වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මම හ‍ෙඬන් දේශය පාලනය කරන කෙනෙක් . . .

මම හ‍ෙඬන් දේශය පාලනය කරන කෙනෙක් . . .

සේනානායක වේරලියද්ද ‘සංඛ නාදේ’ සමඟ .

නුවර කලාවියේ, ගලෙන්බිඳුණුවැව ගම් පියසේ හැදී වැඩුණු පුංචි කොලු ගැටයා පාසල් සමයට මුල පුරන අවධියේ මිතුරන් ඔහු ඇමතූයේ ‘වේව’ නමිනි.

භද්‍ර යෞවනයට එළඹෙත්ම රාජ්‍ය නැටුම් හා සංගීත කණ්ඩායමට එක්වීමට වරම, වාසනාව ලද ඔහු කොළොම්පුරේ මිතුරන් හට ‘සේන’ නම් විය.

නැටුමෙන්, වැයුමෙන්, රැඟුමෙන් හා ගැයුමෙන් දෙස්, විදෙස් කරළිය ජය ගනිද්දී සමීපතමයන් ‘වේරා’ යන ආදරබර නමින් ඔහු ඇමතූහ.

‘රත්නායක රාජරත්න ගෝමර බණ්ඩාර වේරලියද්ද වලව්වේ සේනානායක’ නම් වූ ඔහු අද මුළු රටම හඳුනන්නේ සේනානායක වේරලියද්ද නමිනි. ඔහු සතු සැබෑ පිරිමි හඬත්, මනා ගායන පෞරුෂයත් හෙළ ගී ලොවට ආශිර්වාදයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

‘වේරලියද්ද සංඛ නාදේ’, ඔහුගේ හතළිස් වසරක් සපිරි අභිමානවත් සෞන්දර්යය චාරිකාවේ අග්‍රඵලය යි. මෙම 08 වැනිදා සවස 6.30 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී එය රසික සහෘදයා වෙත පිදෙන්නේ සියලු කලාංග එක්තැන් වූ ප්‍රසංගයක් ලෙසිනි.

අද ඔබ, මුළු රටක් දන්න, රටම කතා කරන චරිතයක් බවට පත් වී අවසන්. මේ අඩිතාලම වැටෙන්නේ පුංචි සන්දියේදීමයි. ඒ අතීත මතකය සැකෙවින් හෝ අවදි කරන්නට මීට වඩා හොඳ අවස්ථාවක් ලැබෙන එකක් නෑ?

ඔව්. ඒක ඇත්ත. ඔබ කිව්වා වගේ මේ මගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව. අතීතයේ කළ කී දෑ නම් බොහොමයි. කෙටියෙන් හෝ යමක් කියන්නම්. මගේ පියා ඒ කාලේ ඉංග්‍රීසි රාජකීය හමුදාවේ සේවය කළ සෙන්පතියෙක්. ඒ වගේම ඔහු පාරම්පරික වෛද්‍යවරයෙක් හා නැටුම් ගුරුවරයෙක්. රත්නායක රාජරත්න ගෝමර බණ්ඩාර වලව්වේ ලොකු බණ්ඩාර වුණාට තාත්තව ගමේ අය හැඳින්නුවේ ‘නටන වෙද මහත්තයා’ කියලයි. එතකොට මම ඒ නටන වෙද මහත්තයගේ පුංචි පුතා. තාත්තා දුටුවැව ‘සරසවි’ කලායතනය ආරම්භ කළේ මම පුංචි සන්දියේමයි. ඒ පන්තියේ මමත් එතුමාගේ ගෝලයෙක්. මම උඩරට නර්තනය වගේම බෙර වාදනය, ශ්ලෝක, අෂ්ටක කියන්නත් පුංචි කාලෙම හුරු පුරුදු වුණා.

එහෙම පටන් අරන් තමයි මේ තරම් ලොකු දුරක් ආවේ?

