වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




බච්චන් පවුලේ වගතුග මෙහෙමයි

බච්චන් පවුලේ වගතුග මෙහෙමයි

කපූර් පවුලත් සමඟ සබඳතාවන්

හින්දි සිනමාවේ පවුල් ගස් සොයා යන සරසවිය අද ගෙන එන්නේ ඉන්දියාවේ සුප්‍රසිද්ධ තවත් සිනමා තරු පවුලක තොරතුරුයි. ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා ප්‍රසිද්ධ මෙම සිනමා තරු පවුලේ බොහෝ දෙනා රංගනයෙන් බොලිවුඩ් නිර්මාණ රැසක් ඔපවත් කරන්නට දායක විය. බච්චන් පවුල යැයි පැවසුවහොත් නොදන්නා කෙනෙකු නොමැති තරම්ය.

බච්චන් පවුලේ අමිතාබ්, ජයා, අභිෂේක් සහ ඓශ්වර්යා ඉන්දීය සිනමාවේ ඉහළින් සිටින රංගන තරු වේ. වරෙක අමෙරිකාවේ සුප්‍රසිද්ධ ටයිම්ස් සඟරාව පැවසූයේ අමිතාබ් මෙන්ම ඓශ්වර්යා ද වඩාත්ම ආකර්ෂණීය ඉන්දියානුවන් ලෙසනි. කලා ක්ෂේත්‍රය සමඟින් බච්චන් පවුලේ ආරම්භය සනිටුහන් කරන්නේ අමිතාබ්ගේ පියා හරිවන්ශ් රායි බච්චන් විසිනි.

හරිවන්ශ් රායි බච්චන් ඉන්දියාවේ ප්‍රසිද්ධ කවියෙකි. ඔහුගේ පෙළපත් නාමය ශ්‍රිවාස්තව වුව ද කාව්‍ය රචනයේදී හරිවන්ශ් භාවිත කළේ බච්චන් යන නාමයයි. 'දරුවෙකු වැනි' යන්න එහි අර්ථයයි. හර්වන්ශ් හට පුතුන් දෙදෙනෙකු විය. වැඩිමලා අමිතාබ් වූ අතර දෙවැන්නා අජිතාබ්ය. හරිවන්ශ් දෙවරක් විවාහ විය. ප්‍රථම විවාහය 1926 වසරේදී ශ්‍යාමා නම් තරුණිය සමඟ සිදු කෙරිණි. එවිට ඇයගේ වයස අවුරුදු දහ හතරක් විය. හරිවන්ශ් හට අවුරුදු 19 කි. නමුත් ශ්‍යාමාගේ ආයු කාලය කෙටි විය. ඇයගේ වයස අවුරුදු 24 දී ඇයගේ මරණය සිදු විය.

අනතුරුව හරිවන්ශ් 1941 වසරේදී තේජි බච්චන් සමඟ විවාහ දිවියට ඇතුළත් විය. අමිතාබ් සහ අජිතාබ් හරිවන්ශ් සහ තෙජිගේ පුතුන්ය. බොලිවුඩයේ සුපිරිතම තරුව බිග් බි හෙවත් අමිතාබ් ඉන්දීය සිනමාවේ සළකුනක් බඳුය. හැටේ දශකයේ අග භාගයේදී සිනමාවට පිවිසි ඔහු හැත්තෑව දශකයේ දී ඉහළ ජනප්‍රියත්වයක් ළඟා කර ගත්තේය. 'කේන්තිකාර තරුණයා' යන අන්වර්ථ නාමය ද ඔහුට පබැඳිණි. 1969 වසරේ තිරගත වු Saath Hindustani  චිත්‍රපටය ඔහුගේ පළමු චිත්‍රපටය විය. 1973 වසරේ තිරගත වූ Zanjeer  සහ 1975 වසරේ තිරගත වූ Deewa චිත්‍රපටවල රංගනයෙන් ඔහු ජනතාව අතර කතාබහට ලක් විය.

