වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




පිස්සෝ නටනවා මෝඩයෝ බලනවා

පිස්සෝ නටනවා මෝඩයෝ බලනවා

කලක් සරසවිය පුවත්පත සමඟ බැදුණු නාමයක් වූ වයික්කාලේ ලුවිස් කුමාර දැන් ජීවත් වනුයේ ඕස්ට්‍රේලියාවේය. පසුගිය සතියේ ලංකාවට පැමිණි ඔහු මා හමුවට සරසවියට පැමිණියේ රසඳුන කර්තෘ මෙන්ම සරසවියේ හිටපු කර්තෘ සුනිල් මිහිඳුකුල සමඟය. මේ ආගිය කතා මැද ගෙවුණු කාලයේ අපූරු විස්තර පෙළක් ලුවිස් කුමාර මහතා හෙළි කළේය. ඒ අල්ලපු ගෙදර චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත් වු දවසයි. චිත්‍රපටයෙන් උද්දාමයට පත් වූ එක් ප්‍රේක්ෂකයකු හියුගෝ මාස්ටර්ට පැවසුවේ නියම පික්චර් එක යනුවෙනි. මුකරි මිනිසකු වූ හියුගෝ මාස්ටර් ඇඟට නොදැනී 'පිස්සෝ නටනවා. මෝඩයෝ බලනවා' යැයි පැවසුවේය. හියුගෝ මාස්ටර් සාමාන්‍යයෙන් කතා කළේ ද උපහැරණ සහිතවය. ඔහු දෙබස් රචනා කරන ලද සෑම චිත්‍රපටයකම මේ උපහැරණ සහිත දෙබස් එමට විය. පත පොතින් නොව ජීවිතයෙන් අධ්‍යාපනය ලද හියුගෝ ප්‍රනාන්දු ගීත රචකයෙකු මෙන්ම තිර නාටක රචකයකු ද විය. මට ඔහු මුණ ගැසුණේ එකම වතාවකි. සරසවිය සම්මාන උළෙලේ සිනමා කර්මාන්තය වෙනුවෙන් මුළු දිවියම කැප කළ කෙනෙකුට එක් වරක් පිදෙන රණ තිසර සම්මානය 1990 වසරේ පිරිනැමුණේ හියුගෝ මාස්ටර්ටය. කඩවුණු පොරොන්දුවේ රඟපෑ පිරිස අතරින් ඒ වන විට ජීවත්ව සිටියේ ද හියුගෝ මාස්ටර් පමණි.

රණ තිසර සම්මනය පිරිනැමුණු පසු ඔහු එම ප්‍රීතිය නිමිත්තෙන් සරසවිය කර්තෘ මණ්ඩලයටම නිවසට ආරාධනා කළේය. ඒ දවසක් ගත කරන්නටය. එවකට සරසවිය කර්තෘ ඒ. ඩී. රංජිත් කුමාර මහතාත් පසු කලෙක සරසවිය කර්තෘ පදවිය හෙබ වූ අනුර බණ්ඩාර රාජගුරු, අකාලයේ අප අතරින් සමුගත් සුසිල් ජිනප්‍රිය මෙන්ම ඒ අවදියේ සිය කැමැත්තෙන් සරසවිය හා එක්ව අගනා ඡායාරූප එකතුවක් ස්වේච්ඡාවෙන් කර දුන් ඒ වන විටත් ෆ්‍රන්ට්ලයින් සඟරාවේ ශ්‍රී ලංකා ඡායාරූප ශිල්පී ශ්‍රියන්ත වල්පොල සමඟ මම ද මේ ගමනට එක් වීමි. ශ්‍රියන්ත දැන් අමෙරිකාවේ ජීවත්ව සිටී. එකල නඩයේ සිටි පොඩි එකා වූයේ මාය. සිනමාව ගැන රස පිරුණු මියුරු කතා රැසක් කදිම උපහැරණ ද සමඟ හියුගෝ මාස්ටර් කියා පෑවේය. ඒ වන විටත් 90 පැන සිටි මාස්ටර් සිටියේ සුරලොවින් එන ට්‍රැලිග්‍රෑම් එක නිතර බලපොරොත්තුවෙනි. එබැවින් සම්මානය වෙනුවෙන් ඉහළින් සත්කාර කිරීම ඔහුගේ පරමාභිලාශය විය. මේ ලිපිය හියුගෝ මාස්ටර් ගැන ලියන්නට පටන් ගත් එකක් නොවේ. අල්ලපු ගෙදර හා සිනමා ශාලා ගැන ලියන්නටය. පරිවර්බාශ් නම් බෙංගාලි චිත්‍රපටය පාදක කොට ගෙන තැනුණු අඩුකවීඩු පෙන් චිත්‍රපටය ඇසුරෙන් අල්ලපු ගෙදර බිහි විය. එහි හින්දි චිත්‍රපටය වන පඩෝසන් බිහි වූයේ එයින් පසුවය. මේ චිත්‍රපට සියල්ලම නැරඹූ මගේ මතය නම් ඒ සියල්ලටම වඩා පරිපූර්ණ හස්‍යෝත්පාදක චිත්‍රපටය අල්ලපු ගෙදර බවයි. එහි අධ්‍යක්ෂ එම්. මස්තාන් පැවසූ පරිද්දෙන් අල්ලපු ගෙදර මහජන දැක්මට පෙර 8 වතාවක් රූගත කෙරූවකි.

