වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




දෙහදක් එක්වන සුන්දර දිනය අදයි

දෙහදක් එක්වන සුන්දර දිනය අදයි

විශ්ව සහ එරන්දි අද යුග දිවියට

එරන්දිගේ තාත්තා විසින් හමුවීමට ලබා දුන් දිනය පැමිණෙන තෙක් විශ්ව බලා උන්නේ නො ඉවසිල්ලෙනි. දින කිහිපයකට පසුව නුවර ගෙදර බලා ගිය හෙතෙම තමාට අහම්බෙන් හමු වූ අවිහිංසක රුවැත්තිය මෙන්ම ප්‍රේමණීය සිතැත්තිය පිළිබඳ සවිස්තරය නැවත නැවතත් අම්මා හමුවේ තැබුවේ සතුට ඉහවහා ගිය සිතිනි. තව දින දෙකකින් තමන් පළමුවරට ප්‍රේමයක් සම්බන්ධයෙන් වැදගත් සාකච්ඡාවකට යා යුතු බව විශ්වගේ යටි සිත විටින් විට මෙනෙහි කළේය.

රාත්‍රී දෙකක් ගෙවී ගොස් බලාපොරොත්තුවේ සුවදායී උදෑසන උදා වූයේය. තෙරුවන් නමැද ආශිර්වාද ලබාගත් විශ්ව අම්මාට මෙන්ම තාත්තාට ද දුරකථනයෙන් අමතා ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව තමාගේ හිතේ ප්‍රේමණීයම සිතුවම ඇඳි ඇයට ඇමතූ විශ්ව ගමන ඇරැඹුවේය. දෙල්කඳ පසු කොට එරන්දිගේ නිවෙසට පැමිණෙන පටු මඟට වාහනය හරවනවාත් සමඟම විශ්වට දැනුණේ පිටාර ගලන තිගැස්මකි. ඉන් පළමුවැන්න කලකට පසු ඈ මුණ ගැසීමට ලැබෙන සතුටය. දෙවැන්න තාත්තා සමඟ සෘජුව කතා කිරීමට ලැබෙන අවස්ථාවයි.

වාහනය නැවතූ විශ්ව පිළිගැනීමට පැමිණියේ එරන්දිගේ තාත්තා සහ අම්මාය. එරන්දි ගෙතුළට වී ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙන් බලා උන්නේය.

ඉදිරියෙන්ම ගමන් ගත් විශ්ව කෙළින්ම ගෙට ගොඩ වූයේ පුරුදුකාරයකු ලෙසටය. ඒ ගමන නිවැසියන්ගේ සඟවා ගත් සිනහවට බඳුන්ව තිබුණේ විශ්ව ගෙට ගොඩ වූයේ ජනේලයෙන් බැවිනි. හැර දමා තිබූ උස ජනෙල් පළුව පෙනුණේ දොරක පරිද්දෙනි.

ජනේලයෙන් ගෙට ගොඩ වූ විශ්ව කෙළින්ම ගොස් ඉඳගත්තේ ආලින්දයේ ඇඳි පුටු පේළියේ කෙළවර පුටුවෙහිය. ඉන් අතුරුව මාපියන් ඇතුළු විශ්ව බොහෝ ආගිය කතාන්දරවල නැවතී උන්නෝය. තමාගේ ඉල්ලීමට තාත්තාගේ ප්‍රතිචාරය යහපත් වග මේ වන විට විශ්වට දැනී තිබුණි. මේ සීතල දෙසැම්බරයේ සුන්දර දිනයකි.

‘පුතා අපි 28 වැනිදා නුවර එනවා. ආන්ටිගේ බර්ත් ඩේ එක’

‘හරි අංකල් මං අපේ ගෙදර ලෑස්ති කරන්නම් ඔක්කොම’

විශ්ව පිටව ගියේ තවත් බලාපොරොත්තුවක් ඉතිරි කර ගනිමිනි. දෙපාර්ශවයේම මවුපියන්ගේ පූර්ණ ආශිර්වාදයෙන් විශ්ව හා එරන්දිගේ ප්‍රේමය ඇරැඹී තිබුණි. නමුදු ඔවුනට මුණ ගැසී කාලය ගත කිරීමට ඉතිරිව තිබුණේ දින හතරකටත් අඩු කාලයකි.

