වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




අවුරුදු 60 ක් ජනපි‍්‍රය ගීයක්

අවුරුදු 60 ක් ජනපි‍්‍රය ගීයක්

ආනේ ඩිංගක් ඉන්නකෝ

වසර 60 ක් එක දිගටම ජනපි‍්‍රය ගීතයක් වූ ආනේ ඩිංගක් ඉන්නකෝ ගීතය පිළිබඳව එහි රචකයා අපට ලියා එවූ ලිපියක් මේ. කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඉගෙන එහිම ගුරුවරයකුව සිට ජ්‍යෙෂ්ඨ හා මධ්‍යම අංශයේ විදුහල්පති ධුරය දැරූ ඩී. සී. ජයසිංහ එහි රචකයායි. පසු කලක කිතුනු සිංහල නම් ග්‍රන්ථයේ කතුවරයා ද වූ ජයසිංහ මහතාගේ භාර්යාව ජොනීටා ජයසිංහයි. දරුවන් සිව් දෙනෙකුගේ සහ දියණියකගේ පුතු වන ජයසිංහ මහතා දැන් හැඳල, නායක්කන්ද පල්ලිය පාරේ අංක 24 දරන නිවසේ දූ දරු මුනුපුරන් මැද විශ්‍රාම සුවෙන් පසුවේ.

“ආනේ ඩිංගක් ඉන්නකෝ
ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ....”

 

යන මගේ ජනපි‍්‍රයතම ගීතයේ 60 වැනි සංවත්සරයි මේ. මා මෙම ගීය රචනා කළේ 1954 දීය. එදිනම 60 හා 70 යන දසකයන්ගේ සිංහල ගීතයේ විශාරද වූ සී.ටී. ප්‍රනාන්දු සිය මිහිරිතම සංගීතය යොදා එය ගායනා කළේය. සී.ටී. ගේ ඉතා ජනපි‍්‍රය ගීත රචකයන්වූ කරුණාරත්න අබේසේකර (පියුමෙහි පැණි බොති වන බඹරු), ඇලන්සන් පියදාස (බිළිඳා නැළවේ උකුලේ), සරත් විමලවීර (සැලළිහිණි කොවුල්), ලලිත් එස්. මෛත්‍රීපාල (සිහින ලොවේ මිහිර මැවූ) සුසිල් සේනාධීර (මගෙ සුදු මාමේ) අද ජීවතුන් අතර නැත. මගේ සගයන් වූ ඒ අය අතර අද ජීවත්ව සිටින්නේ මා පමණය. සී. ටී. ද නැත. ඔහුද මියගොස් දැනට වසර කීපයකි.

මගේ මෙම ගීතය ඉතා ජනපි‍්‍රය වී, බාල මහලු සියල්ලන් අතර ඉහළින්ම ප්‍රචලිතව ඇත. අද එය කවුරුත් අංක එකේ ගීය ලෙස සලකති. සතියේ සෑම දිනම පාහේ තුන් හතර වරක් රූපවාහිනියේ හා ගුවන් විදුලියේ මෙය ඇසේ. මෙය එතරම් ජනපි‍්‍රය ඇයි දැයි බොහෝ දෙනෙක් මා වෙත ඇවිත් ප්‍රශ්න කරති. ඔවුහු මගේ ගීතයේ ඉතිහාසය, පසුබිම, පාදකය ගැනත් මා එය කෙසේ කුමක් සඳහා රචනා කළේ දැයි විමසති.

අද මට වයස 82 කි. මගේ මෙම ගීයට වයස 60 කි. මා මෙය රචනා කරනවිට මට වයස 22 කි. මා මෙය රචනා කළේ මගේ විවාහයට පෙරය. විවාහයෙන් පසුව නම් මෙවැන්න ලිවීමට ලැබේදැයි සැකයි. මෙය ප්‍රේම ගීතයක් නොවේ. මෙහි කිසිදු ශෘංගාර රසයක් නැත. මෙහි ඇත්තේ හුදෙක් අහිංසක බොළඳ අදහසකි. මෙය ලිවීමට කිසිවකු මා පෙළඹවූයේ ද නැත. මා දුටු දේ අත්විඳි දේ, මා සිතට ආ දේ ලීවෙමි. මෙහි ඇත්තේ ඉතාම සරල වචනය. එම චචන මම රිද්මයානුකූලව ලීවෙමි. ගීතය හැකි තරම් තාත්වික ස්වාභාවික වීම මගේ ප්‍රයත්නය විය. මා වචන සොයා වෙහෙස වූයේ නැත. දිය දහරාවක් මෙන් වචන මට ගලා ආයේය.

