වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




වීරයන් සියල්ල යළි එකට එක් වේ

වීරයන් සියල්ල යළි එකට එක් වේ

ටෝනි ස්ටාර්ක්ගේ වෑයම උදාසීනව පවතින සාම කටයුතු යළිත් සක්‍රීය කර යහපත් අනාගතයක් ඇති කිරීමයි. නමුත් දුෂ්ඨ ගතිගුණ වලින් පිරි අල්ට්‍රාගේ ආගමනය ඒ සියලු කටයුතු උඩු යටිකුරු කර දමයි. මේ නිසා සුපිරි වීරයත්ගේ එකමුතුව යළි ආරම්භ කරන්නට සිදු වෙයි. අයන් මෑන්, කැප්ටන් අමෙරිකා, තෝර්, හල්ක්, බ්ලැක් විඩෝ, හවේක් එක්ව පෘථිවියේ අවදානම් ඉරණම වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට එක් වෙයි. අල්ට්‍රාගේ දරුණු සැළසුම් වලින් විනාශයට යන පෘථිවිය බේරා ගැනීමට මෙම සුපිරි වීරයන් පැමිණේ. ඔවුහට යළිත් ඒ වෙනුවෙන් ත්‍රාසයෙන් පිරි අභියෝග රැසකට මුහුණ දීමට සිදු වේ. එය Avengers – Age of Ultron ලෙසින් රිදී තිරයෙන් ඔබ හමුවට පැමිණේ.

මාර්වල් ස්ටුඩියෝස් විසින් නිෂ්පාදනය කර වෝල්ට් ඩිස්නි සමාගම විසින් බෙදා හරින Avengers – Age of Ultron චිත්‍රපටය කාටුන ලොවේ වීර චරිත සජීව වන නවතම සිනමා නිර්මාණයයි. එය හෙට (මැයි 01) සිට ලොව පුරා තිරගත කිරීමට නියමිතව ඇත.

මාර්වල් කොමික් යන නම ඇසූ සැණින් අමෙරිකානු සුපිරි වීර චරිත රසිකයන්ට කිසිසේත්ම නුපුරුදු විය නොහැකිය. බොහෝ අමෙරිකානු සුපිරී වීර චරිතයනට පණ ගැන්වීමේ ගෞරවය ඔවුන්ට හිමි වේ. මාවල්ස් ස්ටුඩියෝස් පසුගිය 2008 වසරේ සිට අපූරු කර්ත්‍යවයක නියැළිණි. එනම් මෙම සුපිරි වීර චරිත වෙනුවෙන් සිනමා නිර්මාණ බිහි කිරීමයි. 2008 වසරේදී Iron Man චිත්‍රපටයෙන් ආරම්භ කළ එය The Incredible Hulk, Iron Man 2, Thor, Captain America : The First Avenger, Marvel’s The Avenger, Iron Man 3, Thor ; The Dark World, Captain America ; The Winter Soldier, Guardians of The Galaxy ලෙසින් චිත්‍රපට දහයක් රිදී තිරයට ගෙන ආවේය. ඒ අතරින් Marvel’s The Avenger චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1.518ක ආදායමක් වාර්තා කළේය. එය

2012 වසරේදී තිරගත කෙරිණි. එහි දෙවැනි දිගහැරුම සහ මෙම චිත්‍රපට මාලාවේ එකොළොස් වැන්න වන්නේ AvengersAge of Ultron චිත්‍රපටය යි.

මෙහි ක්‍රියාන්විතයන් සඳහා ද අයන් මෑන්, තෝර්, කැප්ටන් අමෙරිකා, හල්ක්, බ්ලැක් විඩෝ, හවේක් එක් වේ. රොබට් ඩොව්නි, ක්‍රිස් හෙම්ස්වර්ත්, මාර්ක් රෆ්ලෝ, ක්‍රිස් එවන්ස්, ස්කාර්ලට් ජොහැන්සන්, ජෙරමි රැනර්, ඩොන් චෙඩල්, එලිසබෙත් ඕල්සන් මේ සඳහා රංගනයෙන් දායක වෙති.

මිනිත්තු 141ක් පුරා දිවෙන මෙම අපූරු ක්‍රියාන්විතයේ අධ්‍යක්ෂණය සහ රචනය සිදු කර තිබෙන්නේ ජොස් වේඩොන් විසිනි. සංගීතය නිර්මාණය බ්‍රයන් ටේලර් ගේය. මේ සඳහා වැය වී ඇති පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 250කි. එය IMDB දර්ශකයේ ලකුණු දහයෙන් 8.7ක් හිමි කර ගෙන සිටියි. Avengers – Age of Ultron චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් සුපිරි වීරයන් එක්ව ගිම්හානය විචිත්‍රවත් කරනා අපූරු චිත්‍රපටයක් වනු ඇති බවට මත පළ වී ඇත.