වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

සුබ උපන් දිනයක්!

1951 වෙළෙඳ සේවයෙන් ඇරැඹි ආරියදාස පීරිස් මහතාගේ ගුවන් විදුලි නිවේදන හඬ අද ද ස්්වදේශීය සේවයේ 'රිදී රේඛා' වැඩ සටහනින් ඉරිදා මධ්‍යහනයේදී ඇසීම පුදුමයක් වුව ද සත්‍යයකි. අද 'ස්ටාර්' තරගවලට සමානව එදා පිබිදෙන ගායක පරපුර ගී නිර්මාතෘ වූ දැනට ජීවත්ව සිටින වයෝවෘධම හා ජ්‍යෙෂ්ඨතම ගුවන් විදුලි ශිල්පී ආරියදාස පීරිස් මහතාට අද දින 89 වන වියට පා තබයි. එතුමාට නිරෝගී සුව අත්වේවා!
 

ඩඩ්ලි තෝමස්

කටුබැද්ද, මොරටුව

කරු අයියා සමරමු

1930 වසරේ උපත ලද කරුණාරත්න අබේසේකර සූරීන් වසර පනස් තුනක් වැනි ඉතාම කෙටි කාල සීමාවක කලා ක්ෂේත්‍රයට විශාල සේවාවක් ඉටු කරන ලදී.

ගී පද රචකයෙක්, නිවේදකයෙක්, විස්තර විචාරකයෙක්, ගුවන් විදුලි වැඩසටහන් සම්පාදකවරයෙක් මෙන්ම ප්‍රවීණ කවියෙක් ලෙස ද සුවිශාල සේවාවක් ඉටු කරන ලදී. කලා ක්ෂේත්‍රය තුළ එතුමා හැඳින් වූයේ කරු අයියා යන ආදර නාමයෙනි. එතුමා එතරම්ම නිහතමානී මිනිසත්කමින් පූර්ණ අයකු වීම මේ හැඳින්වීමට හේතු වුණා විය හැකිය.

අද පරපුරේ නිවේදක නිවේදිකාවන්ට කරු අයියාගේ චරිතය තුළින් උගත යුතු බොහෝ දේ ඇත. ගත යුතු ආදර්ශයන් ද එසේමය.

සිංහල අවුරුදු උදාවත් සමඟම සිරිලක දසතින්ම ඇසෙන ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා ගීතයත්, වෙසක් උත්සවයට ලංකාව පුරාම රැව් පිළිරැව් දෙන බුද්ධං සරණං ගීතයත් යන ගීත දෙක පමණක් වුවත් කරු අයියා මතකයට නැංවීමට ප්‍රමාණවත් යයි සිතේ. හැටේ දශකයේ කරු අයියා ධීවරයෝ, අංගුලිමාල චිත්‍රපට දෙකට ලියූ මෙම ගීත දෙකම බිහි වී දැනට අඩ සිය වසකටත් වැඩි කාලයක් ගත වී ඇතත් එදා මෙන්ම අදටත් ජනප්‍රියත්වයේ ඉහළම තැනක පවතී.

කරුණාරත්න අබේසේකර නාමය ද රසික හදවත් තුළ සදා නොමියෙන ලෙස අමරණීයව සනිටුහන් වනු ඇත.

2015 අප්‍රේල් 20 දිනට යෙදුණු කරුණාරත්න අබේසේකරයන්ගේ අනුස්මරණය වෙනුවෙන් එතුමාට උපහාරයක් ලෙස මේ සටහන තබමි.
 

විමල් රණසිංහ

ග්‍රෑන්ඩ්පාස්, කොළඹ

සිනමාහලක් ඕනෑ

ගාල්ල දිස්ත්‍රික්කයේ මහ නගර සභාවක් යටතේ පාලනය වන ප්‍රධාන නගරයකි හික්කඩුව. එම නගරයට සිනමාහලක් ලබාදීමට කවුරුන් හේ ඉදිරිපත් වන්නේ නම් කලාවට රුකුලකි.
 

ඊ. දයානන්ද ද සිල්වා

සීනිගම, හික්කඩුව

කමලනී ඔබට නිවන් සුව!

