වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




මඟ දිගට රස කතා

තව පොඩ්ඩෙන් මාර වැඩක්...

උදාරි වර්ණකුලසූරිය මේ දවස්වල ජීවිතේ ගත කරන්නේ හරිම දුකින්. එයට ප්‍රධානම හේතුව තමන්ගේ ආදරණීය දූ සිඟිත්තගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම. පුංචි එකීට උණලු. ඒ විතරක් නොවෙයි උදාරිටත් ඒ අසනීපයම වැළඳිලා. මේ හින්දා දෙන්නම ගිහිල්ලා බෙහෙත් ගන්න. එතකොට තමයි උදාරිගේ උණ වැඩි වෙලා තියෙන්නේ. රෝහලේ බාගෙට බාගයක් සෙනඟ උදාරිව නවත්ව නවත්ව එක එක දේවල් අහනවලු. උදාරිත් ඉතින් මොනවා කරන්නද, තමන්ගේ රසිකයින්ගේ ප්‍රශ්නවලට උත්තර දිදී ගමන් කරනවලු. ඔය අතරේ සමහර අය අහනවලු බෙහෙත් ගන්න ආවද? කියලා. 'හත්දෙයියෙනේ ඉස්පිරිතාලෙකට එන්නේ බෙහෙත් ගන්න මිසක කෝපි බොන්නද' කියලා ළඟ සිටි උදාරිගේ හිතවතෙක් උදාරිගේ කනට කරලා කිව්වලු. ඒක අහලා ඇයටත් හිනහ ගිහින්. කොහොම වුණත් මේ අලකලංචිය මැද අම්මයි දුවයි බෙහෙත් අරගෙන ඇවිල්ලා. ගෙදර ගිය ගමන් උදාරි බොන්න කියලා හිතාගෙන බෙහෙත් පෙති අතට අරන්. හැබැයි පොඩි නුහුරක් දැනුණලු. බැලින්නම් උදාරි බොන්න අරගෙන තියෙන්නෙ දුවගේ බෙහෙත් ටික. තව පොඩ්ඩෙන් නියම වැඩක් වෙන්නේ. උදාරි දුවගෙ බෙහෙත් බිව්වත් අවුලක් වෙන එකක් නැහැ. මොකද උදාරි තවමත් හැසිරෙන්නේ ඇයගේ පොඩි දුව හා සමානවනේ.

මල්ල පුරාවට කේතල් ලැබිලා

චන්දික නානායක්කාරට මෙවර අලුත් අවුරුදු උත්සවවලට සහභාගි වෙන්න ආරාධනා ලැබිලා වැඩිපුරත් එක්ක. ඉතින් ඒ හැම එකකටම චන්දික නෑ බෑ කියන්නේ නැතුව සහභාගිවන්න තීරණය කළාලු. සාමාන්‍යයෙන් චන්දිකට ඔවැනි කටයුත්ත ආරාධනා කරන අය දන්නවලු වෙන කවුරු ආවේ නැතත් චන්දික නම් එනවාමයි කියලා. මොකද ඔහු එතරම්ම කාරුණික සහ නිතහමානී කලාකරුවකු හින්දා. ඔන්න ඉතින් චන්දික තමන්ට ලැබුණු ආරාධනාවට අනුව අවුරුදු උත්සවයකට සහභාගි වුණා. මෙය සංවිධානය කරලා තිබුණේ එක්තරා රූපවාහිනි නාළිකාවකින්. චන්දික බොහොම හැඩට ඇඳ පැළඳගෙන එයට සහභාගි වුණා. සංවිධායක කමිටුව විසින් චන්දිකටත් ඇරයුම් කළාලු තරගවලට සහභාගි වෙන්න. චන්දිකත් බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වෙලා. චන්දිකත් එක්ක තරගවලට සහභාගි වෙලා තියෙන්නේ හිමාලි සයුරංගි. දෙන්නා එක්ක තරග කිහියකටම ඉදිරිපත් වෙලා ඒවායින් ජයග්‍රහණය කරලා. කොහොම හරි එදා චන්දික එතැනින් ගිහිල්ලා තියෙන්නේ අත පිරෙන්න තෑගි අරගෙන. එදා චන්දික ගෙදර ගිහින් තෑගි ටික පරිස්සමට තියලා ඒවා එකිනෙක දිග හරින්න පටන් ගත්තලු. මෙන්න වැඩක්. තෑගි පෙට්ටි ඇතුළේ වැඩිපුරම තිබිලා තියෙන්නේ කේතල්. දිග හරින දිග හරින තෑග්ග කේතලයක්ලු. අනේ ඉතින් මෙච්චර කේතල් මොනවා කරන්නද හිතාගෙන තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියන්නා වගේ චන්දික ඒ කේතල් ටික බෙදලා දීලා.

