වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




බුදවත්තට හැට පහයි තවමත්...

බුදවත්තට හැට පහයි තවමත්...

‘තානා............තනෙන තනම්
තානත් තනෙනත් තම්දන තානත්
තානත් තනෙනත් තම්දන තානත්
තානා ..............තනෙන තනම්’

මියුරු ස්වරයෙන් ගැයෙන උකුසා වන්නමේ ගායන ස්වරයේ හඬ පරදවා ඇසෙන්නේ ගැට බෙරයේ හඬයි. ඈතෙන් ඇසෙන ගැටබෙරයේ බෙරපද මට සිහිපත් කරන්නේ මා කලකට ඉහත ඇසූ උකුසා වන්නමේ තානමයි. එය සිතින් මුමුනමින් මහරගම නගරයේ මහරගම - දෙහිවල ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටි බුදවත්ත රංගායතනයට අපි පිවිසියෙමු.

අක්කර අනූපහක් ඈතට විහිද ගිය බිම් ප්‍රමාණයේ බැලූ බැලූ අත ඇත්තේ ගොඩනැඟිලි රැසකි. මහල් තුනක් තරම් උස් වූ තෙමහල් ගොඩනැඟිල්ල දරුවන් රැසකට නර්තන ශිල්ප ඥානය බෙදා දෙයි. දෙහල් මහලට පිවිසි අපව පිළි ගත්තේ බුදවත්ත නර්තන ආචාර්යතුමාගේ බිරිය නේමාලි ය.

“ මේ ගොඩනැඟිලි සියල්ලම නිර්මාණය වී තිබෙන්නේ යම් අර්ථයක් ඇතිවයි. විශේෂයෙන්ම නර්තනය ශිල්පයක් වශයෙන් ලබා ගන්න පැමිණෙන ශිෂ්‍ය - ශිෂ්‍යයාවන්ට කරදරයක් නැතිව ශිල්පය ලබා ගැනීමට අවශ්‍ය සියලුම දේ මේ ඉඩකඩේ නිර්මාණය වෙලා තිබෙනවා. ඉගෙනුම ලබන පන්ති කාමර වගේම ආපන ශාලාවක් ඇතුළු සියලුම දේ අප නිර්මාණය කර ඇත්තේ ඔවුන් වෙනුවෙන්මයි. ”

දෙවැනි මහලේ සිට වටපිට බැලූ මගේ සිත හැඳීන ගත් ලෙසින්දෝ නේමාලි පැවසුවාය. ඊළඟට ඇය අපව රැගෙන ගියේ සුන්දර ලෙස නිමවන ලද බුදවත්ත සුන්දර නිවහන වෙතට ය.

“ මේතරම් සුන්දර ස්ථානයකුත් මෙතැන තිබෙනවද ? ”

පිටතට නොපෙනෙන බොහෝ දේ ගොඩනැඟිල්ල ඇතුළත තිබෙන වගක් හැඟී ගිය බැවින් මම විමසීමි.

“ අපේ නිවහන කලාපුරයේ පිහිටලා තිබුණත් වැඩිපුරම මගේ මහත්තයා නැවතිලා ඉන්නේ මෙතැනයි. මමත්, ඔහුත් සමඟම මෙතැනම නැවතිලා ඉන්නවා. ඒක අපේ වැඩකටයුතුවලට පහසුවක්. ගෙදර වැඩිපුරම ඉන්නේ මගේ පුතා රංගයි. ඊට අමතරව මගේ නංගිත්, එයාගේ දුවත් එහි නැවතිලා ඉන්නවා. ඒ නිසා මට සිතේ නිදහසේ මෙහෙට වෙලා ඉන්න පුළුවන්. ”

ඈ මෙතැනට වී බුදවත්ත රංගායතනය පාලනය කරන්නේ දක්ෂ අයුරෙනි. නර්තන ඇඳුම් ගබඩා කරන ගබඩාවකින් හා වේදිකාව සහිත රඟහලකින්ද සමන්විත මේ ස්ථානය පාලනය කරන නේමාලි දක්ෂ පරිපාලකවරියකි.

“ ඔබගේ අණසක ද මෙහි ක්‍රියාත්මක වෙන්නේ ? ”

මගේ ප්‍රශ්නයට ඇගේ උවනට පිවිසියේ සිනහවකි.

