වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




මම චිත්‍රපට කෙරුවාව කවදාවත් නතර කරන්නේ නැහැ

මම චිත්‍රපට කෙරුවාව කවදාවත් නතර කරන්නේ නැහැ

ස්පන්දන නිෂ්පාදක ජගත් එම්.යාපා
ස්පන්දන බලන්න තරුණයෝ එන්න ළමයි එපා, වැඩිහිටියෝ එපා

ජගත් එම්. යාපා නිෂ්පාදකවරයකු වශයෙන් කලඑළියට එන්නේ ටෙනිසන් කුරේගේ තැන්ක්‍යු බර්ටි චිත්‍රපටයෙනි. මේ දිනවල තිරගත වන ස්පන්දන ඔහුගේ දෙවැනි සිනමා නිෂ්පාදනයයි. කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ද වන ජගත් අවස්ථා කිහිපයකදීම හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය හිමි කරගෙන ඇත. මේ ඔහුත් සමඟ කළ සාකච්ඡාවක සංෂිප්ත සටහනකි.

* ජගත් ස්පන්දනහි වර්තමාන තත්ත්වය ගැන කතා කරමින්ම මේ කතාව අරඹමු?

ස්පන්දන ආදායම් මට්ටම මේ දිනවල හොඳයි. සෑහෙන්න ප්‍රේක්ෂක කණ්ඩායමක් මේ වන විට ස්පන්දන සමඟ එකතු වෙලා ඉන්න වගක් පේනවා. යම් යම් ප්‍රශ්න ආවත් අඛණ්ඩව රීගල් ශාලාව ඇතුළු ශාලා කිහිපයක ස්පන්දන තවමත් ප්‍රදර්ශනය වෙනවා.

* ඔබ කොහොමද චිත්‍රපට නිෂ්පාදනයට එන්නේ?

මම කලාවට ආදරය කරන මනුස්සයෙක්. ඒ හින්දම ප්‍රදේශයේ කලාවට සබැඳි විවිධාකාර වැඩවලට එකතු වුණා. ඔය අතර මට හිතුණා ටෙනිසන් කුරේගේ වේදිකා නාට්‍ය කුරුණෑගල සංවිධානය කරන්න. ඔහු මගේ හිතවතෙක් වුණු හින්දයි ටෙනීගෙම නාට්‍ය කුරුණෑගලට ගේන්න හිතුණේ. කලක් ඒ නාට්‍ය සංවිධානය කර කර ඉන්න කොට මමම ටෙනීට යෝජනා කළා චිත්‍රපටයක් කරමු කියලා. මට ඕනෑ වුණා ඔහුව අධ්‍යක්ෂකවරයකු කරන්න.

* එතකොට ඔබට සිනමා දැනුමක් තිබුණේ නැහැ?

ඔව්. මම සිනමාව ගැන ඉගෙන ගත්තේ තැන්ක්‍යු බර්ටි චිත්‍රපටයෙන්. එහි වැඩ කටයුතු කළායින් පසුව හරියට මට දැනුණේ සිනමා ඇකඩමියකට ගිහින් ආවා වගේ. ටෙනිසන් කුරේ තමයි මට සිනමා ඥාණය දුන්නේ. ඔහු තැන්ක්‍යු බර්ටි කරන්නට පෙර සිනමාව ගැන පුළුල් අවබෝධයක් දුන්නා.

* ඒ කියන්නේ ටෙනිසන් කුරේ තමයි ඔබේ සිනමා ගුරුවරයා?

හරියටම හරි. මට සිනමාව කියලා දුන්නේ ඔහු.

* ඔබ හිතපු තරම් තැන්ක්‍යු බර්ටි ජනප්‍රිය වුණාද?

ඔව්. මහා ලොකුවට නැතත් බජට් කවර් කළා. අනික අපි ඩී. වී. ඩී. දැම්මනෙ. ඒවත් වාර්තාගත අන්දමින් අලෙවි වුණා.

* ඔබ දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඒ වෘත්තීය මත සිට ඔබ කලාව දෙස බැලුවේ කොහොමද?

කලාවට ව්‍යාපාරික ඥාණය ඕනෑ. මම කළමනාකරුවකු විදිහට මගේ නිර්මාණ සඳහා ව්‍යාපාර රීතීන් සහ අළෙවිකරණ උපක්‍රම යොදා ගත්තා. උදාහරණයක් විදිහට තැන්ක්‍යු බර්ටි හරහා පැරැණි ගීත දැමීම. ටෙනීව අධ්‍යක්ෂවරයකු බවට පත් කිරීම, බන්දු ටෙනී සුසංයෝගය රංගනයට යොදා ගැනීිම ඉන් කිහිපයක්.

* ඒ මාර්කටින් පොයින්ට් සිනමාවට ගැලපුනාද?

මම හිතනවා ඒවා ගැලපෙන්න ඇති කියලා.

* නමුත් කලාව කියන්නේ ව්‍යාපාරම නෙවෙයි?

ඒක හරි. ව්‍යාපාර කියන්නේ සියයට සියයක්ම ව්‍යාපාර. නමුත් කලාව ඇතුළෙත් ව්‍යාපාර තියෙනවා. හැබැයි සියයට සියයක්ම නෙවෙයි. කලාව තුළින් මිනිසුන් සතුටු වෙනවා. අන්න ඒ පැත්තෙත් අපි සිතිය යුතුයි.

* ව්‍යාපාර තරම් කලාවෙන් ලාභ ලබන්න බැහැ නේද?