රුවන්ට පයින් නොයන්න ගැහැනියකගෙන් කුඩ පාරක්

උතුම් පැතුම් ටෙලි සිතුවමේ රුවන්ගේ චරිතය නිරූපණය කරන නළුවව ඔබට මතකද? ඔහුගේ සැබෑ ජීවිතයේ නමත් රුවන්. ටෙලිනාට්‍යයේ රුවන් කියන්නෙ සටකපට චරිතයක්. සාමාන්‍ය ජීවිතයේ රුවන් නම් එහෙම නැහැ. හැබැයි ඔහු බොහොම අපූරුවට නාට්‍යයේ රුවන්ව නිරූපණය කරනවා. මේ හින්දම වෙන්න ඇති ප්‍රේක්ෂකයන් රුවන්ට ඇත්තටම වෛර කරන්නෙ. මම එහෙම කිව්වෙ එක්තරා සිදුවීමක් හින්දා. සිද්ධිය මේකයි. අහන්නකො. රුවන් දවසක සන්නිවේදන මධ්‍යස්ථානයකට එහෙමත් නැත්නම් තේරෙන බාසාවකින් කියනවා නම් කමියුනිකේෂන් එකකට ගිහිල්ලා. අවශ්‍යතාවය ඉටුකරගෙන එතැනින් එළියට බැහැලා නිවෙස පැත්තට පයින් එනකොට කොහේදෝ ඉඳන් ආව කාන්තාවක් රුවන්ට කුඩයකින් ගහගෙන ගහගෙන ගියාලු. රුවන්ටත් හිතාගන්න බැහැ මේ මොකක්ද වුණේ කියලා. රුවන් දඩිබිඩිගාලා ළඟ තිබුණු ත්‍රීවීල් එකකට කතාකරලා ඒකට නැගලා. ඒ යන අතරතුරදි අර ගැහැනු කෙනා ගෑහනවලු "තමුසෙනම් මහ කපටියෙක් ඕයි, ඇයි අර අහිංසකයට ඔච්චරට ජරා වැඩ කරන්නෙ" කියලා. දැන් තමයි රුවන්ට කාරණාව වැටහිලා තියෙන්නෙ. ඇය අහිංසකයා කියලා පවසලා තියෙන්නෙ විශ්ව කොඩිකාර කරන මයන්ත චරිතයට. නාට්‍ය හැටියට ඔහු විශ්වට කෙනෙහෙලිකම් කරනවානේ. අන්තිමේ රුවන් තීරණය කළාලු කාලයක් යනකම් පයින් නොයා ඉන්න. දැන් රුවන් හන්දියෙ කඩේකට යන්නෙත් ත්‍රීවීල් එකේලු.

තාත්තයි - දුවයි හොඳම නළුවයි - නිළියයි...

පසුගියදා නිමාව දුටු රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම නළුවා වුණේ වසන්ත කුමාරසිරි. බොරලු පාර ටෙලි සිතුවමේ වෙන්දකඩුව නම් වූ පොලිස් පරීක්ෂකවරයාගේ චරිතයට හොඳ සාධාරණයක් ඉටු කිරිම වෙනුවෙනුයි ඔහු මෙලෙස සම්මානයට පාත්‍ර වුණේ. එහිදී හොඳම නිළිය වුණේ තිසුරි යුවනිකා. බොරලු පාර ටෙලි සිතුවමේ ඇය රඟපෑවේ වෙන්දකඩුවගේ දුව හැටියට. එහෙම බලන කොට තාත්තයි දුවයි තමයි හොඳම නළුවයි නිළියයි. පුදුමෙ කියන්නේ ගියවර රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම නළුවා සහ නිළිය වුණේ තාත්තටයි දුවටයි රඟපාපු දෙන්නෙක්. ඒ මොනරතැන්න ටෙලි සිතුවමේ. එහි රඟපෑ ශ්‍රියන්ත මෙන්ඩිස් එම සම්මාන උළෙලේ හොඳම නළුවා වුණා. ඔහුගේ දුව හැටියට රඟපෑ මේනකා පීරිස් හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා. එහෙම බලන කොට අවුරුදු දෙකක් එක පිට තාත්තලයි දුවලයි හොඳම නළු නිළි සම්මාන අරගෙන.