“ එහෙම වුණේ නැත්නම් මේ තරම් ලස්සනට මෙතැන නඩත්තු කරන්න බැහැ. මම කොහොමත් පිළිවෙළකට ඉන්න කැමැති කෙනෙක්. ඒ නිසා සෑම වැඩක්ම පිළිවෙළකට සිදුවිය යුතුයි. ”

ඇගේ ස්වරය ස්ථිරසාර ය. ඒ අතර අප හමුවට පැමිණෙන්නේ ඔහු ය. ඒ කුලසිරි බුදවත්ත නර්තන ශිල්පියායි. ඔහුගේ සිතේ සතුට ඉහවහ ගිය සෙයකි.

“ ඔබගේ සිතේ රජයන සතුට මොකක්ද?”

“ සිංහල අලුත් අවුරුද්ද ගෙවිලා ගිහින් වැඩි දවසක් නැහැ. අපේ ආයතනයේ ඒ නිමිත්තෙන් සිංහල අලුත් අවුරුදු උත්සවයක් තිබුණා. එය බොහොම අපූරු විදියට සිදුවුණා. සියලුම දේවල් සිදුවුණේ නර්තන විලාශයෙන්. සිංහල අවුරුදු උලෙළක් කියන්නේ මොකක්ද කියලා එහිදි අපූරුවට අර්ථකථනය වුණා. හැමෝම ළමයි එහි නියම අරුත වටහා ගත්තා යැයි මා සිතනවා. මගේ පුතා පවා ඊට සහභාගි වුණා. මොකද ඔහුව ලේසියෙන් ඒ වගේ වැඩකට සහභාගි කර ගන්න බැහැ. ඔහුටත් ඒ උලෙළේ වෙනස අවබෝධ වෙන්න ඇතැයි මා සිතනවා.”

නර්තනයෙන් සියල්ලන්ගේම සිත්ගත් කුලසිරි බුදවත්තයන් නුදුරු දිනෙක සිය ආයතනයේ තිබූ අවුරුදු උත්සවය පිළිබඳ කතාබහ කළේ උද්යෝගයෙනි. මේ උද්යෝගවත් මිනිසාගේ හැටපස්වැනි උපන්දිනය යෙදෙන්නේ මැයි මස 06 වැනිදාට ය.

“ උපන් දිනයට මෙවර විශේෂ වූ යමක් සිදු වෙනවාද ?”

“ උපන් දිනයට කේක් කපලා සතුටු වෙනවා වගේ දේවල් කරන්න මම කැමැති නැහැ. ඒ නිසා මේ අවුරුද්ද අවසානයේදි උඩරට නැටුමේ කෝෂ්ටාගාරය වුණු කොහොඹාකංකාරියක් පවත්වන්නට මම සිතාගෙන සිටිනවා. ඒක ටිකක් කරන්න අමාරු කාර්යයක් තමයි. ඒත් අපේ පාරම්පරික උරුමයක් ලෙස හඳුන්වන මේ නිර්මාණ නිතරම අප ආරක්ෂා කරගත යුතුයි. මන්ද ඒවා අපේ සංස්කෘතික අංග වගේම අපෙන් ගිලිහී යන නිර්මාණ නිසා. මේ කර්තව්‍යයේ තියෙන අනෙක් වැදගත්කම වන්නේ උපන් දිනය මූලික කරගෙන මේ කටයුත්ත කිරීමයි. ඒ වගේම ආයතනයට නර්තනය හැදෑරීමට අවුරුදු පහේ සිට ළමයි පැමිණෙනවා. එමෙන්ම අපේ ආයතනයෙන් ඉගෙන ගෙන විසිර ගිය ළමයි ප්‍රමාණයත් බොහොම විශාලයි. අද වනවිට කොළඹ පාසල්වල උගන්වන ගුරුවරුන්ගෙන් වැඩි පිරිසක් ඉන්නේ මගේ ගෝලයන්.”

ඔහුගෙන් අධ්‍යාපනය ලැබූ බොහෝදෙනා තැනින් තැන නර්තනය උගැන්වීමේ යෙදී සිටියි. ඒ අයට උදව් කරන ගුරුතුමෙක් වන කුලසිරි බුදවත්ත ඒ අයගේ දියුණුවට සුබ පතන්නේ සැබෑ ස්නේහයෙනි.

