වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ නැළවිලි ගී මමයි කියන්නේ

ඒ නැළවිලි ගී මමයි කියන්නේ

සුදු නංගී ගැන අලුත් ආරංචියක්

ඔබ බෙහෙවින් ආදරය කරන සුදු නංගි හෙවත් අයෝමි ශානිකා මව්පදවිය ලැබුවා කියලා අපට ආරංචි වුණා. සමනලියක් වගේ දඟකරමින් උන්න මේ කෙල්ලගේ කාලයක පටන් සිතේ තිබුණු සිහිනයක් සැබෑවුණු මේ සුන්දර අවස්ථාවේ ඇය ලැබූ නැවුම් අත්දැකීම් පිළිබඳ අහන්නටත්, ඇගේ සැප දුක හොයන්නටත් අපි ඇයට කතා කළා.

* ඔබ මව් පදවිය ලැබුවේ කවද ද?

මාර්තු මාසයේ 06 වැනිදා තමයි මම වසර කිහිපයක සිට බලාගෙන සිටිය ඒ සොඳුරු දිනය උදාවුණේ. කොළඹ පෞද්ගලික රෝහලකදි පුතා අපි අතරට ආවා. මැයි හය වැනිදාට මගේ චූටි පැටියට මාස දෙකක්.

* දඟකාර යුවතියක් මවකගේ භූමිකාවට පිවිසීම කියන නැවුම් අත්දැකීම ලැබුව මොහොත ගැන යමක් කියමුද?

මුලින්ම ස්කෑන් කරලා තමන්ගේ කුසේ ඉන්න දරුවා ගැන දැන ගත්තත් එයාගේ මුහුණ දකිනතුරු සිතේ තරමක චකිතයක් නොතිබුණා නෙවෙයි. ඒ සියල්ලම නැතිව ගියේ පුතාගේ මුහුණ දැක්කාට පස්සේ.

* ඔබට ඒ අවස්ථාවට මුහුණ දෙනවිට යම් බයක් හිතේ තිබුණද ?

මම කලින්ම සැලසුම් කරලා තිබුණේ පුතාව සිසේරියන් සැත්කමකින් ලබා ගන්නයි. ඒක ඒ විදියටම වුණා. සැත්කම කරන අවස්ථාවේ මට හොඳට සිහිය තිබුණා. දොස්තරවරු මමත් සමඟ කතාබහ කරමින් මගේ සිතේ තිබුණු බිය නැති කරමින් පුතාව මේ ලෝකයට අරගෙන ආවා.

* පුතාගේ හැඬුම ඇසුණු ඒ මොහොතේ ඔබගේ සිතට ආවේ මොන වගේ හැඟීමක් ද ?

ඇත්තටම ඒ මොහොතේ ඇතිවුණු හැඟීම ගැන වචනයට පෙරළන්න තරම් හෝඩියේ වචන තියෙනවද කියලා මට සිතා ගන්නත් බැහැ. දොස්තර මහත්වරු පුතාව අරගෙන මගේ මුහුණ මතින් තිබ්බට පස්සේ මගේ ඇස් දෙකෙන් කඳුළු ගැලුව බව මට මතකයි. ඒක බොහොම අපූරු හැඟීමක්.

* චින්තකත් සිටියේ ඔබ අසලමද?

ඔව්. එයා සිටියෙත් මා අසලමයි. මම හිතන්නේ මම අම්මා කෙනෙක් වෙනවා කියන හැඟීම ලබන මොහොතේම එයත් තාත්තා කෙනෙක් බවට පත්වුණා.

* පුතා නිතරම ඉන්නේ අවදි වෙලාද?

අපි ලැබුව අත්දැකීම් අලුත් නිසාත්, එයාටත් මේ පරිසරය අලුත් නිසාත් නිතරම වගේ වැඩිහිටියන්ගෙන්, යහළු මිත්‍රදීන්ගෙන් උපදෙස් ගත්තා. උදේට වගේම රාති‍්‍රයටත් නිතරම පුතා ඉන්නේ අවදි වෙලා. එහෙම වුණාට පස්සේ අපිත් අවදියෙන් සිටිය යුතුයි. එයා නිදා ගන්නේ බොහොම ටික වෙලාවයි. ඊළඟ තත්පර කිහිපයේ බලද්දි එයා අවදි වෙලා.

* චින්තකත් අවදියෙන් ද ඉන්නේ?