මගේ ගීතය පුරා ඇත්තේ ගැමි පරිසරයයි. එහි හමන්නේ ගැමි සුවඳයි. ගැමි වී ගොවියාගේ දින චර්යාවෙන් එක් කොටසකි මෙහි ඇත්තේ. කුඹුරු, වෙල් යාය, ගලන දොළපාර, හමන සිසිල් සුළඟ මෙහි ගැබ්ය. මෙය රචනා කිරීමට මට ගතවූයේ විනාඩි 15 ක් පමණි. මගේ අනෙක් ගී රචනයන් ගැන බලන විට මෙය ඉතාම කෙටි කාලයයි. වඩාම ජනපි‍්‍රය වූයෙත් මෙයයි. 60 වසක් ජීවත් වන්නේත් මෙයයි.

දැනට වසර 60 කට පෙර මගේ පියා කුරුණෑගල ඉබ්බාගමුවේ විශාල පොල් වත්තක පාලක විය. ගුරුවරයකු වශයෙන් මගේ පාසල් නිවාඩුවට මම එහි යමි. වත්තේ එක් පසෙක වූයේ විශාල කුඹුරු යායකි. අනෙක් පස වූයේ ගලා යන දොළ පාරකි. වත්ත වටේ ජීවත්වන පිරිමි – ගැහැනු - තරුණ තරුණියෝ වත්තේ වැඩට එති. දිනක් මා අප නිවසේ ආලින්දයේ සිටිනවිට තරුණ ගැහැනු ළමුන් කීප දෙනකු අප නිවස ඉදිරියෙන් කඩි මුඩියෙන් කලබලයෙන් යන සැටි දුටුවෙමි. විස්මයට පත් වූ මම ඔවුන්ට මෙසේ කීවෙමි. “ඩිංගක් ඉන්නකො.... ඇයිද කලබල – අහක බල බල යන්නෙ.... ඩිංගක් ඉන්නකෝ...” මට නොදැනුවත්ම මගේ මේ වචන ටික සී. ටී. ට මගේ ගීයේ ප්‍රානගීය (කෝරස්) බවට පත්විය.

“අනේ ඩිංගක් ඉන්නකෝ - ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල – අහක බල බල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ....”

සී. ටී. මේ වචන ගැන ඉතා සතුටු විය. ඉතාම හොඳ සංගීතයක් මෙයට ඇතුළු කළේය.

කලින් සඳහන් කළ පරිදි අප නිවස ඉදිරියෙන් කලබලයෙන් ගිය ළඳුන්ගෙන් ඔවුන්ගේ ඉක්මන් ගමනට හේතුව මම විමසීමි. ඔවුන්ගේ පිළිතුරු වූයේ මෙයයි. “අද අපි පුංචි මාමගෙ කුඹුරේ ගොයම් පැල හිටවන්නට යනවා...” මෙසේ කියමින් ඔවුහු අහක බල බලා ගියහ. මම ද එහි ගියෙමි. ඔවුන් කුඹුරේ ගොයම් පැල සිටුවන හැටි මම දිටිමි. මඩේ දණහිස දක්වා එරී ගෙන, අව් කාෂ්ටකයේ තොල කට වේලි වේලී වැඩ කළ සැටි මට අමතක කළ නොහැකි විය. මම ගෙදර පැමිණියෙමි. මා දුටු දේ ඒ හැටියෙන්ම මම ලීවෙමි. එසේ ලීවේ... යම් රිද්මයක් සිතේ තබා ගෙනය.

දැනට සති දෙකකට පෙර “සිරස” රූපවාහිනී නාළිකාවේ පැවැත්වෙන ‘පොඩිත්තන්ට පුළුවන්’ යන ‘සුප ස්ටාර්’ මහ ගායන තරගයේදී දස දහස් ගණනක් ළමුන් අතරෙන් අවසන් මහා තරගයට තේරුනු ළමුන් 6 දෙනාගෙන් එක් කෙනෙක් එදා ගැයුවේ මාගේ මේ ගීයයි.

“පුංචි මාමගේ කුඹුරෙදී – පැලත් ඉන්දන දවසෙදී
දණක් මඩයේ එරි එරී – ඔබත් පැල සිටවූ සැටී
තාම මතකයි – ඊයෙ වගෙමයි
දෙතොල් අව්වේ සැලි සැලී”

මෙය මගේ ගීයේ පළමු ගී පදය විය. සී. ටී. එයට හොඳම තාලයක් යෙදුවා.