මම කොළඹට ආවේ බෙරයක් බැඳගෙන. හැබැයි අර ගමෙන් අරගෙන ආපු ජවය, ශක්තිය, පියාගෙන් ලබපු සිප් සතර මා ළඟ සෙවණැල්ලක් වගේ හිටියා. 1983 වසරේ මැයි 05 වැනිදා රාජ්‍ය නැටුම් කණ්ඩායමේ බෙර වාදන ශිල්පියකු විදිහට මාව තේරුණා. ඒ අවුරුද්දේම රජරට සේවයේ ‘නවරැල්ල’ ගායකයෙකුª ලෙසත් මා තේරී පත්වුණා. 1988 වසරේ සංස්කෘතික දෙපාර්තමේන්තුªවේ නැටුම් ප්‍රදර්ශක වශයෙන් මට උසස්වීමක් ලැබුණා. ඒ අවුරුද්දේම රජරට සේ්වයේ සරල ගී ශිල්පියකු ලෙස සමත්වීමත් මා ලැබූ වාසනාවක්. ඒ පිළිගැනීම තවත් වැඩි වුණේ 1991 වසරේ ශ්‍රීී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේඒ ශ්‍රේණියේ ගායකයකු වීමත් එක්කයි.

රාජ්‍ය නැටුම් කණ්ඩායමත් සමග ඔබ විදෙස් සංචාරවලට පවා සහභාගි වුණා?

එංගලන්තය, ප්‍රංශය, චීනය, බුරුමය, ඉන්දියාව, නේපාලය, බංග්ලා දේශය, ඉරාකය කැනඩාව, ඉතාලිය වගේ රටවල අපි සංචාරය කළා. ඇත්තෙන්ම මම හිතන්නේ කලා හා සංස්කෘතික වශයෙන් අපේ ජාතික අනන්‍යතාවය ලොවට පෙන්වන්න පුළුවන් හොඳම සහ එකම කලාව තමයි නර්තනය. බෙර වාදකයෙකු, නර්තන ශිල්පියකු ලෙස විදෙස් කරළියේ ශිල්ප හරඹ දක්වනකොට ඒ ‘අභිමානය’ මගේ හිතේ තිබුණා.

සේනානායක වේරලියද්ද නාමය ගායකයකු ලෙස එක රැයකින් රසික සහෘදයන් අතර ජනප්‍රියත්වයට පත්වන්නේ තිස්ස අබේසේකරයන්ගේ ‘වණ සරණ’ ටෙලි නාට්‍යයට ඔහු ගැයූ ‘නංගිට බැඳපු මල් වියණයි’ ගීතය නිසාවෙනි. 1996 වසරේ පැවැති ‘සුමති’ ටෙලි සම්මාන උළෙලේදී හොඳම ගායනයට හිමි සම්මානයෙන් පුද ලද්දේ එම ගීතයයි. සැබැවින්ම ගී ලොව දිග් විජය කරන්නට ඔහුට නියත විවරණ ලැබුණේ එම ගීතයෙනි. 2007 වසරේ පැවැති ප්‍රථම ‘සිරස’ සංගීත සම්මාන උළෙලේ දී හොඳම ගායකයා වූයේ ද වේරලියද්දය. නොවක් පෙළහර පෑ ඔහුගේ අපූර්ව සංගීත චාරිකාවේ තවත් සොඳුරු මතකයකි ඒ.

ඔබ විවිධ කලාවන් ස්පර්ශ කළත් වඩාත්ම ජනප්‍රිය ගායකයකු විදිහට. ඒත් ඔබ බොහොම නිහඬව සීරු, මාරුවෙන් මේ ගමන ආ කෙනෙක්?

දැන් මේ වෙනකොටත් මම ගීත සියයකට වඩා ගයලා නෑ. කැසට් හා සී ඩී පට එළි දක්වා තිබෙන්නෙත් තුනක් විතරයි. හැල්මේ දුවන්න මට ඕනෑ නෑ. කවදත් මම හීන් සීරුවේ මගේ ගමන ගිය කෙනෙක්. ඒ ගමන ස්ථාවරයි.

පහුගිය කාලේ අපි දැක්කා තවත් ඩුප්ලිකේට් වේරලියද්දලා සංගීත ක්ෂේත්‍රයට පිවිසියා?

ඒ සතුටත්, ගෞරවයත් මටමයි. මොකද මාව අනුගමනය කරන, අනුකරණය කරන පිරිසක් බිහිවීම නිසා. මම ජනප්‍රිය, සාර්ථක ගායන ශිල්පියකු නොවුණා නම් එහෙම කවුරුත් මාව ඉමිටේඩ් කරන එකක් නැහැ.

