වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




පුතා ටිකක් ලොකු වුණාම මම රංගනයට යොමු වෙනවා

පුතා ටිකක් ලොකු වුණාම මම රංගනයට යොමු වෙනවා

‘ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ
රන් සළු පිළි වළලු කොයින්දෝ
දොයි දොයි පුත ළපටි බිලින්දෝ
රන්කඳ රැකදේවි සුරින්දෝ
සිටියොත් හොඳට හැදී.....
දෙවියොත් නමට වඳී...

මියුරු ස්වරයෙන් ගැයෙන ගීතයේ පද මුළු ගෙවත්තෙම විසුරුණා. ඒ විසිරුණු ස්වරයත් අහගෙනම අපි ඇගේ කැදැල්ලට ගොඩවුණා. කාගෙද ඒ මියුරු ස්වරය?

අපව පිළිගන්න ඉදිරියට ආව සිදත්ගෙන් අපි විමසුවා.

කාගෙද ඉතිං පබෝධාගෙ මිසක්.

ඔහු කිව්වේ සිනහා වෙවී. පබෝධා සන්දීපනී කියන ඔබගේ ආදරය හිමිවුණු රංගන ශිල්පිනිය සිය පුතු සවේන් ව ආදරයෙන් නළවනවා. කාලයකට පෙර අප දුටු සුන්දර යෞවනිය, බිරිඳ දැන් ආදරණීය මවක්. දැන් ඈ මවකගේ භූමිකාවට පිවිසිලා. සිය කුලුඳුල් පුතු ලැබෙන්නට ප්‍රංශයට ගිය පබෝධා ලංකාවට ඇවිත්. ඒ ආරංචියත් සමඟමයි අපි පන්නිපිටියේ, ලියනගොඩ පිහිටි පබෝධා ගේ සොඳුරු නිවහනට ගොඩ වැදුණේ.

සිදත් ගේ ආරාධනයෙන් අපි සාලයේ අසුන් ගත්තා. අප ඉදිරිපසට පැමිණියේ සවේන් ගේ අත්තම්මා ගීතා කාන්ති ජයකොඩි. ටික දවසකට පස්සෙ අත්තම්මා ආවෙත් මුනුපුරා බලන්නයි.

‘ඉතිං අත්තම්මේ’

ඇගේ උවන සුන්දර කරන ඒ සිනාහවෙන් ඈ පිළිතුරු බැන්දා.

මගේ මුනුපුරා බලන්න මම නෑවිත් කොහොමද?

‘මුනුපුරා ගේ සැපදුක් සොයන්න මම නිවාඩුවක් ලැබුණු හැටියේ දුවන්නේ ඉස්පාසුවක් නැතිවමයි.’

රංගන කටයුතුත් සමඟ කාර්යබහුල වුණු ගීතා කාන්ති හෙළි කළේ මුනුපුරාට තිබෙන ආදරේ.

ඔබ ටික කාලයක් හිටියෙත් ප්‍රංශයේමයි.

පබෝධා ගේ කුල්ඳුල් දරු ප්‍රසූතියට ඈ ප්‍රංශයට ගිය වග ආරංචි වුණ කතාව ඇත්තක්ද බලන්නත් එක්ක මා විමසුවා.

‘අනේ ඔව්, ඒත් මට හරි වැඩක් වුණා. දුවට දීලා තිබුණ දිනවලට අනුවයි මම ප්‍රංශයට යන්න ටිකට් බුක් කළේ. මම යනකොට දෝණි ට පුතා ලැබිලා. බබා ලැබෙන කොට මම ළඟ නොසිටියත් එයාගේ තාත්තා එයා ළඟම හිටියා. ඔහුයි දුවගේ සියලු කටයුතු අඩුපාඩුවක් නැතිව සොයා බැලුවේ. ඒකට මට සතුටුයි.’

පුංචි දුකක් හිතේ හිරකරගෙන වුණත් ඈ කිව්වා. එවැනි අත්දැකීමක් නැති දෝණි කොහොම ඒ අලුත් අත්දැකීමට මුහුණ දෙන්න ඇද්ද? අපිට එහෙමයි සිතුණේ.

