වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




මෝනෙ මගේ සුදු නෝනේ පස්සට ගිහින්

නෝනෙ මගේ සුදු නෝනේ පස්සට ගිහින්

එරංග සේනාරත්නගේ නෝනෙ මගේ සුදු නෝනේ සිනමාපටය තිරගත වන්නට නියමිතව තිබුණේ මෙම වසරේ මාර්තු මාසයේදී. නමුත් ඒ වෙනුවට එම මණ්ඩලයේ තිරගත වූයේ වෙනත් සිනමාපටයකි. පසුගිය දිනක එරංග හමු වූ මොහොතක ඔහුගෙන් මේ පිළිබඳ අපි විමසුවෙමු.

චිත්‍රපටය ටිකක් පස්සට ගියා මල්ලි.

ඔහු කීය.

ඒ මොකෝ?

ප්‍රධානම හේතුව අවිධිමත් ප්‍රදර්ශන ක්‍රියාපටිපාටිය. අධ්‍යක්ෂවරු වශයෙන් අපට කරබාගෙන ඉන්න වෙලා තියෙනවා මේ තත්වය මත. ඒක තමයි මට දැනට දෙන්න තියෙන පුළුවන් පිළිතුර.

එරංග වැඩිදුරටත් පැවසුවේ ගින්දරී සිනමාපටයෙන් අනතුරුව නෝනේ මගෙ සුදු නෝනේ සිනනමාහල්වලට පැමිණෙන බවයි.

ආදරේ කරන්න වයස බාධාවක් නැහැ යන්න තේමාව කර ගනිමින් නිර්මාණය වූ නෝනේ මගෙ සුදු නෝනේ හි විල්සන් ගුණරත්න, මිහිර සිරිතිලක, මහින්ද පතිරගේ, අනූෂා දමයන්ති, සංජුල දිවාරත්න, සංජු රොඩ්රිගෝ, දයාසිරි හෙට්ටිආරච්චි, මානෙල් චන්ද්‍රලතා, ධම්මික පුෂ්පකුමාර, දිලිනි පෙරේරා චරිත මවති.

නිශාන් ප්‍රනාන්දුගේ කැමරා අධ්‍යක්ෂණයකි. අංග රචනයෙන් පුෂ්ප කුමාර බණ්ඩාරගම එකතු විය. සංඛ පීරිස්ගේ නැටුම් නිර්මාණයකි. ලොයිඩ් ජානක නිෂ්පාදක කළමනාකරුය. මහේෂ් ඉන්දිකගේ සහාය අධ්‍යක්ෂණයකි. ලස්සන ජයසේකර පසුබිම් සංගීතයද, එච්. එස්. පෙරේරා ගීත රචනයෙන්ද, ගාමිණී සුසිරිවර්ධන, මාලා භාරතී, සුරාජ් ශ්‍යාමලී හා උවිඳු රවිශාන් ගායනයෙන් ද මේ හා එක් වෙති.

නෝනෙ මගෙ සුදු නෝනේ ශ්‍රීජය සිනෙරු හී ඉදිරිපත් කිරීමකි.