නැවත ජනවාරි දෙවැනිදා එරන්දි ලංකාවෙන් ඕස්ට්‍රේලියාව බලා පිටව යන දුක්බර ආරංචිය දෙදෙනාගේම ප්‍රේමණීය හිත් පුරවා තිබුණි. කෙටි කලකදි එක් වුව ද වෙන්ව නොවෙනා තරමට බැඳී තිබුණු සුන්දර හිත් ප්‍රේමයේ අස්වැන්න සොයමින් උන් කාලයයි මේ.

දෙසැම්බර් 31 වැනිදා කතරගම බලා ගිය විශ්ව නුවරට පැමිණෙන විට රෑ බෝ වී තිබුණි. එබැවින් එරන්දි ලංකාවෙන් ඕස්ට්‍රෙලියාව බලා යන මොහොතට විශ්වට එක් වීමට නොහැකි වූයෙන් හිතේ ගැඹුරුම තැනින්ම ගලන වේදනාව උතුරා පිටාර ගලා යති.

‘පරෙස්සමෙන් ඉන්න. ආදරෙයි’

ලංකාවෙන් පිටවන මොහොතේ හැඬු කඳුළින් දෙදෙනාම එකවර කියූ කතාන්දරය හිත් පතුලේ තබාගෙන විශ්ව තම කටයුතු ඇරැඹුවේ දරා ගත නොහැකි ප්‍රේමණීය වේදනාවක් ද තුරුලු කර ගනිමිනි.

නිරතුරුවම දුරකථනනයෙන් දෙදෙනා සම්බන්ධ වූයේ දිනෙන් දින ප්‍රේමය දලු දමා වැඩෙමිනි. මේ අතරතුර විශ්වගේ පියාණනුත්, එරන්දිගේ පියාණනුත් එක්ව තීරණයකට එළැඹ තිබුණි. ඒ සතියක නිවාඩුවක් සඳහා විශ්ව ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ කටයුත්තයි.

ඕස්ට්‍රේලියාවේ ගමනට විශ්ව ලක ලැහැස්ති වූයේ කඩිනමිනි. දැන් ගමනට වීසා ලබා ගත යුතුය. සියලුම ලිය කියවිලි සකසා විශ්ව තානාපති කාර්යාලයට ලබා දුන්නේ ඉතා ඉක්මනින් එරන්දි දැකිමේ ආශාවෙනි.

තානාපති කාර්යාලයෙන් ලැබුණු ඇමතුමෙන් සතුටට පත් වූ විශ්ව කුරුල්ලකු සේ ඉගිල පැමිණියේ තම ප්‍රේමවන්තිය දැකීමේ නොනිමි ආශාව පෙරදැරි කර ගනිමිනි. ගමන් බලපත්‍රය විශ්වට ලැබුණි. නමුදු වීසා ලැබී නොතිබිණි.

හඬන සිතින් යුතුව නිවෙසට ගිය විශ්ව සියලුම ලිපි ගොනු එහෙ මෙහෙ වීසි කොට කල්පනා බරිත වුණේ ජීවිතය අහිමි වූවකු යන සිතිවිල්ල පෙරදැරි කොට ගනිමිනි. සියලු කටයුතුවලදී තමා අසල සිටි මිතුරු දමින්දට කතා කොට විශ්ව මේ සියල්ල පැවසුවේ වේදනාවෙනි.

‘මල්ලි, ඕක නුවර යනව වගේ ලේසි නෑ. උඹට තියෙන හදිස්සියට ඕස්ට්‍රේලියා යන්න බැහැ. අපි ආයෙ ට්‍රයි කරමු’

අනෙක් පැත්තෙන් ලැබුණේ විශ්ව තවත් කෝපයට පත් කළ පිළිතුරකි.

‘ආයෙ ට්‍රයි කරන්න. මොනව ට්‍රයි කරන්නද’

විශ්ව දුරකථනය විසන්ධි කළේ දරාගත නොහැකි කේන්තියකිනි.

දින කිහිපයකට පසුව විශ්ව තමාගේ කටයුතු සඳහා යොමු වුණේ ඕස්ට්‍රේලියා ගමනේ සුන්දර ඉමිහිරි සිහින අතහැර දමමිනි.

‘ඔයා එන්නෙ නැද්ද?’