දයාබර කමලනී, ගුවන් විදුලි ශිල්පිනියක් ලෙස කලා ලොවට පිවිස ජාතික රූපවාහිනියේ ආයුබෝවන් සුභ උදෑසනක් තුළින් සියලු ජන හදවත් දිනාගත් චිත්‍රපට නිළියක ලෙස ද කළ දස්කම් අපට කිසිදා අමතක නැත. ජාතික රූපවාහිනියේ පැරැණිතම නිවේදිකාව ලෙස වසර ගණනාවක් රසික ලොවේ කීර්තිය දිනා සිටි ඔබ වසර පනස් හතක් වැනි කෙටි කාලයකින් අපෙන් සමු ගත්තේ අපේ අවාසනාවටය. ද්‍රවිඩ වුණත් සිංහල අපට ඔබ දුන් කලා රසය මිල කළ නොහැකිය. නමුත් අපෙන් එයට යුතුකම් ඉටු වුණේ ද නැත. කාලයක් රෝගාතුරව උන් ඔබ දෙස සත්‍ය වශයන්ම සොයා බැලූ කෙනෙක් සිටියාද? ඔබට නිවන් සුව පතන අතර කලාකාරියක් ලෙස නැවතත් මෙහි නම් ඉපදෙන්න එපා.
 

ලක්ෂ්මන් රණසිංහ

හේකිත්ත, වත්තල

භාරත හින්දි ගී නැවත ඕනෑ

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවය ඔස්සේ අසන්නන් අතර ජනප්‍රිය නාමයක් දිනාගෙන සිටිය සතියේ දින පහේම සවස තුනේ සිට හතර දක්වා ප්‍රචාරය වුණු 'භාරත හින්දි ගී රසාංග' මෑතක සිට නතර කර ඇත. එම වැඩ සටහන නැවත අසන්නට සලස්වන ලෙස නිසි බලධාරීන්ගේ අවධානයට යොමු කරන මෙන් ඉල්ලමි.

ඇල්. ඇම්. ප්‍රේමසේන පෙරේරා, ඥානා කුමාරි, මදු සුරංගි
 

කළුබෝවිල

සිංහල සිනමාව ඔපවත් කළ ආදරණිය නිළි රැජනියනි, ඔබට නිදුක් නිරෝගී සම්පත් සමඟින් සුබ උපන් දිනයක් වේවා!
 

සුසිලා පතිරාජ

පුබුදුගම, උස්වැටකෙයියාව

සභාපතිතුමනි,

ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිතුමාට ඉරිදා දහවල් 12 ට විකාශනය වූ පැරැණි චිත්‍රපට ගීත දර්ශන නැවතත් විකාශනය කරන මෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
 

එච්. එල්. තිලකසිරි ද සිල්වා

මීටියාගොඩ

තිත තැබිය යුතුයි

ඓතිහාසික කතාවලට විකෘති කෑලි පූට්ටු කරමින් නිමක් නොමැතිව රැල්ලට ගසාගෙන එන ගතානුගතික චිත්‍රපට නිෂ්පාදනයට තිත තැබිය යුතු කාලය එළැඹ ඇතැයි මම සිතමි.
 

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල, කොටුගොඩ

සුබ උපන් දිනයට ආසිරි!

කලා ලොවේ රස නිබඳව දුන් සරසවිය
සිතුවිලිවලින් තක්සලාව වුණු සරසවිය
තරු යායට කැන්දා යන සරසවිය
පනස් තුන් වසර සමරන සරසවිය

ලේක්හවුස් මැදුරෙන් හැඩ වැඩවීලා
ලස්සන නිමාවෙන් පන්හිඳ ගේන මවාලා
සරසවි වරම හද පුදසුන මත තබලා
කඩ මණ්ඩියේ සරසවියට මුල් තැන ලබලා
 

පී. ධම්මික දුමේන්ද්‍ර

පාමංකඩ

ඉඩ දෙන්න

සුබෝධිනී තම පියාගෙන් පමණක් සෙනෙහස හා රැකවරණය ලබන ධනවත් සිංහල තරුණියකි. මව මිය ගියේ මහ බැංකු බෝම්බයෙනි. සරෝජා ද උතුරේදී යුද අනාථයෙක් වී බංකරයක සුරේන්ද්‍ර සමඟ තනි වී පසුව වෙන් වෙයි. සුරේන්ද්‍ර ද්‍රවිඩ ත්‍රස්තවාදී තරුණයා ප්‍රේමයෙන් අතරමං වී තමන්ම පුනරුත්ථාපනය වන අයුරුත්, ඔහුගේ අතීතයේ යාපනයේ සිද්ධීන් ද, කොළඹ සිද්ධීන් ද එකවර අප ඉදිරියේ දිස්වේ. මෙය ඉතාම අසීරු කටයුත්තකි. නළු නිළි රඟපෑම් හොඳයි. කාර්මික අංශයත් හොඳයි.

