය වේවි කියලා?

ඇත්තටම පිටපතක් බලලා චරිතයක් ජනප්‍රිය ද නැද්ද කියලා කියන්න අමාරුයි. නාට්‍යයක අපි හිතන්නේවත් නැති චරිත ඇතැම් අවස්ථාවලදී ජනප්‍රිය වෙනවා. හැබැයි මට දැනුණා මේක වෙනස්ම චරිතයක් කියලා.

* ඒ හින්දද වසුන්දරාට කැමැති වුණේ?

ඔව්. වසුන්දරා අඳින්නේ ගවුම්. ඒක තව හේතුවක් වුණා වසුන්දරාට මා කැමැති වෙන්න.

* වෙනස් චරිතයක් කිව්වට වසුන්දරා වලව්වක මෙහෙකාරියකගේ දුවක්. හරිම සාම්ප්‍රදායික චරිතයක් කියලයි මට නම් දැනෙන්නේ?

මට නම් දැනෙන්නේ නැහැ වසුන්දරා සාම්ප්‍රදායකයි කියලා. මට නම් මේක වෙනස්ම චරිතයක්.

* සුසුමට පවා රහසින් මුල් කොටස් ටික අධ්‍යක්ෂණය කළේ සාරංග මෙන්ඩිස්?

ඔව්. වර්තමානයේ මංජුල කරුණරත්න තමයි එහි අධ්‍යක්ෂ.

* සාමාන්‍යයෙන් අධ්‍යක්ෂවරයා මාරු වනවිට ඇතැම් චරිතත් නැති වී යනවා?

මට නම් තවම එහෙම වුණේ නැහැ. අනික මංජුල අයියාව මම හොඳින් හඳුණනවා. කොහොම වුණත් මම හිතන්නේ නැහැ මේ නාට්‍යයෙත් එහෙම චරිත අයින් වේවි කියලා.

* කවුද සුසුමට පවා රහසින් ලියන්නේ?

ඒක නම් හරියට දන්නේ නැහැ.

* තමන් රඟපාන නාට්‍ය ලියන්නේ කවුද කියලා දැනගෙන ඉන්න එපායැ?

ඇත්තම කිව්වොත් මම ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙලා නැහැ.

* මෙගා නාට්‍ය වැඩි වශයෙන් බිහි වීම ඔබ වැනි නිළියකට දැනෙන්නේ කොහොමද?

මෙගා නැත්නම් හොඳයි අනේ.

* ඇයි එහෙම කියන්නේ?

මම ක්ෂේත්‍රයට ආවේ 2007. ඒ කාලේ මෙගා නොවන හොඳ නාට්‍යවලට මට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ වගේ නාට්‍ය අද හැදෙනවා අඩුයි. මේ හේතුවෙන් අපේ රංගන හැකියාව ඉතා සීමිත රාමුවක සිටයි ඉදිරිපත් කරන්න වෙන්නේ.

* ඔබ ඔය නොකියා කියන්නේ ඔබේ හැකියාවට අද නිසි තැනක් නැහැ කියලද?

ඔව්. මගේ හැකියාව එළියට එන අවස්ථා අඩුයි තමා.

* ඔබ මේ වන විට විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. ඒ ගැනත් කියමු?

මම කැලණිය විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂවේදී උපාධියක් හදාරනවා.

* ඒ කියන්නේ ඔබ රැකියාවක් කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නේ?

උපාධියක් අරගෙන ගෙදර තියාගෙන ඉඳලා වැඩක් නැහැනේ. ඊට සරිලන රැකියාවක් කරන්න ඕනෑ. මාත් හිතාගෙන ඉන්නවා උපාධිය අරගෙන සුදුසු වෘත්තියක යෙදෙන්න.

* එතකොට රංගන ජීවිතය?

එය නිමාවෙන එකක් නැහැ. රැකියාව කරන ගමන් රඟපානවා.

* තිරාෂගේ පළමු නාට්‍යය මොකක්ද?

ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ නිසල විල්තෙර. එහි මම රඟපෑවේ 2007 දී. එතකොට මම පාසල් ශිෂ්‍යාවක්.

* ඔබ ඉගෙන ගත් පාසල මතක් කළොත්?