එරන්දි මෙසේ අසන විට නිරුත්තර වූ විශ්ව, විශ්වයේ අසරණම පෙම්වතා තමා ලෙස සිතුවේය. කාලයාගේ ඇවෑමෙන් එරන්දි, දමින්ද හා විශ්ව එකතුව නැවත තානාපති කාර්යාලය වෙත ලිය කියවිලිල භාර දුන්නේ දහසක් බලාපොරොත්තු පොදි බැඳ ගනිමිනි.

දිනක් බණ්ඩාරවෙල ටෙලි නාට්‍යයක රූගත කිරීම් අතරේ විශ්වට දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ තමාගේ විදේශ ගමන් බලපත්‍රය ලබා ගන්නා ලෙසටය. විශ්ව රූගත කිරීම් නිමා කොට කොළඹ බලා පැමිණියේ නැවතත් පිරුණු බලාපොරොත්තු රැසක් හිත තුළ එක්කර ගනිමිනි.

සීල් කඩන ලද තමාගේ විදේශ ගමන් බලපත්‍රය අතට ගත් විශ්වට නැවත දැනුණේ ආත්මීය තිගැස්මකි. ඔහු එකවරම සීල් කඩා අතට ගත් ගමන් බලපත්‍රය පෙරලාගෙන ගියේය. එහිඍධ්ඉඒ ලෙස සටහන්ව තිබීම විශ්වගේ හිත සතුටින් පුරවාලන්නට පටන් ගත්තේය. විශ්ව කෙළින්ම ඇමතුමක් ලබා ගත්තේ එරන්දිටය.

‘මං කිව්වනේ . . . මේ සැරෙත් නෑ සුදූ’

‘නෑ . . .’

එරන්දි දුරකථනය විසන්ධි කළේ හැඟුම්බර ස්වරයෙනි. නැවත එසැනින්ම දුරකථන ඇමතුමක් ලබාගත් විශ්ව එරන්දිගේ කතාන්දරය ගෙන ගියේ වෙනතකටය.

‘සුදු මං හොඳ නළුවෙක්ද?

‘ඔව් . . . මං හිතනවා ඔයා හොඳ නළුවෙක් කියලා. ඇයි මේ වෙලාවේ ඒ කතාව ඇහුවේ?’

‘නෑ මට වීසා හම්බ වුණා. මගේ රඟපෑමට ඔයා අහු වුණා’

දෙදෙනාම සතුට බෙදා ගත්තේ හඬමින් හා සිනාසෙමිනි. ගමනට සියල්ල සූදානම් කර ගත් විගස ගුවන් තොටුපළ වෙත පැමිණියේ අම්මා හා තාත්තා සමඟය. තනිවම විදේශ රටකට යාමේදී ඇතිවන සියුම් බියත්, ඒ රට තුළදී තමා දෙඇස් මෙන් පෙම් කරන සුරංගනාවිය හමුවීමේ සතුටත් විශ්වගේ හිත නොසන්සුන් කොට තිබුණි.

ඕස්ට්‍රේලියාවේ සුන්දරත්වය අතර දෙදෙනාගේ ආදරය සදාකාලිකව බැඳෙමින් තිබුණි. සති දෙකක කාලයකට පසුව නැවත දෙදෙනා වෙන් වනුයේ කඳුළු පිරුණ දෑසිණි. නමුදු ඒ වන විට දෙදෙනාම නොබිෙඳන ලෙස බැඳෙන්නට ස්ථිර ලෙසට තීරණය කොට තිබුණි.

කාලය ගෙවී යත්ම මාපියන් තම දුවණියගේ හා පුතණුවන්ගේ විවාහය සඳහා දින යොදාගෙන තිබුණි. රන් රස සේ පෑහෙන දෙසිත් මඬල කිසිවකුත් නොරිදා එක් වී තිබුණි.

ඔවුන් දෙදෙනා එක් ජීවිතයකට එළඹෙන ඒ සුන්දර දිනය අදයි.

විටෙන් විට සතුටු කඳුළින් පෙඟී නැහැවුණු ඒ ප්‍රේම වනෝද්‍යානයට වසත් සමය එළඹෙන සුන්දර දිනය අදය.

විශ්ව - එරන්දි

මේ වසන්තය ඔබේයි . . . හැමදාම ඒ මල් සුවඳ විඳින්න . . . ඔබට සුබම සුබ ආදර ගමනක් වේවා!