ඵල නොදැරූ තුන් කොන් ප්‍රේමයක් ගැන කියවෙන 'ඉඩ දෙන්න' අපට ලබා දුන් නිර්මාණකරුවාට මම මගේ ප්‍රණාමය පුදමි.
 

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද, මොරටුව

S.M.S.

ස්වාධීන රූපවාහිනියේ විකාශනය වෙන අට පට්ටම ඉතාමත් හොඳයි. එය කරන හසන්ත මහතාට එය ඉදිරියටම කරගෙන යන්න ප්‍රාර්ථනා කරනවා.
 

ප්‍රියදර්ශනී

රාගම

'සුළං කිරිල්ලී' චිත්‍රපටය තුළ මනුෂ්‍යත්වයේ ගැඹුරු අර්ථයක් සැඟවිලා තියෙනවා. දමිතා අබේරත්න සිදු කරන රංගනය අති තාත්විකයි.
 

ඒ. ඊ. එන්. ප්‍රනාන්දු

මීගමුව

ආදරණීය මිල්ටන් මල්ලවආරච්චි, ඔබ තමයි අපේ අංක එකේ ගායකයා.
 

ඉන්ද්‍රාණි

දඹුල්ල

කවුරුත් ආදරය කළ කාංචනා මෙන්ඩිස් කෝ. හොරු අරන් ගියා වගේ එක පාරටම ක්ෂේත්‍රයෙන් අයින් වුණේ ඇයි.
 

චින්තක ප්‍රියන්ත

ඉංගිරිය

බියුලා ඩයස් රංගන ශිල්පිනියව නැවත සිනමාවේ දකින්න ලැබේවා!
 

අමන්ත

කඳාන

රන්ජන් රාමනායක තමයි දැනට ලංකාවේ සිටින එකම ජනතාවාදී නළුවා. ඔහුට ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රණාමය!
 

රජීව් ගමගේ

පොල්ගස්ඕවිට

ලංකාවේ නොම්මර එකේ මියුසික් බෑන්ඩ් එක "Flash Back" තමයි. එහි ඕගන් වාදක අරුණතමිල්ගේ දක්ෂතාව නම් මාරයි. ඔබට අපේ උණුසුම් සුබපැතුම්!
 

අසංග

පුත්තලම

මම දැකපු ලස්සනම පෙම් යුවළ තමයි සප්නා ටෙලියේ සප්නාවයි, සුරාජ්වයි.
 

නිලූකා

අවිස්සාවේල්ල

අනේ මන්දා දැන් සිංහල සිනමාවට වඩා හින්දි සිනමාව මෙහෙ ජනප්‍රිය වෙලානේ. මෙහේ අයට හින්දි සිනමාව නිසා සිංහල සිනමාව අමතක වෙයි ද දන්නේ නැහැ.
 

පී. වයි. අනුලාවතී

කුඩාගම

වර්තමානයේ පුංචි තිරයේ මං දැකපු හොඳම පෙම් යුවළ අමිල අයියයි, මහේෂි අක්කයි.
 

පී. ඩී හර්ෂ විරාජ්

මාකඳුර

මහරජ ගැමුණු චිත්‍රපටයේ දමිතාගේ විනාඩි දෙක තුනේ රඟපෑම ගින්දර.
 

පී. ඒ. බාදල්

වත්තල

රුවන්ගි ඔයා මට හැමදාම 'මැසේජ්' කරනවා. එත් ඔයාට සුබ පතන්න නම්බර් එක නෑ. නම්බර් එක එවන්නකෝ. ඔයා රඟපාන්න දක්ෂයි.
 

ගීතානි ජයසිංහ

කුලියාපිටිය

'මුතු පලස' ටෙලියේ ලෝයර් මහත්තයා ලෙස විශිෂ්ට රංගනයක නියැළුණු ලක්ෂ්මන් මානවඩු රංගන ශිල්පියා මේ දිනවල විකාශය වන 'දේවි', 'මයා පටල' ටෙලි නාට්‍යවල අති විශිෂ්ට රංගනයක යෙදෙනවා.
 

මොනිකා කුමාරි දිසානායක

අනුරාධපුරය

ප්‍රතිචාර සඳහා
අලුත් දුරකතන අංකයක්
0773042834
ඔබේ ප්‍රතිචාර sms මඟින් ඉහත අංකයට එවන්න. ප්‍රතිචාර තැපැල් හෝ සටහන්පත් මඟින් නම්
ප්‍රතිචාර, සරසවිය,
ලේක්හවුස්, කොළඹ 10
යන ලිපිනය විවෘතය.