අද තාක්‍ෂණය අතින් බොහොම දියුණුයි. දැනුම අතින් වුණත් එහෙමයි. දෝණිට තම භූමිකාවට අදාළ සියලුම දේ පිළිබඳ දැනුමක් තිබුණා. එයා ඒ පිළිබඳ ගොඩක් පොතපත කියවලා තිබුණා. අපේ පවුලේ සමහර දරුවෝ දෝණිට වඩා බාලයි. ඒ නිසා මගේ අම්මා කරන කියන දේ ඈ බලාගෙන හිටියා. මොකද අපි සියලු දෙනාම හිටියේ එකම පවුලක් වගේ නිසා. කොහොම වුණත් මම යනකොට දෝණිට සියල්ල ඒ රෝහලෙන් කියලා දීලා තිබුණා. දරුවා නාවන හැටි ඔවුන් කියලා දීලා තිබුණත්, සමහර වැරදි තැන් මම ඇයට කියලා දුන්නා.’

ඒ කතාබහ අතරතුර පබෝධා සන්දීපනී සිය සවේන් පුතු වඩාගෙන අපි ඉදිරියට ආවේ කවදත් අපට පානා සුන්දර සිනහවත් අරගෙනයි. ඒ සිනහව තවත් සුන්දර වෙලා. මට හිතුණේ එහෙමයි.

හීන්දෑරි පබෝධා ටිකක් විතර මහත් වෙලා.

‘අම්මා කෙනෙක් වුණාට පස්සේ ඉතින් ටිකක් විතර මහත් වෙනවා. මේ දවස්වල මම පුතා නිසා කිසිම පාලනයක් නැතිව කෑම කනවා. ඇයි පුතාට හොඳට කිරි දෙන්න ඕනනේ.’

පළපුරුදු කාරියක් වගේ ඈ පිළිතුරු බැන්දා.

මේ දවස්වල හරියට නිදි මරණව ඇති නේද?

‘පුතා ලැබුණු දවස්වල නම් ටිකක් නිදි මැරුවා. අම්මත් හිටිය නිසා මට ඒක පහසු වුණා. ඉපදුන දවස්වල එයාට පරිසරය අලුත් නිසාදෝ නිතරම වගේ ඇඬුවා. දවසම ඇහැ ඇරගෙන හිටියා. දවසක් නම් අපට හරි වැඩක් වුණා. එදා පුතාට වගේම මටත් නින්ද ගියේ උදේ පහට විතර. කිරි දීලා කොහොම හරි මම එයාව නිදි කළා. මටත් එහෙම්මම නින්ද ගියා. ටික වෙලාවකින් පුතා දඟලනවා වගේ දැනිලා මට එකපාරටම ඇහැරුණා. එතකොට පුතා කිරි වමනේ කළා. ඇඬුවා. මම කොයිතරම් බය වුණාද කිව්වොත් එවෙලේම පුතාව රෝහලට ගෙනිච්චා. ඒ අය නම් කිව්වේ බය වෙන්න දෙයක් නෑ කියලයි.’

මේ වගේ බොහොම සුන්දර සිදුවීම් පබෝධාගේ ජීවිතයට එකතු වෙලා.

ඈ මුහුකුරා ගිය මවක් බවට පත්වෙලා. ඒ දොණිගේ මුහුකුරා බව ළඟ හිටියේ ඇගේ අම්මා. ගීතා කාන්ති ජයකොඩි. ඇගේ මතකයට කැන්දුවේ පබෝධාගේ අතීතය.

දෝණි ඔයත් ඉස්සර ඉපදුන ගමන් ටිකක් විතර කෑගහල ඇඬුවා. ඒත් හැබැයි අනිත් ළමයි වගේ නිතරම වගේ නෙවෙයි. කෑගහල අඬනකොට මම මෙයාට කිරි දෙනවා. කිසිම කරදරයක් නැතිව මෙයා නිදා ගන්නවා.

පබෝධාට ලැබුණු මේ නැවුම් අත්දැකීම මොනවගේ ද කියලා නොඇසුව හොත් පුංචි අඩුවක් වගෙයි. මට එහෙම හිතුණා.

‘ඇත්තටම පුතා ඉපදුන වෙලාවේ මගේ සිතට දැනුණ හැඟීම වචනවලට නඟන්න මට බැහැ. ඒක පුදුම හැඟීමක්. ඒ විතරක් නෙවෙයි මගේ මතකයට නැගුණේ මම ඉපදුන වෙලාවේ අම්මා කොයිතරම් සතුටු වෙන්න ඇද්ද කියලා. ඒ අවස්ථාවේ අම්මා ළඟ නොසිටියත් තාත්තා මගේ ළඟින්ම හිටියා. ඒ වගේම ඒ රටේ හිටිය බොහෝ ශ්‍රී ලාංකිකයෝ මට උදවු කළා. ඔවුන් අතරින් බොහෝ දෙනෙක් මම කවදාවත් දැකලා නැහැ. ඒ හැමෝගෙන්ම ලැබුණු සහයෝගයට ඔවුන්ට ස්තූති කරන්නට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.’