“ඔවුන් ඔබ සමඟ සුහදයි ”

“ ඔවුන් බොහෝදෙනා මා සමඟ නිතරම කතාබහ කරනවා. අවුරුද්දට එහෙම බුලත් දීලා වැඳලා යනවා. මම හිතන්නේ මට මෙතෙක් මොන සම්මානය නොලැබුණත් දක්ෂ දරුවන් රැසක් සමාජයට දායාද කිරීම නිසා සමාජයෙන් ලැබෙන සම්මානයම සැනසෙන්න ඇති කියලා සිතෙනවා. ඒ ඔස්සේ මගේ සිතේ ඇතිවන සතුට ඒ හැමදෙයටම වඩා වැදගත්.”

ඔහු පවසන දෙයට ඌණ පූර්ණයක් එකතු කරන නේමාලි සම්මාන පිළිබඳ තවත් කතාවක් හෙළි කළාය.

“ ඔවුන් අපට සමහර සම්මාන දෙන්න හදන්නේ අප කළ දේවල් ගැන අපෙන්ම ලියව ගෙනයි. අපි කවුද? මේ වනතෙක් කරලා තියෙන්නේ මොනවද? කියලා හොයන්නේවත් නැතිව ඒ දෙන සම්මාන කොයිතරම් වැදගත්ද කියලා අපට නම් ඇති වෙන්නේ ප්‍රශ්නයක්. අනෙක් කාරණය තමයි යම් කලා කරුවෙක්, කෙනෙක් ඇගයීමට ලක් කළ යුත්තේ ඔහු මිය යන්නට පෙරයි. එවිටයි එහි වැදගත්කම වඩාත් වැඩි වන්නේ. ”

දක්ෂ නර්තන ශිල්පීන්, ශිල්පිනියන් රාශියක් දැයට දායාද කර ඇති බුදවත්ත නර්තනාචාර්යතුමාට අද වනතුරුත් කිසිම සම්මානයක් ලැබී නොමැත. එහෙත් තවමත් ඔහු නර්තනයේ නියැළෙන්නේ ඊට බෙහෙවින් ආදරය කරන බැවිනි.

“ නර්තනය කියන්නේ ඔබගේ ජීවිතය වගෙයි නේද ? ”

“ ඔව්. මම එහි නියැළෙන්නේ කුඩා අවධියේ ඉදලා. තාත්තාගෙන් මට ලැබුණු දායාදයක් වුණු මේ නර්තන ශිල්පයට මම උපරිමයෙන් ගෞරව කරනවා. අදටත් බෙරහඬක් ඇහෙන විට මට නිකම් ඉන්න බැහැ. ඉබේටම වගේ නැටවෙනවා. ඒ ඡවය, ශක්තිය තවමත් මා ළඟ තියෙනවා. වරදකට තියෙන්නේ තරමක් අසනීප තත්ත්වයෙන් ඉන්න නිසා සමබරතාවේ තියෙන අඩුවයි. ඒත් හොඳ බෙරහඬක් ඇහෙන විට නම් මට ඉබේටම වගේ සමබරතාව ඇති වෙනවා. ”

ඔහු පවසන්නේ සිනහ මුසු මුහුණෙනි. ඒ අතර ඔහු අපගෙන් සමු ගනියි. ඒ සමුගැනීමෙන් පසුව අප සමඟ කතාබහට සහභාගි වන නේමාලි තම සැමියාගේ උපන්දිනය වෙනුවෙන් කුමක් සූදානම් කර ඇත්දැයි පවසන්නේ ව්‍යංගයෙනි.

“ මමත්, සර්ගේ ගෝලයන් සියලු දෙනාමත් එකතු වී ඔහු වෙනුවෙන් උත්සවයක් සූදානම් කරලා තිබෙනවා. එහිදි ඔහුට ශිල්පය දුන් ආචාර්යවරුන්ගේ පින්තූර එළි දැක්වීමක් සූදානම් කරලා තිබෙනවා. එදාට සිදුවන අනෙක් කාර්ය නම් රහසක්.”