ඔවුන්ගේ ආගමනය නිසා ඔබ ක්ෂේත්‍රයෙන් ඉවතට වීසි වුණා කියලයි සමහරු කියන්නේ?

එහෙම නෑ. ඇස්වලට, කන්වලට බොරු කරන්න බෑ. අමරදේවයන්ගේ, මොහිදින් බෙග් ගේ හඬ මිනිස්සු හඳුනනවා. ඒක තමයි අනන්‍යතාවය. කොහොමත් මම තරගෙට වැඩ කරන කෙනෙක් නෙවෙයි. අනෙක මෙහෙම දෙයක් තියෙනවානේ. ‘කාටවත්’, ‘කවුරුවත්’ වෙන්න බෑ. එහෙම ඕනෑත් නෑ.

එය ද්වේෂ සහගත ප්‍රකාශයක් කියා කවුරු හරි කිව්වොත්?

ඔවුන් දක්ෂයෝ නෙවෙයි කියන්න තරම් මම කුහක නෑ. ඇත්තටම එයාලා දක්ෂයි. නමුත් පදනම ගැන මම කිව්වේ. මගේ හිතේ ඔවුන් ගැන ඊර්ෂ්‍යාවක්, ද්වේෂයක් හෝ අඩුම තරමෙන් අසතුටක්වත් නෑ. සමහරු මුලින් අහනවා ‘ඒ වේරලියද්ද නේද’ කියලා. පස්සේ හොඳට ගීතය අහලා ‘නෑ ඒ වේරලියද්ද’ නෙවෙයි කියලා කියනවා. ඒක රසික ඥානය. ඔවුන්ගේ ‘කන’ දියුණුයි.

කොහොම වුණත් ප්‍රසංග වේදිකාවේ ඔබේ තැන නැතිව ගියානේ?

කවුරු හරි මට කතා කරලා ප්‍රසංගයකට ඇරැයුම් කළොත් ඊට සහභාගි වෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඒක භාර ගන්නවා. කොළඹින් දුර බැහැර ඉන්න නිසා ලැබෙන හැම ප්‍රසංගයකටම සහභාගි වෙන්නේ නෑ. ඒත් කිසිම ඇඩ්වාන්ස් එකක් නැතිව ලංකාවේ ඕනෑ තැනක ගීත ගයන්න යන එකම ගායකයා මම වෙන්නැති. එක පාරක් ප්‍රසංගයකට මාව ගෙන්න ගත්තුª සංවිධායකවරයෙක් ඊළඟ ප්‍රසංගයට මාව සහභාගි කර ගන්නවාමයි. ඒක අත්දැකීමෙන් මම දන්නවා. මම ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. ඒත් සිංදු කියලා ජීවිතේ ගැට ගහ ගන්න මට පුළුවන්.

ඒ කියන්නේ තවමත් ඔබ මේ ක්ෂේත්‍රයේ ස්ථාවරයි, ජනප්‍රියයි?

ධනය, නිලය, කුලය, බලය මේ දේවල්නේ පෘථග්ජන අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ධනය, නිලය, බලය මේ හැමදේම මට ලැබුණේ මම කලාකරුවකුªª නිසා. දේශපාලඥයන්ටත් ඕවා තියෙන්න පුළුවන්. ඒත් මිනිසුන්ගේ ආදරය ලැබෙන්නේ නෑ හැමෝටම. මම හඬෙන් දේශය පාලනය කරන කෙනෙක්.

වත්මනෙහි බොහෝ ගෘහස්ත ගී ප්‍රසංග පැවැත්වෙන්නේ Live in Concert, Unplugged, Acoustic වැනි විවිධ නම්වලිනි. එහෙත් ‘වේරලියද්ද සංඛ නාදේ’ නමෙහි ඇත්තේ අපේකමකි. සංස්කෘතික බැඳීමකි.