සවේන් පුතා අත්තම්මගේ උණුසුමට ගුලිවෙලා. සුදු පැහැති අත්පොඩි එහා මෙහා කරමින් අත්තම්මා එක්ක කතාවක. ඒ අතර හිනාවෙනවා.

පුතා සිදත් වගේද? පබෝධා වගේද?

එහෙම අහනකොට නම් පබෝධාට හොදටම හිනා.

‘දැනට නම් පුතා මගේ පාටට හිටියට හැඩරුව සිදත් වගේමයි. ලොකු වෙනකොට නම් එයා කොහොම වේවිද දන්නේ නැහැ.’ අම්මෙ මම ඒ කාලේ කවුරු වගේද?

පබෝධා ඇහුවේ ගීතා කාන්තිගෙන්.

‘ඇත්තටම ඔය වයසෙදි ඔයාව බලන්න ආව බොහොම දෙනෙක් කිව්වේ ඔයා මම වගේ කියලා. ඒ වුනත් පස්සේ මගේ මහත්තයා ගේ හැඩරුව අරගෙනයි දෝණි හැදුණේ. එක පැත්තකට විතරක් අපේ මුහුණුවල හුරුවක් එයාට තියෙනවා. දෝණි ඒ පැත්තට ඉන්න කොට මට මතක් වෙන්නේ රත්නා නංගීව. දෝණිට මගේ හැඩයට වඩා තියෙන්නේ නංගිගේ හැඩහුරුකම බවයි මට නම් සිතෙන්නේ.’

‘සවේන් ජිත්සර’ කියන සුන්දර නාමය පුතාට තිව්වේ කවුද?

ජයග්‍රාහීව හැසිරෙණ, මහා වේගවත්ම නායකයා කියන අරුථ රැගත් ඔහුගේ නම පිළිබඳත් නොවිමසුවොත් අඩුවක්.

‘පුතා ඉපදෙන්නටත් පෙරම වගේ අපි නම තියන්න තීරණය කරලා තිබුණේ අරිසෙන් අහුබුදු සූරීන්ගේ කටයුතු ඉදිරියට ගෙනියන සමන්ති අහුබුදු ගෙන්. ඈ කිසිම කරදරයක් කියලා හිතන්නේ නැතිව ඒ අදහස ඉටු කළා. ඈ තමයි පුතාට නම තිබ්බේ.’

එහෙම කියනකොටම ගීතා කාන්තිත් කතාබහට හවුල් වුණේ නැවතත් අතීතය සිහිපත් කරමින්.

‘දෝණිට නම තිබ්බේ කරුණාරත්න අබේසේකරයන්. කුඩා කාලයේ පටන් මම ළමා පිටියේ සාමාජිකාවක්. ඉතිං මම එතුමාට කියලා දුවට නම තියන්න තීරණය කළා.’

දරුවකු මෙලොවට බිහිවුණු සැටියේ කළ යුතු වත්පිළිවෙත් සිංහල මවුවරුන්ට උරුමයෙන් ලැබුණු දේයි.

මේ දේවල් ඔබත් දැනගෙන හිටියද? මා ඇසුවේ බිරිඳක්, මවක් වුණත් ඈ තවම යෞවනයේ සිටින නිසා.

‘අත්තම්මගෙන් ලැබුණු හුරුවයි මට පිහිටට ආවේ. අම්මාගෙන් ලබාගත් උපදෙස් ද ඒ අතර තිබුණා. මම ගම්මිරිස් පිඹීම ඉගෙන ගත්තේ ඒ අයගෙන්. ඒ නිසා මමත් පුතාට ගම්මිරිස් පිම්ඹා. අපේ අය ඒක කරන්නේ දරුවකුගේ ඇහේ වතුර තියෙනවා නම් නැතිවෙලා යන්නයි. ඒ වගේම පුතාගෙ නළල, නහය, කන්පෙති, නිකට වගේ තැන් නිතරම අතගාන්න ඕනෑ. එතකොටයි සුන්දර රූපයක් දරුවකුට හිමිවන්නේ.’

පරම්පරාවෙන් ලැබුණු දැනුමෙන් ඈ පෝෂණය වෙලා.

සැමියා ගෙන් ලැබෙන සහයෝගය එහෙම කොහොමද?

ඔය අතරතුරදීම පබෝධාට මගෙන් තවත් ප්‍රශ්නයක්.