ඔය කතාව නම් හරි. කලාවෙන් අස්වනු නෙලන්න ටිකක් කල් යනවා.

* කෙසේ වෙතත් ඔබගේ ව්‍යාපාරයේ නමින්ම වීඩියෝ නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යනවා?

ඒකේ නමත් ගලුකු. කලාවට ඇති ළැදිකම නිසාමයි එවන් වූ තැනක් පටන් ගත්තේ.

* ස්පන්දන වැනි Horror ගණයේ චිත්‍රපටයක් ඔබ නිෂ්පාදනය කිරීමට පෙළඹෙන්නේ ඇයි?

එම චිත්‍රපටය ගැන එහි අධ්‍යක්ෂක සුනෙත් මට විස්තර කළා. මම මුලින්ම කළේ පවුලේ සැමට චිත්‍රපටයක්නේ. මේක ඉලක්ක කළේ තරුණ පරපුර. මට හිතුණා ඒ ප්‍රේක්ෂක කණ්ඩායම ගැන හිතලා ඔවුන් වෙනුවෙන් චිත්‍රපටයක් කරන්න.

* එතකොට ඔබ ස්පන්දන බලන්න එන්න කියන්නේ තරුණ පරපුරට විතරද?

ඔව්. ස්පන්දන සඳහා ළමා අයත් එපා, වයසක අයත් එපා. ඒ අය වෙනුවෙන් මගේ තව චිත්‍රපට එන්න තියෙනවා.

* චිත්‍රපට නිෂ්පාදකවරයකු විදිහට ඔබ ලංකාවේ දැනට තිබෙන සිනමා ශාලා ගැන සෑහීමකට පත් වෙනවාද?

කොහෙත්ම නැහැ. අපි කොපමණ හොඳ චිත්‍රපට හැදුවත් වැඩක් නැහැ, ගුණාත්මක ශාලා නැතිනම්. ඒක නිසා මම සිනමා ශාලා දෙකක් හැදුවා. ඒ නාවලපිටියේ සිනේෂා සහ හෝමාගම ලේඛා.

* සාමාන්‍යයෙන් අධ්‍යක්ෂවරයකු ඔබට නිර්මාණයකට කතා කළොත් මුලින්ම ඔබ සලකා බලන්නේ මොනවාද?

ඔහුගේ පසුබිම බලනවා. කතාවේ පිටපත කියවනවා. ඒකට සැටිස් නම් මම වැඩේට බහිනවා. හැබැයි මා සතු තාක්ෂණික දැනුම ප්‍රමාණය නම් ඉතාම අල්පයි. ඒ හින්දා මම ඒ ගැන හොයන්නේ නැහැ. බජට් එකක් ලබාගෙන ඒ ඇතුළේ නිර්මාණය කරන්නට ඔවුනට ඉඩ දෙනවා.

* ස්පන්දන තිරගත වුණේ අවුරුදු සමයේ. මෙය ඔබට අවාසියක් වුණේ නැතිද?

අවාසියක් වුණා. හේතුව මිනිස්සුන්ගේ අවධානය ඒ වන කොට තිබුණේ වෙන පැත්තක. නමුත් මට කරන්න දෙයක් නැහැ. ප්‍රදර්ශක මණ්ඩලනේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන දින තීරණය කරන්නේ.

* නොදන්න චිත්‍රපට කෙරුවාව නොකර දන්න ව්‍යාපාරයක් කරගෙන හිටියා නම් හොඳයි කියලා ඔබට හිතිලා නැතිද?

කවදාවත් නැහැ. මම චිත්‍රපට කෙරුවාව කවදාවත් නවත්වන්න හිතාගෙන කරන එකක් නෙවෙයි. ඒකනේ නිෂ්පාදන ආයතනයක් පටන් ගත්තේ.

* ඔහොම කියපු නිෂ්පාදකවරු ඕනෑ තරම් ක්ෂේත්‍රයේ හිටියා. නමුත් අවසානයේ සියල්ල කලකිරී ක්ෂේත්‍රයෙන් ඉවත් වුණා?

ඒ කලකිරීමට හේතුව නිර්මාණ තුළින් යැපීම උපරිමයෙන් සිදු කරන්නට යෑම. ඇත්තම කිව්වොත් මටත් කලකිරිලා තියෙනවා. මම ඒ කලකිිරීම අභියෝගයක් හැටියටයි සලකන්නේ.

* ඔබ ව්‍යාපාරිකයකු විදිහට සම්මාන ලබා ගත් අයෙක්. ඒ ගැනත් කියමු?

ජ්ඛ්ඛ්ධ්ඉඹ් සම්මාන උළෙලේ වයඹ පළාතේ හොඳම ව්‍යවසායකයා හැටියට රන් සම්මානයත්, ජාතික මට්ටමේ හොඳම ව්‍යවසායකයා හැටියටත් මා සම්මාන හිමි කරගෙන තියෙනවා. ඒවාට අමතරව තවත් සම්මාන රැසක්ම ලබා ගත්ත. ඒවා ගැන කියන්න ගියොත් ඔයාට තවත් පිටුවක් වෙන් කරන්න වේවි.

* ඔබ තවමත් කලාව පැත්තෙන් නම් සම්මානනීය වුණේ නැහැ?

මම හිතන්නේ ඉදිරියේදී එහෙම වේවි. කලාවෙනුත් සම්මාන ගන්න මා බලාපොරොත්තුවෙන් සිටිනවා.