වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




මැර චරිතවලට ඇලුම් කරන රාජ පුරුෂයා

මැර චරිතවලට ඇලුම් කරන රාජ පුරුෂයා

උපාලි සරත් කොඩිතුවක්කු

මහරජ ගැමුණු චිත්‍රපටයේ එන රාජ පුරුෂයන් බොහොමයකි. ඔවුන් අතර කැපී පෙනෙන තරුණයෙකු අප සොයා ආවේය.

රජරටින් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වී මේ මහා කලා කෙතේ ඇසූ පිරූ තැන් සොයා යන උපාලි සරත් කොඩිතුවක්කු රංගනයට මෙන්ම ගායනයට ද එක සේ දක්ෂතා පෙන්වන කලා ශිල්පියෙකි. වෘත්තියෙන් උපස්ථායකයකු ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන උපාලි තම කලා හැකියාවන් විමෝදාංශයක් ලෙසින් කරගෙන යන කලා ශිල්පියෙකි. පුරා වසර විසි පහක් පටන් රෝහල් කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතුව සිටින උපාලි තම සහජ කලා හැකියාවන් ඔප් නංවාලීමට පටන් ගනුයේ පාසල් අවධියේ පටන්මය. අනුරාධපුර පුලියන්කුලම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ පාසල් වේදිකාවේ අංගුලිමාල, සාලිය අශෝකමාලා, අජාසත්ත ආදී වේදිකා නාට්‍ය රංගනයේ නියුතු වූ උපාලි සරත් තම ගමේ නාට්‍ය අධ්‍යක්ෂවරයකු වූ ඩබ්ලිව්. ඩග්ලස් පෙරේරා මාර්ගයෙන් ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ විය.

වයස අවුරුදු විස්සේ පටන් කලාවේ විවිධ ඉසව් සොයා යාම ඇරැඹි උපාලි ගීත ගායනයට ද යොමු වූයේ තම උපන් හැකියාවන් ප්‍රදර්ශනය කරමිනි. පැරැණි ගායකයන්ගේ හඬට සමීපව ගායනා කිරීමේ විශේෂ හැකියාවන්ගෙන් පිරි සරත්, එච්. ආර් ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, ප්‍රියා සූරියසේන, අයිවෝ ඩෙනිස් ආදී ගායකයන්ගේ ගීත ගායනා කිරීමට විශේෂ හැකියාවක් දක්වයි. ප්‍රසංග වේදිකාවේද, ප්‍රිය සම්භාෂණවලදී ද තම ගායන කුසලතාවන් ප්‍රදර්ශනය කරන උපාලි මේ වන විට අනුරාධපුරයේ ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි පුද්ගලයෙක් බවට පත් වී හමාරය. වේදිකාවෙන් සිනමාවට එක්වන උපාලි සරත් කොඩිතුවක්කු ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු චිත්‍රපටයෙන් සිය සිනමා රංගනය අරඹනුයේ එහි රාජ පුරුෂයකුගේ චරිතයකට සිය රංගනය එක් කරමිනි. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පත්තිනි, චන්ද්‍ර වීරමන්ගේ ආලෝක උදපාදි, හර්ෂ උඩකන්දගේ උලත් එකයි පිලත් එකයි ආදී චිත්‍රපට රැසකට මේ වන විට රංගනයෙන් දායක වී ඇති ඔහු සිය නිර්මාණ සඳහා රංගනයෙන් වැඩිපුර එක් වී ඇත්තේ රාජ පුරුෂයකුගේ චරිතය වෙනුවෙනි.