‘සිදත් බොහොම කාර්යබහුල කෙනෙක්. ඒ එයාගේ ව්‍යාපාර කටයුතු නිසා. එහෙම වුණත් ඉඩ ලැබුණු ගමන් මට නිතරම උදව් කරනවා. පුතාගේ සමහර කටයුතු මම එයාට ඉගැන්නුවා. එයා ඒවා කරන්නේ බොහොම සන්තෝෂයෙන්. අනිත් කාරණය වෙන්නේ උදේ නැඟිට්ට වෙලාවේ ඉඳලා මම ඉන්නේ පුතා එක්කමයි. එයා දවසින් දවස අලුත් අලුත් දේ කරනවා. එතකොට මගේ සිත ට ඇතිවෙන්නේ පුදුම සතුටක්. මේ හැම දෙයක්ම මට කරන්න ලැබෙන්නේ මගේ මහත්තයාගේ අම්මා නිසා. ඈ නිවසේ සියලුම කටයුතුවලින් මාව නිදහස් කරලයි තියෙන්නේ. ඒ නිසා මට තියෙන්නේ පුතාගේ කටයුතු කරගෙන ඉන්නයි. දැන්නම් පුතා ටිකක් ලොකු නිසා මම චුට්ටක් ඈත් වුණත් එයාට දැනෙනවා.’

සවේන් පුතාට මේ ගෙවෙන්නේ පස්වැනි මාසයයි. හරියටම මේ මාසයේ 11 වැනිදාටයි පුතුට මාස පහ පිරෙන්නේ.

ඔයා කැමැති පුතා කවදා හරි ඔයා වගේ කලා කටයුතුවල නියැළෙනවටද? ව්‍යාපාරිකයෙක් වෙනවටද?

අනාගත හීන පබෝධටත් ඇති කියලා මට හිතුණා.

මොන පැත්තද තෝරා ගන්නේ කියලා අපි එයාට නිදහස දෙනවා, එයා තමයි ඒක තීරණය කළ යුත්තේ. ඊට ඉස්සෙල්ලා අපි එයාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා. ඈ පැවසුවේ සවේන් ගේ අනාගතය පිළිබඳයි. මේ අතරතුර පබෝධාගෙත්, ගීතාගේත් රුව ගයාන්ගේ කැමරා කාචයට හසු වුණා. ඒත් ස්වේන් පුතාගේ රුව නම් ඊට එකතු නොවුණේ පබෝධාගේ ඉල්ලීම නිසයි.

‘මාස 06 පිරුණාට පස්සෙයි පින්තූර ගන්නේ. ඒ නිසා අපි එතකන් ඉමු. එතකොට මම ඉස්සෙල්ලාම පින්තූර සරසවියට දෙන්නම්.’

ඇය අපට පොරොන්දු වුණේ කවදත් ඇයට ආදරය කරන සරසවිය පුවත්පත ඇගේ ජීවිත ගමනට අලෝකයක් වූ නිසයි.

පබෝධා රඟපෑමෙන් ඈත් වේවිද?

පුතා ළඟටම වෙලා ඉන්න කැමැති බව කියන ඈ කිව්වේ මෙහෙම කතාවක්. ‘පුතා ටිකක් ලොකු වුණාට පස්සෙ හොඳ නිර්මාණයකට මම දායක වෙනවා’ මේ අතරතුර සවේන් පුතා ඇහැරිලා ඒ බව කිව්වේ සිදත් ගේ අම්මා.

‘සවේන් පුතා අඬනවා.’

පබෝධාගෙන් සමුගන්නට කාලය ඇවිත්. ඈ පුතා ළඟට දිව්වා. ඒ එක්කම ඇහුණේ නැළවිලි ගීයක්. ඒ නැළවිලි ගීතය අතරින් ගීතාකාන්ති නැවතත් සිය ස්වරය අවදි කළා.

‘ඉස්සර මමත් ඔය විදියට දෝණිව නැළෙව්වේ ළමාගීත, නැළවිලි ගීත, එක එක සින්දු කිය කියා. දවසක් හරි වැඩක් වුණා. එතකොට එයාට වයස අවුරුදු දෙකයි. මේ සිද්ධිය වෙනකොට එයයි මමයි හිටියේ බස්එකේ. බස්එකේ රේඩියෝවෙන් ඇහුණේ ‘බින්දු බින්දු මල් වැස්සේ තෙමෙන්නට එපා’ කියන ගීතයයි. දෝණි ඒ සින්දුව කියන්න පටන් ගත්තා.මුළු බස් එකටම ඇහුණ ඇගේ හඬ නිසා හැමෝම දෝණි දිහා බලන්න ගත්තා’.

මුනුපුරා නළවන දෝණිගේ නැළවිලි ගීතය ගිය දුරක්. සමුගන්න මොහොතෙදි මට සිතුණා.