මාමයි, බෑනයි කෙස් සුදු සීයයි...

කොණ්ඩෙ සුදු කලාකරුවන් ඉන්නේ අතලොස්සයි. ඒ අතරින් සම්පූර්ණ කොණ්ඩෙ සුදු කලාකරුවකු නම් හොයා ගත්තොත් ඒ එඩ්වඩ් චන්ද්‍රසිරි විතරමයි. මොකද අපේ බහුතරයක් කලාකරුවන් තමන්ගේ කොණ්ඩෙ සුද පෙන්වන්න කැමැති නැහැනෙ. ඒ අය කැමැති තමන්ගේ මුහුණේ සුද පෙන්වන්න විතරයි. ඒ හිසේ කොණ්ඩෙ සුදු කෙස් ගහක් දැකපු ගමන් ටක් ගාලා ඩයි ගාලා කළු කර ගන්නවා. හැබැයි එඩ්වඩ් නම් එහෙම නැහැ. එඩ්වඩ් කවදාවත් සුදු වුණ කොණ්ඩය කළු කරගන්න උත්සාහ කරන බවකුත් පේන්න නැහැ. (ඒ සුදු කොණ්ඩය කළු කරන්න නම් ඩයි බැරල් එකක් විතර යාවි). මේ සුදුම සුදු කොණ්ඩය හින්දා එඩ්වඩ්ගෙන් ප්‍රසන්නජිත් අබේසුූරියගේ මරු කතාවක් අහලා. ප්‍රසන්නත් ඉතින් සුපිරි කතන්දර කියන්න දක්ෂයිනේ. එඩ්වඩ් වෘත්තියෙන් ප්‍රසංග සංවිධායකවරයකු හැටියට කටයුතු කරනවා. ඔන්න දවසක් එඩ්වඩ් අපේ රෝහණ බැද්දගේ සූරීන්ගේ සහ බන්දුල විජේවීරයන්ගේ මාමයි බෑනයි ප්‍රසංගයක් සංවිධානය කරලා ටවර් රඟහලේ. එය ඉතාම සාර්ථකව පැවැත්වුණාලු. ඕක බලන්න කොහේදෝ ඉඳලා ප්‍රසන්නජිතුත් ඇවිල්ලා. ප්‍රසංගය අවසානයේ බැද්දගේ මහත්තයයි බන්දුලයි අතරට එඩ්වඩුත් ඇවිල්ලා ප්‍රේක්ෂකයන්ට ආචාර කළාලු. ඒ කටයුතු ඉවර වුණාට පස්සේ එඩ්වඩ් දැක්කලු ප්‍රසන්නජිත් ඉන්නවා. තමන්ගේ පරණ හිත මිත්‍රයෙක් හින්දා එඩ්වඩ් ගිහිල්ලා ඇහැව්ලු 'කොහොමද? මාමයි බෑනයි හොඳද?' කියලා.

ප්‍රසන්නජිත් කිව්වලු මෙන්න මෙහෙම.

මචං ෂෝ එකේ නම වෙනස් කළොත් හොඳයි.

ඒ කිව්වේ?

අපි මේකට දාමු මාමයි බෑනයි සීයයි කියලා.

සීයයි? කවුද සීයා?

වෙන කවුද? ඔයා මිසක්.

එඩ්වඩ්ගේ කොණ්ඩෙ සීයා කෙනෙක් වගේ සුදු නිසා ප්‍රසන්නට මාමයි බෑනයි අතර එඩ්වඩ් එද්දී ඔහුව පෙනිලා තියන්නේ සීයා කෙනෙක් වගේ.