ඒ දවස්වල සිනමා ශාලා පුරා පැල් බැඳගෙන රසිකයෝ සිටියහ. සිනමාවේ ස්වර්ණමය යුගය මා විශ්වාස කරන අන්දමට හැටේ දශකයයි. අලුත් සිනමාකරුවන් බිහි වුණේ ද, චිත්‍රපට සංගම් හැදුණේ ද, අලුත් ශාලා ඉදි වූයේ ද, හොඳ විදේශීය චිත්‍රපට තිරගත වූයේ ද මේ කාලයේය. අලුත් චිත්‍රපටයක් තිරගත වුණු දින සිනමා ශාලා ඉදිරියේ දිගු පෝලිම් විය. මේ පෝලිම් යුගය නිමාව ගියේ 80 දශකයේ මැද භාගය වෙද්දීය. අප තනිවම චිත්‍රපට නැරඹීමට පුරුදු වූයේ 80 දශකයේ මුලදීය. ඒ අවදියේ ද දිගු පෝලිම් විය. එහෙත් ඒ වන විට සිංහල සිනමාව එහි ස්වර්ණමය යුගයට සමු දී තිබිණි. එබැවින් සිංහල චිත්‍රපටයක පෝලිම් දැක ගත හැකි වූයේ ඉඳහිටය. පාසල් සිසුන් ලෙස මුල් දවසේ චිත්‍රපටය දැක බලා ගැනීමේ අමුතු උණක් අපට ද තිබිණි. චිත්‍රපට බලන්නට ටෙලිවිෂනය මෙන්ම වීඩියෝ යන්ත්‍ර තිබුණ ද ඒවා අපට සුඛෝපභෝගී භාණ්ඩ විය. එබැවින් සිනමාහල අපිට චිත්‍රපට නැරැඹීමට තිබූ එකම ශුද්ධ භූමිය විය. ඇතැම් සිනමාහල්වල පෝලිම් තනා තිබුණේ හරහට විනා කෙළින් අතට කිසිවකුට යා නොහැකි අන්දමිනි. ඒවායේ තෙරපීම එයටත් ඉහළය. මාලිගාවත්තේ රූබී මෙන්ම මරදානේ පිහිටි සෙන්ට්‍රල් සිනමාහල් ද පෝලිම් තිබුණේ එහෙමය.

මෑත භාගයේ චිත්‍රපට ශාලා ඉදිරිපිට එබඳු පෝලිම් දක්නට නොමැත. සිනමාව ගැන කඳුළු හෙළන බොහොමයක් මෑත භාගයේ චිත්‍රපට බලන්නට සිනමා ශාලාවකට ගොඩ නොවූණ වග මගේ විශ්වාසයයි. තවමත් අපි සිනමාහල් ප්‍රක්ෂේපණ ප්‍රමිතිය ගැන කඹ අදියි. ශාලාවල ඇති සෙසු පහසුකම් තවමත් එතැනමය. සිනමා ශාලා හිමියන්ගේ ඇතැමෙකු සිතන්නේ ශාලා ඩිජිටල්කරණය වීමේ වාසිය ඇත්තේ නිෂ්පාදකවරුන්ට පමණක් බවය. එබැවින් ශාලා සඳහා යළි විශාල මුදලක් ආයෝජනය කිරීමට ඔවුන් අකැමැතිය. එහෙත් ප්‍රේක්ෂකයාට අවශ්‍ය වඩා ඉහළ රස වින්දනයක් ලබා ගැනීමය. මේ රස වින්දනයට සහ සැප පහසු ආසන, වායු සමනය ආදිය මෙන්ම ඉතා පැහැදිලි රූප හා නවීන ශබ්ද තාක්ෂණය ඇතුළත්ය. කොටින්ම චිත්‍රපටයක් නැරඹීම යනු අලුත් අත්දැකීමක් බැව් අමතක කළ යුතු නැත.

