වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




මවු රටට වූ විපතට මනිෂා ශෝකයෙන්...

මවු රටට වූ විපතට මනිෂා ශෝකයෙන්...

පසුගිය විසිපස් වැනිදා නේපාලය හෙල්ලු භූ කම්පනය නිසා නේපාල වැසියන්හට දරුණු විපතකට මුහුණ දෙන්නට සිදු වුණා. මිනිසුන් දෙදහසකට අධික පිරිසකට මරු කැඳවූ මේ භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.9ක් ලෙසින් සටහන් කළා. මේ පුවත සැළ වූ සැණින් නේපාලයේ සහයට පැමිණියේ අසල්වැසි ඉන්දියාව. ඔවුන් නේපාලයේ අවතැන් වූවන්ට සහන සලසමින් විශාල මෙහෙවරක් ඉටු කළා. ඉන්දියාව කළා වූ මෙම සේවය වෙනුවෙන් නේපාල නිළියක තම ස්තූතිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට පුද කළා.

ඒ වෙන කවුරුවත් නොවෙයි. සුරූපි නිළි මනීෂා කොයිරාල. පසුගිය කාලයම පිළිකා රෝගයකින් පීඩා විඳි ඇය දැන් සුවය ලබා සිටින්නේ සතුටින්. ඒ අතරතුර සිදු වූ මේ මහා විපත දැක කඳුළු සළනවා හැර ඇයට වෙන කරන්නට දෙයක් නොවූ බව මනීෂා සඳහන් කළා. ඉන්දිය රජය වහාම ක්‍රියාත්මක වී සැලසූ සහන සේවයන්ට තමාගේ ස්තූතිය පුදකර සිටින බව ඇය පැවසුවා.

මනීෂාට මේ විපත දරාගත නොහැකි වුනේ, නේපාලය ඇයගේ උපන් බිම නිසා. ඒ වගේම ඇය නේපාලයේ පළමු අගමැති බී. පී. කොයිරාලගේ මිනිබිරිය යි. මනීෂා වගේම තවත් බොලිවුඩ් තරු රැසකගේ හිත් මෙම සිදුවීම කම්පාවට පත් කළා. අමිතාබ් බච්චන්, රිෂි කපූර්, මධුරි ඩික්සිත් වැනි බොලිවුඩ් තරු නේපාල වැසියන් වෙනුවෙන් කළ ප්‍රාර්ථනා වැකි තම ට්විටර් පිටුවල සටහන් කර තිබුණා.