ගැමි වී ගොවියාගේ දින චර්යාවේ දෙවැනි පරිච්ඡේදය මෙන්න. දවස පුරා ඇඟේ මඩ තවරාගෙන කුඹුරේ ගොයම්පැල සිටවූ ළඳුන් ගියේ වත්තේ අනෙක් පැත්තේ ගලන දොළ පාරට බැස නෑමටය. එය ඔවුන්ගේ සුපුරුදු නාන තැනය. එතැන පැත්තක විශාල කුඹුක් ගසකි. කුඹුක් ගහ යට වතුර සීතලය. සෞම්‍යය බව කවුරුත් දනිති. කුඹුක් ගසින් ඔබ්බට වූයේ විශාල ලෙසින් වැඩුණු උණ පඳුරකි. බට පඳුරු යායකි. බට ගස් සුළඟට වැනෙමින් සර සර හඬ නංවයි. මේ ළඳුන් දොළේ නාන සැටි මම දිටිමි. සමහරු දියේ ගිලෙති. සමහරු දෑතින් දිය බුං ගසති. ඔවුන්ගේ දෑස් පී‍්‍රතියෙන් පිනා ගියා. ඒ දර්ශනය මම මෙසේ ලීවෙමි.

“කුඹුක් ගහ යට බට කැලේ - නාන විට දී ඔබ දොළේ
හිසත් ජලයේ ගිලි ගිලී - දෙ අත් දිය බුං කෙළි කෙළී
දෑස නළවා - සිනහ සැලුවා

ළපටි මූණේ මල් පිපී....”

මගේ ගීයේ දෙවැනි ගී පදය වූයේ මෙයයි. ගැමි ගොවියාගේ දින චර්යාව තවම අවසන් නැත. දිය නා ගත් ගැමි ළඳුන් සවස ගත කළේ විනෝදයෙන් හා කෙළිදෙලෙන්ය.

වත්තේ එක් තැනක විශාල ගසක අත්තක බැඳ තිබුණේ ලණුවෙන් තැනූ දිග ඔංචිල්ලාවකි. ඔවුහු ඔංචිල්ලාව පදින්නට පටන් ගත්හ. සෑහෙන උඩට යමින් පහතට යමින් ඔවුහු ඔංචිල්ලාව පැද්දෝය. මම මෙය බලා සිටියෙමි. සෑහෙන උඩයන විට ඔවුන් රැහැන කැඩේ ද, එය ලිහී යයිද සැකයෙන් බියපත්ව ගැහෙමින් කඳුළු හෙලන්න විය. මා බලා සිටි නිසාත් තරමක් ලජ්ජාවට පත්වෙමින් මූණ රත් පැහැ ගනී. ඒ සිද්ධිය මා ලීවේ මෙසේය.

“එදා ඔංචිල්ලේ නැගී - ඉහළ යන විට පැදි පැදී
ගහේ බැඳි රැහැනත් ලිහී - යයිද සැකයෙන් ගැහි ගැහී
මදෙස බැලුවා - කඳුළු හෙළුවා
මූණ විලියෙන් රතු වෙවී”

එය මගේ තුන්වැනි ගී පදයයි. අවාසනාවකට මෙන් සී. ටී.ට එය ගැයීමට බැරි විය. හේතුව: 1950 තරම දී ගුවන් විදුලි කාර්යාලය පිහිටා තිබුණේ බොරැල්ලේ කොටා පාරේ ඉතා පැරැණි කුඩා නිවසකය. ඒ වකවානුවේදී ඒ ශ්‍රේණියේ ගායකයින්ට මසකට පැය බාගයක ‘සරල ගී’ වැඩ සටහනක් තිබිණ. ගායකයකු තම එක ගීතයක් පිණිස දී තිබුණේ විනාඩි 3 ක් පමණය. මෙවන් ගීත 6 ක් ගැයීමට ඔවුනට නියමව තිබුණි. අලුත් නැවුම් ගීතම ගැයීමට ඔවුනට නියම විය. එක ගීතයකට තිබුණේ විනාඩි 3 ක් පමණ නිසා මගේ ගීයෙන් සී.ටී. ට ගැයීමට හැකි වූයේ පළමු හා දෙවැනි ගීපද දෙක පමණය. 60 වසරක් ගෙවුණත් මගේ ගීයේ තුන්වැනි ගී පදය තවම ගායනයෙන් අසා ගැනීමට මට බැරිවිය.