වර්තමානයේ තිරගත වන සෑම සිංහල චිත්‍රපටයක්ම මුදා හැරීමෙන් මාස තුනක් ගත වන්නට මත්තෙන් ඩී. වී. ඩී එළි දකින බැව් නොරහසකි. එය ටෙලිවිෂනය හරහා නැරඹීමට කල් ගත වනුයේ උපරිම වශයෙන් මාස හයකි. කලකට ඉහත ඩී. වී. ඩී සඳහා සිංහල චිත්‍රපටයක් මිල දී ගනු ලැබුවේ ලක්ෂයක් වැනි මුදලකටය. අද චිත්‍රපටය රූ ගත කරද්දීම එය ඩී. වී. ඩී. අයිතිය ලබා ගැනීමට පොර කන්නෝ එමටය. ඉතා මෑතක අලුත් චිත්‍රපටයක් ඩී. වී. ඩී අයිතිය ලක්ෂ 50 ක් වැනි ඉහළ මුදලකට ලබා ගත් බව වාර්තා වෙයි. මේ චිත්‍රපටයක් ඩී. වී. ඩී ලෙස අලෙවි කරනුයේ රුපියල් දෙසීයක් වැනි මුදලකටය. එපමණක් නොව හිමිකම් නීති පිළිබඳ කිසිදු තැකීමකින් තොරව ව්‍යාජ පිටපත් රට පුරා සැරසරයි.

ලක්ෂ 50 ක් වැනි මුදලකට මිලට ගන්නා චිත්‍රපටයක් සිය වැය මකා ගැනීමට නම් කෙතරම් සංඛ්‍යාවක් අලෙවි කළ යුතුව ඇතිද? මෙරට ඩී. වී. ඩී වෙළෙඳ පොල පසුගිය කාලය ඇතුළත කෙතරම් ශීඝ්‍රයෙන් ප්‍රසාරණය වී ඇති ද යන්න පිළිබඳ කදිම උදාහරණය නම් ඩී. වී. ඩී. ව්‍යාපාරිකයන් විසින් චිත්‍රපට නිෂ්පාදකයන්ට ගෙවන මිල දිනෙන් දින ඉහළ යෑමයි. පසුගිය වසරේ නිෂ්පාදනය කරන ලද එක් සිංහල චිත්‍රපටයක් අති විශාල ලාබයක් නිෂ්පාදකවරුන්ට ලබා දුන්නේ සිනමා ශාලා ඔස්සේ ප්‍රදර්ශනය කිරීමෙන් නොවේ. ඩී. වී. ඩී ව්‍යාපාරිකයන් පිරිසක් විසින් හා හා පුරා කියා නිෂ්පාදනය කළ චිත්‍රපටයක් සිනමා ශාලාවල තිරගතවූයේ සති තුනකටත් වඩා අඩු කාලයකි. එය පසුව ඔවුන් විසින්ම එසැණින්ම ඩී. වී. ඩී. වෙළෙඳ පොළට මුදා හරින ලද අතර එමඟින් විශාල ලාභයක් උපයන්නට ඔවුන්ට හැකි විය. වංචනික ලෙස පිටපත් මුද්‍රණය කර විකිණීමෙන් සහ අන්තර් ජාලයට මුදා හැරීමෙන් රහසිගතව ලබාගත් පිටපත් සංඛ්‍යාව ඉපැයූ ආදායම අදාළ නිෂ්පාදකවරුන්ට නොලැබේ. ඩී. වී. ඩී. නිෂ්පාදකවරයා සිය ලාභය උපයා ගනු ලැබුවේ වංචනික ලෙස එලෙස තමනට අහිමි වන විශාල ආදායමක් ද ඇති වෙළෙඳපොළකය. මෙරට චිත්‍රපට නිෂ්පාදකවරුන්ට සිනමා ශාලා මඟින් ලැබෙන ආදායම අනාගතයේදී තවත් අඩු වනු ඇතැයි සහේතුක බියක් පවතියි.