රවීන්ද්‍ර රන්දෙනිය සමඟ පත්තිනි චිත්‍රපටයේ

ගොවි පවුලක සාමාජිකයකුව ඉපිද රජරටින් කලා ක්ෂේත්‍රයට එක්ව සිටින ඔහු තම රංගන ජීවිතය ගැන සිහිපත් කළේ ඉදිරියේ බොහෝ බලාපොරොත්තු රැසක් පෙරදැරි කරගෙනය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ මම දැනට සේවය කරන ඒකකයේ අක්ෂි විශේෂඥ වෛද්‍ය ප්‍රියංග ඉද්දවල මහත්තයා ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගේ යාළුවෙක්. ජයන්ත මහත්තයා මහරජ ගැමුණු චිත්‍රපටයේ ෂූටින්වලට ආ වෙලාවේ දොස්තර මහත්තයා හමුවන්න රෝහලට ආවා. ඒ ආපු මොහොතක දොස්තර මහත්තයා මගේ හැකියාවන් ගැන ජයන්ත මහත්තයාට කිව්වා. මම රෝහලේ කලා කටයුතුවලදීත් කැප වෙලා වැඩ කරනවා. එදාම මම මහරජ ගැමුණු චිත්‍රපටයේ රඟපාන්න දෙන්න සුදුසු ද බලන්න දිමුතු චින්තකට කතා කරලා බලන්න කිව්වා. මේ විදියට තමයි මම මුලින්ම චිත්‍රපටයේ රංගනයට එක් වුණේ. කැමරාවක් ඉස්සරහ මම මීට කලින් රඟපාලා තිබුණේ නැහැ. මට අලුත්ම අත්දැකීමක් වුණා. මුලදී පොඩි චකිතයක් හිතට දැනුණා.

මා සේවය කරන රෝහලේ දහ නම වන වාට්ටුව භාර හෙදි නිලධාරිනි ජේ. ඩබ්ලිව්. ජයවීර මහත්මිය තුලනය, ගැහැනිය නමින් කෙටි චිත්‍රපට දෙකක් කළා. මට ඒ දෙකේම රඟපාන්න අවස්ථාව එතුමිය ලබා දුන්නා. මේ ක්ෂේත්‍රය තුළ මට ගොඩක් ඉදිරියට යන්න උපකාර කළ පුද්ගලයෙක් තමයි ජයතිස්ස අතුලසිරි මහත්මා. එතුමා මාර්ගයෙන් මට චිත්‍රපට කීපයකට රඟපාන්න අවස්ථාව ලැබුණා. දැනට මට වැඩිය රඟපාන්න ලැබිලා තියන්නේ රාජ පුරුෂයන්ගේ චරිත. මගේ ඇඟ බලලා පෙනුම අනුව තමයි මට ඒ චරිත ලැබුණේ. මම ගොඩක් ආසයි මැර චරිත රඟපාන්න. ටෙලි නාට්‍ය බොහොමයක චරිතවලට මට ආරාධනා ලැබුණා. ඒත් මගේ රැකියාවේ තිබෙන කාර්යබහුල බව නිසා නිවාඩු ගැනීමට මට හැකියාවක් නැහැ. ඒ නිසා ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා.

රාජකාරි ස්ථානයේ සහෝදර සේවක මඩුල්ලගෙන්, පාලන නිලධාරීන්ගෙන් මට රංගනයේ ඉදිරියට යන්න ලොකු දිරියක් ඇගැයුමක් ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. දුවලා තුන් දෙනාගෙනුත්, පුතාගෙනුත්, බිරියගෙනුත් මගේ කලා කටයුතුවලට ලැබෙන්නේ විශාල දිරිගැන්වීමක්. රැකියාවෙන් විශ්‍රාම ගිය දිනෙක පූර්ණකාලීනව කලා ක්ෂේත්‍රයේ නියැලෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව.

සංගීත අංශයෙන් මට තියෙන හැකියාව ඔපමට්ටම් කරගන්න කවුරුන් හෝ ගුරුවරයකුගේ මඟ පෙන්වීමක් මට ලැබෙනවා නම් එකත් ලොකු පිනක්.

ගොවිජන මාවත, විජයපුර, අනුරාධපුරය ලිපිනයට ලිපියක් ලිවීමෙන් හෝ 0774212225 දුරකන අංකයට කතා කිරීමෙන් උපාලි සරත්ට සුබපතන්න ඔහුට ආදරය කරන කාටත් හැකි වේවි.