කුලසිරි බුදවත්ත නම් පාරම්පරික නර්තන ශිල්පියා සිය නර්තන පන්ති ආරම්භ කරන ලද්දේ ටවර් හෝල් රඟහල පදනමෙනි. එහි මුල්ම ශිෂ්‍යයාව වූයේ නිළි රැජන මාලිනී ෆොන්සේකායි. ඊට අමතරව නයනි මහේෂිකා, ජගත් චමිල, සුරාජ් මාපා, මංජුලා කුමාරි ඇතුළු බොහෝ කලාකරුවෝ පිරිසක් ඔහුගෙන් නර්තනය හැදෑරූ අය වෙති. ඔහුගේ ජීවිතයට පහනක් වන නේමාලි ද නර්තන ශිල්පිනියකි. ඇය සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ දරු - දැරියන්ට නර්තන ශිල්පය ලබාදෙන ගුරුවරියකි.

“ඔබගේ රංගායතනයේ දරු - දැරියන් පුරුදු පුහුණු කරන්නේ යම් විනය නීති මාලාවකටද?”

“මේ ශිල්පය ප්‍රගුණ කරලයි අප දෙදෙනා නර්තනය උගන්වන්න යොමු වන්නේ. පන්තිවලදි වුණත් ඒ දරු - දැරියන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට අපි බොහොම මහන්සි ගත්තා. ඒ අනුව දීර්ඝ කාලයක් කළ අධ්‍යාපන කටයුතුවලින් පස්සේ මේ ළමයි සංදර්ශනයක් කරන්න සුදුසුයි කියලා හැඟුණ නිසාම සංදර්ශන පැවැත්වුවා. ඒ සඳහා දිගුකාලයක් ගියා. අනෙක් කාරණය තමයි සංදර්ශනවල නර්තනයේ යෙදුණු පමණින් නර්තන ශිල්පිනියක් වන්නට නොහැකියි. මේ නිසා අපේ ආයතනයට පිවිසෙන අය ශිල්පය ලබාදෙන පන්තියටත්, සංදර්ශන පන්තියටත් අනිවාර්යයෙන්ම සහභාගි විය යුතුයි. මේ වනවිට අපෙන් ශිල්පය ලබාගෙන එය දිගුකාලීනව අධ්‍යයනය කරමින් මේ ක්ෂේත්‍රයට යමක් කරන චන්දන, උපේක්ඛා වගේ අය ගැන අපි ඇත්තටම ආඩම්බර වෙනවා. ”

ඔවුන් දෙදෙනාගේ අනාගත බලාපොරොත්තුව රංගන රන්සිලු බුදවත්තයි. උසස් අධ්‍යාපනය ලබමින් ගුවන් නියමුවෙක් වීමේ අදහසින් සිටින ඔහු නර්තනයට ද උපන් හපනෙකි. බෙර වාදනයට දක්ෂයෙකි. බුදවත්ත රංගායතනයේ නර්තන නිර්මාණ ශිල්පියා ඔහුයි.

“ නමුත් ඔහු වැඩිය කරළියේ දකින්නට ලැබෙන්නේ නැහැ ”

“ පුතාට දැන් තියෙන තරගයත් එක්ක ඔට්ටු අල්ලන්න ඕනකමක් නැහැ. අපේ දේවල් රැක ගනිමින් හෙමින් ගමනක් යන්නයි ඔහුට ඕනෑ වී තිබෙන්නේ. ඒ නිසා ඔහු පිළිබඳ අපට දැනෙන්නේ ආඩම්බරයක්. ”

කුලසිරි බුදවත්තට ක්ෂේත්‍රයේ අපූරු නමක් පට බැඳීණි. ඒ ‘ෆ්ලයින් බුදවත්ත’ නමිනි. ඒ ඔහු කරණම් ගසන විට අනෙක් නර්තන ශිල්පීන්ට වඩා ඉහළින් ගුවන්තලයේ පාවෙන සෙයක් දිස්වන අපූරුවයි. එවැනි විකුමන් පෑ ඔහුට මේ එළැඹෙන උපන් දිනයේ දී දීර්ඝායුෂ ලැබේවා යැයි ‘ සරසවිය’ අපි ප්‍රාර්ථනා ගෙන එමු.