අපි දෙන්නා මාරුවෙන් මාරුවටයි නිදි මරන්නේ. මුලදි නම් දෙන්නත් එක්කම අවදි වෙලා සිටියා. මේ වනවිට නම් දහවල් දවසේ ඉඳලා තරමක් රෑ වනතුරු චින්තක අවදි වී ඉන්නවා. ඊට පස්සේ නිදියනවා. මම තමයි රෑට අවදි වී ඉන්නේ.

* දැන් අවදි වෙලා ඉන්න එක පුරුද්දට ගිහින් ද?

ඇත්තටම ඔව්. පුතා නිසාම දැන් දවසේම අවදි වෙලා ඉන්න එක අමාරු කාර්යයක් නෙවෙයි. ඒක ඉතිං අපේ පුතාට තියෙන ආදරය නිසාමයි හුරුවුණේ.

* ඔබ දොස්තරවරියක් නිසා වැඩිහිටියන්ගේ උපදෙස් අවශ්‍ය වුණාද?

මම දොස්තරවරියක් වුණත් මේ ලැබුව අත්දැකීම අලුත් නේ. ඒ නිසා වැඩිහිටියන්ගෙන් විතරක් නෙවෙයි මේ අත්දැකීම ලැබූ සියලුදෙනාටම අපි කතා කළා. මුලින්ම අපට තේරුම් ගන්න බැරිව ගියා පුතා අඬන්නේ බඩගින්නටද? වෙනත් අසනීපයකටද කියලා. ඒ නිසා මගේ හිතවත් වෛද්‍යවරියන්ට මට නිතරම වගේ කරදර කරන්නට සිද්ධ වුණා.

* පුතාට නමක් දැම්ම ද?

අපි ටික දවසක ඉඳලා නමක් සොය සොයා තමයි සිටියේ. ඒ සඳහා උදව් කළේ ශී‍්‍ර නිමල් පද්ම කුමාර මහත්තයා. ඔහු තමයි පුතාට ලස්සන නමක් තිබ්බේ. ඒ නම තමයි අභිරු ඉඳුසර දොළපිහිල්ල. ඊට පස්සේ නමේ ගුණ දොස් බලලා ඒ කටයුතුවලට උදව් කළේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්තයා හා ඔහුගේ යහළුවෙක් වුණු පෙරේරා මහත්තයා. ඔවුන් තිදෙනාම මේ අවස්ථාවේ මතක් කළ යුතුයි.

* පුතාගේ නමේ අර්ථය කුමක් ද?

අභිරු කියන්නේ එඩිතර බව හා ප්‍රධානත්වයයි. ඉඳුසර කියන්නේ හිරුගේ රශ්මිය යන්නයි. හිරුගේ රශ්මියෙන් මුල්තැන ගන්නා කියන අදහසයි පුතාගේ නමේ තේරුම වෙන්නේ. අපේ වෙඩින් එකේ තීම් එක වුණෙත් හිරුයි. හරිම පුදුමයි පුතාගේ නම තියන්නට අපට සිදු වුණෙත් හිරු සම්බන්ධ කරගෙනයි. ඒක අපේ ජීවිතයට හිමිවුණු විශේෂත්වයක්. ඒ වගේම අනෙක් විශේෂත්වය වන්නේ මට උවමනා වුණේ පුතා ඉපදෙන්නටත් කලින් මගේ නමේ මුල් අකුරෙන් නම තියන්නයි. ඒ අදහසත් ඉෂ්ට වීම පිළිබඳ මට තියෙන්නේ සතුටක්.

* පුතාව නාවන්න ඔබට හොඳට පුළුවන්ද?

මමත් පුරුදු වුණා. ඒ කටයුත්ත මටත් වඩා වගකීමෙන් කරන්නේ චින්තක තමයි. මුල්ම දවසේ නම් චින්තකගේ තාත්තා පුතාව නෑව්වා. ඒ අතර නැන්දා කෙනෙක් පුතාව නෑව්වා. දැන් නම් ඉතිං චින්තකම තමයි පුතාව නාවන්නේ. මමත් එයාට උදව් වෙනවා.

* ඔබ පුතා ලැබෙන්න පෙර පොතපතින් හා ලිපි කියැවීමෙන් ලබාගත් දේ පුතා ලැබීමෙන් පස්සේ අවශ්‍ය වුණාද?