චිත්‍රපට ප්‍රදර්ශනයේදී තම සිනමා ශාලාව නිතර යාවත්කාලින කරන්නට වෙහෙසෙන මතුගම නිව් ජානකී සිනමාහලේ හිමිකරු නිශාන්ත ප්‍රදීප් මෑතක දවසක මට පැවසුවේ ඩී. වී. ඩී. ප්‍රසාරණයත් සමඟ අනාගතයේ සඳහා සිනමා ශාලා වෙළෙඳපොළ අහිමිව යනු ඇති වගයි. අනාගතයේ සිනමා ශාලා තාක්ෂණය දියුණුවත්ම එයට ගැළපෙන විදෙස් චිත්‍රපට පමණක් සිනමා ශාලා වෙත මුදා හැරීමට ඉඩ ඇතැයි ඔහු මා සමඟ පැවසුවේය. සිංහල සිනමාවට අතිශයින් ඇලුම් කරන, එයට බෙහෙවින් ගරු කරන, එමෙන්ම ප්‍රදර්ශක සංගමයේ සභාපති වන නිශාන්ත ප්‍රදීප් මා හා එලෙස පැවසුවේ මා පුවත්පත් කලාවේදියකු වග සලකාගෙන නොවේ. නිතර සිනමාව ගැන කතා කරන්නට කැමැති සිනමාවේ යාවත්කාලීන තාක්ෂණය ගැන උනන්දු වන රසිකයකු ලෙස සලකමිනි. (නිශාන්ත ප්‍රදීප් අති දක්ෂ සංස්කරණ ශිල්පියෙකු වෙයි. එයටත් වඩා ඔහු සිනමාවට පිවිසෙනුයේ දාහකින් එකෙක් චිත්‍රපටයේ රඟපාමිනි. ඔහු පවසන අන්දමට එහි විජය කුමාරතුංගයන් රඟපා තිබුණේ නිශාන්ත රඟපෑ චරිතයේ වැඩිහිටි කොටසයි. නිශාන්තගේ පියා ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ මෙරිල් ඇල්බට්ය. තිර නාටකය ලිව්වේ මාමා සරත් කැල්ලපතය.) වසර ගණනාවකට පෙර අතීතයේ සිංහල චිත්‍රපටයක් වීඩියෝ වෙළෙඳපොළට මුලින්ම හඳුන්වා දෙන ලද්දේ එච්. ඩී. ප්‍රේමරත්නගේ 'දෙවැනි ගමන' චිත්‍රපටයයි. චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ රත්නපාල මරවනාගොඩ විසිනි. චිත්‍රපටයේ වීඩියෝ පිටපත නිෂ්පාදනය කරන ලද්දේ එවකට කොළඹ ජනප්‍රිය වීඩියෝ කුලියට දෙන ස්ථානයක් වන මරදානේ මැරතන් වීඩියෝ ආයතනයයි. එයට වසර කිහිපයකට පෙර විජය රාමනායක නිෂ්පාදනය කරන ලද 'ආරාධනා' චිත්‍රපටයේ වීඩියෝ පිටපතක් අනවසරයෙන් වෙළෙඳපොළට මුදා හැර තිබුණි.