අමිතාබ්ගේ දශක හතරක සිනමා දිවියේ චිත්‍රපට දෙසීයකට ආසන්න සංඛ්‍යාවකට සිය දායකත්වය ලබා දෙමින් තවමත් බොලිවුඩ් රිදී තිරයේ ජනප්‍රියම තරුව ලෙසින් දිදුලයි. ඔහු රංගන දිවියේ සම්මාන රැසකට පාත්‍ර වූ චරිතයකි. ෆිල්ම් ෆෙයාර් සම්මාන 14 ක් ඇතුළුව ජාතික සම්මාන රැසකට පාත්‍රව සිටියි. ඉන්දීය රජය විසින් 1984 වසරේදී අමිතාබ් හට පද්ම ශ්‍රී සම්මානය පිරිනමන ලදී. 2001 වසරේදී පද්ම භූෂන් සම්මානයෙන් පුද ලද ඔහු පසුගියදා පද්ම විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූයේ කලාව වෙනුවෙන් කළා වූ සේවය වෙනුවෙනි. රංගනයට අමතරව පසුබිම් ගායකයෙකු ලෙස රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී බිග් බී කැපී පෙනෙයි. පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගවලියේදී ඉන්දු - පාකිස්ථාන තරගයේ විස්තර විචාරය කරමින් ක්‍රිකට් විස්තර විචාරයට ද ඔහුගේ දායකත්වය ලැබුණි. බොහොම ගාම්භීර අයුරින් ඉන්දීය සිනමාවේ වැජඹෙන මේ රංගධරයා දැන් ගෙවන්නේ ජීවන ගමනේ හැත්තෑ දෙවැනි කඩඉමයි.

ජයා බහදුරි අමිතාබ්ගේ සෙවනැල්ල මෙන් ඔහු පසුපස සිටින ශ්‍රේෂ්ඨ කාන්තාවයි. සැබෑ ජීවිතයේ මෙන්ම රිදී තිරයේ ද ජයා අමිතාබ් හට වසර ගණනක් පුරා බිරිඳක වූවාය. 1963 වසරේදී සත්‍යජිත් රායිගේ  Mahanagai චිත්‍රපටයෙන් සිනමා දිවිය ආරම්භ කළ ජයා මේ දක්වා සිනමා නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දුන්නාය. 1971 වසරේදී දායක වූ Guddi  චිත්‍රපටයේ රංගනය ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙසින් නිර්දේශ නාම අතරට එක් වූවාය.  Zanjeer, Abhiman, Chupke Chupke, Mili, Sholay චිත්‍රපටවල ජයා අමිතාබ් සමඟින් කළ රංගනයට ඉහළ ජනප්‍රියත්වයක් හිමි විය. ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස තෙවරක් සම්මානනීය වූ ඇය 1992 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවාය.

බච්චන් පවුල ඉන්දියාවේ පැරැණිම සුප්‍රසිද්ධ ප්‍රිතිවිරාජ් කපූර්ගෙන් පැවැත එන කපූර් පෙළපත සමඟ ඥාති සබඳතාවයක් ගොඩ නැංවීය. ඒ බච්චන් පවුලේ එකම දියණිය නිසාවෙනි. අමිතාබ් - ජයා යුවලගේ දියණිය ස්වේතාගේ විවාහය සිදු වූයේ රාජ් කපූර්ගේ දියණිය රිතුගේ පුත්‍රයා වන නිඛිල් නන්දා සමඟිනි. නිකිල් ඉන්දියාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වේ. ස්වේතා - නිකිල් යුවලගේ දියණිය නව්‍යා නවේලි නන්දාය. පුත්‍රයා අගස්ත්‍යා නන්දාය. බච්චන් පවුලේ කලා පසුබිමක් තිබුණ ද, අමිතාබ් දියණිය ස්වේතා සිනමාවට සම්බන්ධ නොවීය.