පාසල් දෙකකින් ඉගෙන ගත්තා. ඒවා තමයි කඳාන ඩි මැසනොද් විද්‍යාලය සහ ගම්පහ සිරිකුරුස විද්‍යාලය.

* තිරාෂට ක්ෂේත්‍රයේ ඉන්න යාළුවෝ කවුද?

මට එහෙම ලොකුවට යාළුවො නම් නැහැ.

* ඒ මොකෝ? ක්ෂේත්‍රයේ කාවවත් විශ්වාස නැතිද?

පොදුවේ ගත්තොත් ක්ෂේත්‍රයේ අයව විශ්වාස කරන්න අමාරුයි.

* තිරාෂා හරි මධ්‍යස්ථව හිතන කෙනෙක් වගේ?

ඇත්ත. මම ගොඩක් මධ්‍යස්ථව හිතනවා.

* තිරාෂාට පෙම්වතෙක් ඉන්නවාද?

අපි ඒ ප්‍රශ්නය අතහරිමු.

* හේතුව?

මට පෙම්වතෙක් නොමැති නිසා.

* දැන් තිරාෂගේ වයස කීයද?

මගේ උපන් දිනේ 1990 නොවැම්බර් 05. එතකොට මට තවම අවුරුදු 24 යි.

* බඳින වයසේ?

කවුද කියන්නේ. තව ටික කාලයක් නිදහසේ ඉන්නවා.

* තිරාෂාට පෙම්වතෙක් ඉඳලම නැතිද?

මොකෝ නැත්තේ. හැබැයි ආදර සම්බන්ධය මීට කලකට ඉහතදී බිඳී ගියා.

* ඔහු ඔබේ ක්ෂේත්‍රයට අකැමැති නිසාද?

නැහැ, නැහැ. එහෙම අවුලක් නෙවෙයි වුණේ. ඒක පෞද්ගලික ප්‍රශ්නයක්.

* රංගනයේ යෙදෙන අතරතුරදී ආදරය කිරීමට නිදහසක් තියෙනවාද?

වෙලාව හොයා ගත්තොත් පුළුවන්.

* ඔබේ පරපුරේ ඇතැම් නිළියන් කියනවා පෙම්වතෙකු සිටීම තමන්ගේ ගමනට බාධාවක් කියලා?

එහෙම වෙන්න පුළුවන්. තමන් දැනගන්න ඕනෑ තමන්ට සුදුසුම කෙනාව ජීවන සහකරු හැටියට තෝර ගන්න. එතකොට ප්‍රශ්න අඩුයි.

* තිරාෂා පෙර රඟපෑ නිර්මාණ මොනවද තියෙන්නේ?

අරුන්දතී, ඉඳුවරී, ඉතින් ඊට පස්සේ, දිය මත ලියමි වගේ නාට්‍යවල කැපී පෙනෙන චරිත කළා.

* එතකොට චිත්‍රපට?

මට තවම චිත්‍රපටයක් සඳහා නිසි ආරාධනාවක ලැබුණේ නැහැ.

* තිරාෂගේ පවුලේ විස්තර මොනවාද?

අම්මයි තාත්තයි අයියලා දෙන්නයි මල්ලියි.

* සුසුමට පවා රහසින් නාට්‍යහි රියදුරා නැතුව ට්‍රැක්ටරයක ගිය කතාව මතක් කළොත්?

ඒ අත්දැකීම ගැන මතක් වෙන කොටත් බයයි. එක්තරා දර්ශනයක මම ට්‍රැක්ටරයක යද්දී මේනක රාජපක්ෂ ඇතුළු පිරිස එලවගෙන එනවා. එහි රියදුරාට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව බිමට පැන්නා. ට්‍රැක්ටර් එක අගලකට ගියා. මම විතරයි ඒකේ හිටියේ. වෙලාවට පෙරලුණේ නම් නැහැ.

* තිරාෂා ඔබ ගැන ඔබම කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?

එහෙම බැහැ. මම කොහොමද මා ගැන කියන්නේ. මම කොහොම කෙනෙක් ද කියලා වෙන කෙනෙක්නේ කියන්න ඕනෑ.

* හරි වෙන කෙනෙක් ඔබ ගැන කියපු හොඳම අදහස කියන්න බලන්න එහෙනම්?

මට එහෙම මතකයක් නැහැ.