මේ වන විට එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකික පිරිසක් එහි පැමිණ ඒක පුද්ගල සංදර්ශනයක් පැවැත්වීමට සී. ටී.ට ඇරයුමක් කළහ. සී. ටී. එය ඉහළින් පිළිගෙන එම සංදර්ශනය පිණිස එංගලන්තය බලා ගියේය. සී. ටී. මගේ ගීයත් සමඟ ඔහුගේම ජනපි‍්‍රය ගී කීපයක් තම උපරිමය යොදා එහිදී ගායනා කළේය. පැමිණ සිටි පිරිස අතර ශ්‍රී ලාංකිකයන් මෙන්ම බ්‍රිතාන්‍යවාසීන් හා විදේශිකයන් විශාල පිරිසක් සිටියහ. සී. ටී. ගේ සුමධුර කටහඬ අසා එහි සිටි සියල්ලෝ මවිතයට පත්වූහ. සංදර්ශනය අවසානයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා තම කථාව පටන්ගෙන මුළින්ම පැවසුවේ මෙසේය. “Here is the golden voice of the Sri Lanka” මෙන්න ශ්‍රී ලංකාවේ රන් හඬ.

සී. ටී. පෙරලා ශ්‍රී ලංකාවට පැමිණි පසු මුලින්ම කලේ මගේ ගීයත් ඇතුළුව තවත් ජනපි‍්‍රය ගී කීපයක් එක්කර කැසට් පටයක් නිපදවීමය. ඔහු එය නම් කළේ Golden voice of CT”  කියාය. එහි පිට කවරයේ වූයේ එදා එංගලන්තයේ දී ඔහු ගයන විට ගත් ඡායාරූපයකි. පසුදිනට සී. ටී. මා හමුවීමට අප නිවෙසට පැමිණ ඔහුගේ එම කුලුඳුල් කැසට් පටය තම අත්සන යොදා මට තෑගි කළේය. ඩුබායි රටේ ද එවන් “ඒක පුද්ගල” සංදර්ශනයක් පැවැත්වීමට ඔහුට අවස්ථාව ලැබිණ. එය ඉතා ජනපි‍්‍රය විය.

පසුකල මා විදුහලේ සිංහල සාහිත්‍යයේ රසාස්වාදය උගන්වන විට මා දුටුවේ මටත් නොදැනුවත්වම මගේ එම ගීතය තුළ සාහිත්‍ය රස කීපයක් ගැබ් වී ඇති බවය. ගීතයේ ප්‍රන ගැයුම (කෝරස්) තුළ නොයෙක් තැන ඇති “න” කාරය නිසා කිංකිණි හඬක් මතුවේ. ආනේ ඩිංගක් ඉන්නකෝ - දෙන්නකෝ - යන්නෙ – ඩිංගක් – ඉන්නකෝ”

“ගී පද තුනේම ඇති අනුප්‍රාසය එනම් එක පදය එක ළඟ පුන පුනා කීමෙන් ශබ්ද රසයත් එනම් ධ්වනියක් මැවේ. උදාහරණ, “බල බලා - එරි එරී - සැලි සැලී – ගිලි ගිලී - කෙළි කෙළී – පැදි පැදී – ගැහි ගැහී.....” මෙයින් හඬ නඟන බෙර පදයක් ඇසේ.

ගීතය ගයන විට ගීතය පුරා “චිත්ත රූප” මැවේ. එනම් ගීතය අසන්නාම තමාටත් නොදැනී ඉබේම ඔහුගේ සිත තුළ එම දර්ශන, පුද්ගලයන් හා ස්ථාන මැවී පෙනේ.

මගේ මෙම ගීතය දිනෙන් දිනම ජනපි‍්‍රයත්වයෙන් වර්ධනය වන්නට මෙම කරුණුත් සාධක විය හැකි බව මට හැඟේ.

ආනේ ඩිංගක් ඉන්නකෝ

ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ....”

ඇයිද කලබල – අහක බල බල

යන්නෙ ඩිංගක් ඉන්නකෝ....

 

පුංචි මාමගේ කුඹුරෙදී

පැලත් ඉන්දන දවසෙදී

දණක් මඩයේ එරි එරී

ඔබත් පැල සිටවූ සැටී

 

තාම මතකයි – ඊයෙ වගෙමයි

දෙතොල් අව්වේ සැලි සැලී

කුඹුක් ගහ යට බට කැලේ

නාන විට දී ඔබ දොළේ

 

හිසත් ජලයේ ගිලි ගිලී

දෙ අත් දිය බුං කෙළි කෙළී

දෑස නළවා - සිනහ සැලුවා

ළපටි මූණේ මල් පිපී....

 

එදා ඔංචිල්ලේ නැගී

ඉහළ යන විට පැදි පැදී

ගහේ බැඳි රැහැනත් ලිහී

යයිද සැකයෙන් ගැහි ගැහී

 

මදෙස බැලුවා - කඳුළු හෙළුවා

මූණ විලියෙන් රතු වෙවී

 

පද මාලාව - ඩී.සී. ජයසිංහ

ගායනය - සී.ටී. ප්‍රනාන්දු

ඩී. සී. ජයසිංහ