ඇත්තම කිව්වොත් මම ගොඩක් පොත්පත්, ලිපි එහෙම කියෙව්වා. ඒත් කියැවීම හා ප්‍රායෝගික බව කියන්නේ පරස්පර විරෝධී කාරණා දෙකක්. ඒත් ප්‍රායෝගිකව කටයුතු කරන්න ගියාට පසුවයි හැඟෙන්නේ තවත් කොයිතරම් දේවල් තියෙනවද ඉගෙන ගන්න කියලා. කුළුඳුල් මවකගේ දරු ප්‍රසූතියේ දී ඇතිවන විවිධ තත්ත්වයත් එක්ක මවක් ඉන්නේ මානසික අරගලයකයි. එවිට ඇයගේ නියම මානසික තත්ත්වය අවබෝධ කරගෙන අනෙක් අය ඇයට උදව් කළ යුතු බව මා පවසනවා. ඒ පණිවුඩය මා හැමෝටම ලබා දෙන්නේ මා ලැබූ අත්දැකීම් සමඟයි. මවක් වීමට සිටින කෙනෙක් දරුවා ලැබීමට පෙර ශාරීරික මෙන්ම මානසිකවද සූදානම් විය යුතුයි.

* පුතා කවුරු වගේද?

මුලින්ම මොන දේ කළත් චින්තක වඩාත් බලාපොරොත්තු වුණේ පුතෙකුටයි. ඒ බලාපොරොත්තුව ඉටුවුණා. අභිරු පුතා දැනට අපි දෙන්නගේම සංකලනයක්. පසුවයි හරියටම කවුරු වගේද කියලා කියන්න වෙන්නේ.

* පුතා ගැන අනාගත බලාපොරොත්තු මේ වනවිටත් ගොඩනගලා ද තියෙන්නේ?

අපේ එකම අදහස පුතාව හොඳ මනුස්සයෙක් කිරීමයි. අධ්‍යාපනය ලබාදීලා විතරක් නොවෙයි හොඳ සෞන්දර්යය රස විඳීමක් මගින් යහපත් අයකු කිරීමයි. මොකද කොයිතරම් පුතා අධ්‍යපනයක් ලබාගෙන ඉහළට ගියත් සංවේදී හිතක් නැති ළමයෙක් වුණොත් කවුරු වුණත් අපට වැඩක් නැහැ. ඒ නිසා පුතාව සෞන්දර්යනේ පිරිපුන් මිනිසකු කිරීම අපේ අරමුණයි.

* පුතාව නළවන්න නැළවිලි ගී කියන්නේ සුදු නංගිද? චින්තක ද?

ඇත්තටම ඒ ගැන කියන්නම ඕනෑ. නැළවිලි ගී කියලා නළවන්නේ චින්තක තමයි. ඒ නැළවිලි ගී පුතා හොඳට අහගෙන ඉන්නවා. ඒ වගේම චින්තකගේ අම්මාත් සමඟත් පුතා බොහොම යාළුයි. වැඩිපුරම පුතාගේ භාෂාවෙන් කතා කරන්නේ අම්මත් සමඟයි.

* මේ කටයුතුත් සමඟ ඔබ ආරම්භ කළ වෛද්‍ය කටයුතු කෙරෙනව ද?

ඇත්තෙන්ම කිව්වොත් ඒ ගැනත් සඳහන් කළ යුතුයි. ඒ කටයුතු පුතා ඉපදුණත් නවත්වන්න විදියක් නැහැ. මගෙන් වෛද්‍ය සේවය බලාපොරොත්තු වන අය පිරිසක් ඉන්නවා. ඒ අයට තවමත් මම ඒ යුතුකම ඉටු කරනවා. ඒ වගේම තවත් යමක් සඳහන් කළ යුතුයි. ඩී.එස්.සේනානායක මාවතේ පිහිටි ඩොලායෝ කියන මගේ දේශීය වෛද්‍ය ආයතනයේ චර්ම රෝග ඇතුළු රූපලාවන්‍ය කටයුතුත්, අධිරුධිර පීඩනය, මදසරුබව ඇතුළු රෝගවලටත් මා ප්‍රතිකාර කරනවා.

ද ප්‍රතිකාර සඳහා ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොම ද?

ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර නම් බොහොම අපූරුයි. දේශීය වගේම විදේශීය වශයෙනුත් මගෙන් ප්‍රතිකාර ලබා ගන්න අය එනවා. රෝග අවසන් වීමෙන් පස්සේ ඔවුන් පින් දෙන ආකාරය දැක්කම ඒ සියලු දේ මගේ පුතාටත් ලැබෙන බව මා දන්නවා.