වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




‘ගින්දරී’ ගලවන්න ස්පන්දන නඩු දමයි

‘ගින්දරී’ ගලවන්න ස්පන්දන නඩු දමයි

ස්පන්දන සිනමාපටයෙහි අධ්‍යක්ෂක සුනෙත් මාලිංග ලොකුහේවා සහ නිෂ්පාදක ජගත් එම්. යාපා විසින් ගින්දරී සිනමාපටය තිරගතවීමට එරෙහිව උත්තරීතර අධිකරණය මඟින් උසාවි නියෝගයක් ලබාගෙන තිබේ.

ඔවුන් පවසන්නේ පසුගිය මාර්තු මාසයේ 18 වැනිදා සිට තිරගතවීම ඇරැඹූ ස්පන්දන මේ දක්වා ඉහළ ආදායම් ලබමින් පැවතෙද්දී එය ඉවත් කොට ගින්දරී සිනමා ශාලවන්ට ගෙන ඒම චිත්‍රපට සංස්ථාවේ අත්තමෝමතික තීරණයක් බවය. මෙම නඩුවෙහි විත්තිකරුවන් වනුයේ ජාතික චිත්‍රපට සංස්ථාව සහ සිනමා එන්ටර්ටේන්මන්ට් (පුද්ගලික) සමාගමේ

පැමිණිලිකරුවන් ප්‍රකාශ කර සිටින්නේ මෙරට තුළ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා සිනමා ශාලා 168 ක් පමණ සිනමා ශාලා අයිතිකරුවන් විසින් පවත්වාගෙන යන බවයි. එකී සිනමා ශාලාවල චිත්‍රපට බෙදා හරින චිත්‍රපටවල ප්‍රදර්ශක ප්‍රචාරක හා ආදායම් සම්බන්ධීකරණය කිරීම සඳහා ඒවා ප්‍රදර්ශන මණ්ඩල පහකට බෙදා වෙන් කොට ඇත.

රිද්ම, සී. ඊ. එල්, ඊ. ඒ. පී, එල්. එෆ්. ඩී සහ එම්. පී. අයි එම සිනමා මණ්ඩලයි.

මෙරට චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්නේ ප්‍රදර්ශන මණ්ඩලයකට අයත් සිනමා ශාලාවන්වලය. නමුත් සමහර අවස්ථාවන්වලදී එකී ප්‍රදර්ශන මණ්ඩල අතර ඇති අන්‍යෝන්‍ය එකඟතාවය මත එකී විශේෂිත සිනමා මණ්ඩලයට අමතරව අනෙක් මණ්ඩලයට අයත් සිනමා ශාලා තුළ ද චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලබයි.

දිගු කලක් තුළ එකී මණ්ඩලවල එකඟතාවය මත යම් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ පසු එකී චිත්‍රපටය මඟින් ලැබෙන දෛනික ආදායම යම් මට්ටමක අඩු වන තෙක් එකී චිත්‍රපට එම මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වේ.

ඉන් පසුව ප්‍රදර්ශනය කිරීමට තිබෙන චිත්‍රපටය එලෙස පෙර චිත්‍රපටයේ ආදායම එකී මට්ටමට පහතට යන තෙක් ප්‍රදර්ශනය කරනු ලබන්නේ නැත.

පැමිණිලිකරුවන් ප්‍රකාශ කර සිටින්නේ එකී එකඟතාවයේ පදනම ඇත්තේ චිත්‍රපටයක් නිෂ්පාදනයට වැය වන වියදම නැවත ලබා ගැනීමත් ජනප්‍රිය චිත්‍රපටයක් නම් එකී චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් නිෂ්පාදකවරයාට කිසියම් ලාභයක් ලබා ගැනීමට අවස්ථාව ලබාදීම සඳහාය.

එමෙන්ම ඔවුන් දන්නා ආකාරයට සාමාන්‍යයෙන් ප්‍රදර්ශනය කරන ලද චිත්‍රපටයක් අඩුම වශයෙන් දින හතළිහක්වත් මෙලෙස ප්‍රදර්ශනය කරයි. චිත්‍රපටයක් ප්‍රදර්ශනය නවත්වන්නේ ඉහත සඳහන් දෛනික ආදායම සාමාන්‍ය වශයෙන් දිනකට එක් ලක්ෂ පනස් දහසකට අඩු වන අවස්ථාවකදීය.

ස්පන්දන චිත්‍රපටය ආරම්භයේම සාර්ථකව ප්‍රදර්ශනය වූ බව පැමිණිලිකරුවන් පෙන්වා දෙයි. මෙම මස 19 වැනිදා වන විට එහි ආදායම හතර මිලියන නව ලක්ෂ අනූ හත්දහස් හාරසිය අසූ දෙකයි ශත පනහක් බව පැමිණිලිකරු දන්වා සිටියි.

කරුණු මෙසේ තිබියදී පැමිණිලිකරුවන්ට මෙම මස 12 වැනිදා හෝ ඊට ආසන්න දිනක දැනගැනීමට හැකි වූවේ ස්පන්දන හි ආදායම තවදුරටත් වැඩිවෙමින් පවතින අවස්ථාවකදී පළමු විත්තිකරු විසින් මෙම මස 24 දින සිට ස්පන්දන ඉවත් කොට ගින්දරී රිද්මා සහ සී. ඊ. එල් මණ්ඩලවල ප්‍රදර්ශනයට විත්තිකරුවන් විසින් කටයුතු කරන බවයි.

මේ තත්ත්වය නිසා තමන්ට පිරිමැසිය නොහැකි දැඩි අලාභයක් සිදු වන බව නිෂ්පාදකවරයා පෙන්වා සිටියි. ඔහු ස්පන්දන වෙනුවෙන් මිලියන අටත් දහයත් අතර මුදලක් වැය කොට ඇති බවත් ප්‍රකාශ කරයි. නමුත් 2015 මාර්තු 19 වැනිදා දක්වා ස්පන්දන ලද ආදායමෙන් ප්‍රදර්ශකයන්ට ගෙවිය යුතු මුදල අඩු කිරීමෙන් තමන්ට ඇති ආසන්න ලාභය මිලියන තුනක් බව නිෂ්පාදක පෙන්වා දෙයි.

මේ තත්ත්වය මත පැමිණිලිකරුවන් නීතියේ පිළිසරණ පතා තිබේ. ඒ අනුව ඔවුන් ගොනු කළ නඩුවට අනුව ස්පන්දන නැවතත් තිරගත වීමට මේ වන විට කටයුතු සම්පාදනය වී ඇත.

එම උසාවි නියෝගයට අනුව ස්පන්දන හි ආදායම් මට්ටම පහළ බසින තෙක් එය ප්‍රදර්ශනය කිරීමට අනුමැතිය ලැබ තිබේ. එම නියෝගයට අනුව ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් ගින්දරී ප්‍රදර්ශනය අත්හිටුවිම සඳහා ඒ අදාළ පාර්ශවයන්ට ලිඛිතව දන්වා ඇත.

උදයකාන්ත මෙසේ කියයි

මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔය වගේ ගැටළුවක් තිබුණා. තාමත් සාකච්ඡාවලින් අපි විසඳගන්න උත්සාහ කරමින් සිටිනවා. ගින්දරී ඉවත් කළ රීගල් කොළඹ, මහනුවර, මීගමුව, මිලානෝ කෑගල්ල, හිමාලි කිරිබත්ගොඩ, ඇමටි ලයිට් මහරගම, ස්කයි ලයිට් මාතර යන සිනමාහල්හි නැවතත් ගින්දරී පෙන්වන්න අප කටයුතු සලසා දෙනවා.