ඒ බම්බලපිටියේ එවකට පැවැති වීඩියෝ සමාගමකිනි. අවසානයේ මේ පිළිබඳ නඩු පැවරූ අතර චිත්‍රපටයේ නිෂ්පාදක විජය රාමනායක ඉල්ලු වන්දි මුදල සතයකුදු අඩු නොකර ලබා දෙන්නට අධිකරණය තීන්දු කළේය. මෙහිදී විනිසුරුවරයා පවසා තිබුණේ චිත්‍රපටයක් තනන්නට නිෂ්පාදකවරයා ගත් වෙහෙස උසාවියේදී ඉදිරිත් කරන ලද කරුණුවලින් තමා වටහා ගත් බවය. ඊටත් වඩා වන්දියක් ඉල්ලුවේ නම් එය ගෙවන ලෙස තමා නියෝග කරන බවයි. එසේ වෙතත් සිනමා ශාලාවල තිරගතවෙද්දීම විීඩියෝ කැමරා මගින් චිත්‍රපට පිටපත් කර අලෙවි කිරීම එකල විශාල ජාවාරමක් විය. චිත්‍රපටය තිරගත කර එළැඹෙන මුල්ම පෝය දවසෙන් පසු වංචනික වීඩියෝ පට රට පුරා පැතිරුණි. වීඩියෝ ජාවාරමට සම්බන්ධ සිනමාහල් පෝය දවසේදී කරන ලද්දේ චිත්‍රපටය වීඩියෝවට කොපි කිරීමය. මෙම වංචනික වෙළෙදපොළ වෙනස් කිරීමට නම් ගෘහස්ථ චිත්‍රපට සඳහා නීත්‍යානුකුල වෙළෙදපොලක් ගොඩ නැඟිය යුතු බවත් අදාළ වෙළෙඳපොළට ඇති ඉල්ලුම මඟින් නිෂ්පාදකවරුන්ට අමතර ආදායමක් ලැබිය හැකි වගත් මා පෙන්වා දුන්නේ පහළොස් වසරකට ඉහතදීය.

පෞද්ගලික මට්ටමෙන් චිත්‍රපට මුදා හැරිය ද ඩී. වී. ඩී. වෙළෙදපොළ ප්‍රසාරණය වෙනතුරුම ඒ සඳහා විධිමත් ඉල්ලුමක් තනන්නට රටේ බොහෝ දෙනා මැලි වූහ. මේ අතර අපේ සිංහල චිත්‍රපට ගෘහස්ථ වෙළෙදපොළට පිවිසියේ ඩී. වී. ඩී. යන්ත්‍ර බහුලවීමත් සමඟය. මෙරට මුල්වරට ඩී. වී. ඩී පිටපතක් නිකුත් වූයේ බෙනට් රත්නායක නිෂ්පාදනය කළ 'අස්වැසුම' චිත්‍රපටයේය. ඒ ඩී. වී. ඩී චිත්‍රපටය ටොරානා ආතනය වෙතින් නිෂ්පාදනය කරන ලද්දේ කුමාර කොතලාවලය. එහෙත් රහසිගතව හා වංචනික ලෙස චිත්‍රපට එළිදැක්විම හේතුවෙන් මේ නීත්‍යානුකුල වෙළෙදපොල විශාල අර්බුදයකට මුහුණපෑවේය. පසුකාලීනව කෙසේ වෙතත් මෑත කාලයේ සිංහල චිත්‍රපට අරබයා ඩී. වී. ඩී. වෙළෙඳපොළ ජනප්‍රිය කරන ලද දෙදෙනෙකු පිළිබඳ සඳහන් කළ යුතුය. ඒ සුරංග ද අල්විස් හා චමින්ද රණසිංහ යන දෙදෙනාය. සුරංග හා චමින්ද යන දෙදෙනා මෙරට සිනමාව වර්තමානයේ ගමින් ගමට ගෙනයෑමේ කටයුත්තේ විශාල මෙහෙයක් ඉටු කළහ. ඩී. වී. ඩී වෙළෙඳපොළ කෙබඳු එකක්දැයි කියාපාන්නට නම් වර්තමානයේ ඒ වෙනුවෙන්ම නිපදවන චිත්‍රපට සංඛ්‍යාවෙන් පැහැදිලි වෙයි. කිසි කලෙක රැඟුම් පාලක මණ්ඩලයට හෝ හසු නොවන මේ චිත්‍රපට අද නිදහසේ සැරිසරන්නේ අපේ රසිකයන්ට අලුත් අත්දැකීමක් එක් කරමිනි. එහි ඉතිහාස කතාව තරමක් පැරැණිය. මුල්ම ඩී. වී. ඩී චිත්‍රපටයක් නිෂ්පාදය වූයේ දැනට වසර ගණනාවකට එපිටය. 'හලෝ ද මෑන්' ඒ චිත්‍රපටයයි. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ නිශාන්ත විරසිංහයි. ප්‍රධාන චරිත රඟපාන ලද්දේ උදයන්ති කුලතුංග සහ බුද්ධික ජයරත්නයි.

අපේ රටේ ඩී. වී. ඩී. චිත්‍රපට ගැන තවත් කථිකාවක් ඉදිරියේදී ලිවීමට ඉඩ තබමි.