ගීතවල විවිධ අදහස්, තාල තියෙනවා. ප්‍රසංගවලට විවිධ නම් යොදා ගන්නෙත් ඒ නිසා වෙන්නට ඇති. ‘වේරලියද්ද සංඛ නාදේ’ වෙනස්ම ආරක ගී ප්‍රසංගයක්. මෙහි වාද්‍ය වෘන්දයට ගිටාර්, වයලින්, කී බෝඩ්, ඩ්‍රම්ස් වගේම ගැට බෙර, දවුල් බෙර, හොරණෑ, හක් ගෙඩි වැනි සංගීත භාණ්ඩත් ඇතුළත් වෙනවා. හතළිස් දෙනෙකුගෙන් පමණ සමන්විත වාද්‍ය වෘන්දයක්. මෙහි සංගීතය මෙහෙයවන්නේ ජානක ෆොන්සේකා.

ඔබ වේදිකාවට අපූර්ව හැඩයක් එක් කළ ප්‍රාසංගික ගායන ශිල්පියෙක්. ඊට අමතරව ඔබේ සෙසු හැකියාවන් මේ ප්‍රසංගයේදී අපට දැකබලා ගන්නට පුළුවන්ද?

විශේෂයෙන්ම කියන්න ඕනෑ මෙය සජීවී ගී ප්‍රසංගයක්. මගේ ජනප්‍රිය ඒ වගේම මෙතෙක් වේදිකාවේ නොගැයූ ගීත 25 ක් මේ ප්‍රසංගයට මම ගායනා කරනවා. මෙය සජීවී ප්‍රසංගයක් නිසා දුවලා, පැනලා, කරනම් ගහලා මාලක්කම් කරකවලා කරන්න බෑ. එහෙම හතිමුනින් දාගෙන ගීත විසි පහක් කියන්නට බැහැනේ. හැබැයි මේ ප්‍රසංගයෙන් පස්සේ අර වගේ ප්‍රසංගයක් පවත්වන්නත් මම හිතාගෙන ඉන්නවා. කොහොම වුණත් මගේ නැටුම්, රැඟුම්, වැයුම් තරමක් දුරට මේ ප්‍රසංගයට එක්කර තිබෙනවා. ඒ නිසයි ‘සංඛ නාදේ’ සියලු කලාංග එක් රැස් කළ වෙනස්ම ආකාරයේ ගීත ප්‍රසංගයක් බවට පත් වෙන්නේ.

වේරලියද්ද දේශපාලනය වෙනුවෙන් කඩේ ගිය, යන අයෙක් කියලත් ඇතැමුන් චෝදනා කළා මට මතකයි?

එහෙම කඩේ ගියානම් මල්ල පුරවාගෙන අද මම ඉන්න එපායැ. තාන්න, මාන්න, ගෙවල්, දොරවල් ලබා ගත්තේ නෑ මම කවදාවත්. ‘අවදි කරනු මැන හැම හදවත් තුළ’ ගීතය මම ගායනා කළේ රට වෙනුවෙන්. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට ගැයූ ප්‍රශස්ති ගීයක් හෝ කඩේ යාමක් නෙවෙයි. ජනතාවාදී නායකයකුට කලාකරුවෙක් විදිහට මගේ උත්තමාචාරය දැක්වීමක්. ජනතාවගේ හඬයි එදා මම ගායනා කළේ.

නැවතත් ප්‍රසංගය දෙසට හැරෙමු. මේ දැවැන්ත කාර්යයේදී ඔබට නිබඳ ශක්තියක් හා ආශිර්වාදයක් වූ පිරිස අපමණයි?

විශාල පිරිසක්. නම් වශයෙන් හැමෝම සිහිපත් කිරීමට නොහැකි වීම ගැන කනගාටුයි. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ සහාය මුල සිටම මට ලැබුණා. මේ ප්‍රසංගයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙන්නේත් එතුමන්. නර්තන අධ්‍යක්ෂණයෙන් චන්දන වික්‍රමසිංහ, පසුතල නිර්මාණයෙන් දිනේෂ් ජයශාන්ත, මට සහාය වෙනවා. නිෂ්පාදන සැලසුම් සහ මෙහෙයුම් සමන්ප්‍රිය මාරසිංහ, දිනේෂ් ජයශාන්ත, සම්පත් හේවාපැලැන්දගේ, සෙනරත් ප්‍රියංකර සේනානායක විසින් සිදු කරනවා. ‘වේරලියද්ද සංඛ නාදේ’ ප්‍රසංගය ඉදිරිපත් කරන්නේ කැළුම් ශ්‍රීමාල් සහ වසන්ත දුක්ගන්නාරාල විසින්.