අමිතාබ් පුත්‍ර අභිෂෙක් බච්චන් ද බොලිවුඩයේ රංගන ක්ෂේත්‍රයේ තම නම ඉහළින් රැන්දූ නළුවෙක් බවට පත් විය. තම පියා සහ මවගේ ආභාෂයෙන් සිනමාවට පිවිසි ඔහුගේ ප්‍රථම රංගනය 2000 වසරේදී තිරගත වූ Refugee  චිත්‍රපටයේ සනිටුහන් විය. අභිෂේක් රංගනයෙන් දායක වූ ක්‍රියාදාම චිත්‍රපට මාලාවක් වන Dhoom  බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත විය. ඊට අමතරව Bunty Aur Babli, Kabhi Alvida Naa Kehena, Guru  චිත්‍රපට ද වාණිජමය අතින් සාර්ථක විය. අමිතාබ් සහ අභිෂේක් නිෂ්පාදනය කළ Paa  චිත්‍රපටය බච්චන් පවුලේ විශේෂ චිත්‍රපටයක් විය. එහි අභිෂේක්ගේ පුත්‍රයාගේ චරිතයට පණ පෙවූයේ අමිතාබ් විසිනි. එහි පිය පුතු සුසංයෝගය කා අතරත් කතාබහට ලක් වූ විශේෂ කාරණවක් විණි. ඉන්දීය ජාතික සම්මාන උළෙලේ දී එය හොඳම චිත්‍රපටය ලෙසින් ද සම්මාන ලැබීය.

සුරූපී ඓශ්වර්යා බච්චන් පවුලට වාසනාව රැගෙන ආ ආදරණීය ලේලියයි. 1994 වසරේදී ලෝක රූ රැජන ලෙසින් කිරුළු පැළැඳි ඓශ් සිනමාවට සම්බන්ධ වන්නේ 1997 වසරේදීය. ඒ මනි රත්නම්ගේ Iruvar නම් දෙමළ චිත්‍රපටයෙනි. 97 වසරේදීම තිරගත වූ Aur Pyaar Ho Gaya චිත්‍රපටයෙන් ඇය බොලිවුඩයට ද සම්බන්ධ වූවාය. සන්ජේ ගාධිව් අධ්‍යක්ෂණය කළ  Dhoom 2, මනි රත්නම් අධ්‍යක්ෂණය කළ Gur චිත්‍රපටවල ඓශ්වර්යා අභිෂේක් සමඟින් රංගනයට දායක වීම ඓශ්ට මෙන්ම අභිෂේක්ට පෙම් බැඳි රසික රසිකාවන් ඉතා ආදරයෙන් වැළඳ ගත්තේය. The Last Legion, The Pink Panther 2 වැනි හොලිවුඩ් නිර්මාණ ද ඓශ්ගේ රංගනයෙන් ඔපවත් විය.

2010 වසරේදී Guzaarish චිත්‍රපටයෙන් පසු ඇය සිනමාවෙන් ඈත් වීම රසික හදවත් ශෝකයට පත් කළ ද 2011 වසරේදී ආරාධ්‍යාගේ උපත සමඟින් සැමට සතුට බෙදුවාය. ආරාධ්‍යා බච්චන් පවුල හැඩ කළ පුංචි සුරංගනාවියයි. මේ පුංචි සිඟිත්තිය මව් කුස පිළිසිඳ ගත් දා සිටම පුවත් මවන්නියක වූවාය. දැන් ඇයට වයස අවුරුදු තුනකි.

කපූර් පවුල සමඟින් වූ බච්චන් පවුලේ සබඳකම තව තවත් සවිමත් විය. ඒ ශෂි කපූර්ගේ පුත්‍රයා වන කුනාල් කපූර් සහ අමිතාබ්ගේ සොයුරු අජිතාබ්ගේ දියණිය නයිනා බච්චන් නිසාවෙනි. පසුගියදා කුනාල් නයිනා සමඟින් විවාහ ගිවිස ගත්තේය. මේ නිසා බොලිවුඩයේ සුප්‍රකට පවුල් ගස් දෙකක් සුන්දර බැඳීම් දෙකකින් එකට බැඳී සිටියි.