වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




FaceBook සමඟ එන රන්සි

FaceBook සමඟ එන රන්සි

මේ දිනවල හිරු එෆ්. එම්. නාළිකාවෙන් ඇසෙන 'ෆේස් බුක්' ගීතය ඔස්සේ ශ්‍රී ලාංකික ගායන අඹරට පායන රන්සි නියුලේෂියා නවක ගායන ශිල්පිනිය හැකියාවන් රැසක් ඔස්සේ සිය දක්ෂතා පෙන්වන යෞවනියකි.

ඇය බම්බලපිටිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ උසස් පෙළ අධ්‍යාපනය ලබන සමයේදීම ඉංග්‍රීසි භාෂාවෙන් ගීත ලිවීමට හා ගැයීමට සුවිශේෂ හැකියාවක් පෙන්වා ඇත. ඒ නිසාම නියුලේෂියා බටහිර සංගීතය හැදෑරුවාය

නෙටාජි වික්‍රමසූරිය මහතා යටතේ තවදුරටත් ගිටාර් වාදනය හදාරන ඇය මේ වන විට දේශභිමානි ගීතයක්, සඳ විමනින් නම් විරහ ගීතයක්, දියමන්ති මාලය යන ගී ගායනා කර තිබෙන අතර, කොරියන්, ජපන්, ඉංග්‍රීසි, චීන භාෂා දාරමින් ඒ භාෂාවන් පිළිබඳ ඩිප්ලෝමා සහතික ද ලබා තිබේ. හිපොප් වගේම කොරියන් සංගීතයට ද විශේෂ ඇල්මක් දක්වන නියුලේෂියා සිය පියා වූ රජයේ හිටපු ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියකු වන උපාලි ජිනසේන මහතා හා මව වන ගුරුවරියක් වූ ඉන්ද්‍රාණි දීප්තිකා විද්‍යාතිලක මහත්මියගේත් රැකවරණය හා සහයෝගය, උපදෙස් මත කලා දිවිය ආරම්භ කරගෙන ඇත්තීය. සිය අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නා ගමන් සාර්ථක ගායිකාවක් ලෙස පෙරට පැමිණීමට ඈ බලාපොරොත්තු වේ. මේ වන විට ඉංග්‍රීසි භාෂවෛන් ගීත වගේම කෙටි හා නවකතා ලිවීම, කාටුන් චිත්‍ර ඇඳීමටත් ඇය සිය හැකියාවන් පෙන්වන්නීය.

ඇයට සහෝදරයන් දෙදෙනකු සිටින අතර වැඩිමහල් සහෝදරයා වන දෲවි නියුලේෂියාගෙන් ලැබෙන සහයෝගය රන්සි අගය කරයි. මයිකල් ජැක්සන්ගේ ගීතවලට ප්‍රිය කරන රන්සි ඉවෝ කණ්ඩායමේ ගීත, බෝවා, බ්‍රිට්නි ස්පියර්ස් ගීත ප්‍රිය කරයි.

ගෘහස්ථ ප්‍රසංගවල ගීත ගායනයට කැමැත්තෙන් සිටින ඇය ඒ පිළිබඳ තවත් විස්තර දැන ගැනීමට නම් ලිපිනය වූ අංක 14, නාමල් පාර, කොළඹ 03 හා ඊමේල් ලිපිනය වූ [email protected] භාවිත කළ හැකි බව දන්වා සිටියි. 'ෆේස් බුක්' ගීතය යූ ටියුබ්වලට පිවිසෙන ඔබට රස විඳිය හැකි බව රන්සි ආරාධනා කරයි.