වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




හෙලෝ හිට්මෑන් මෙහාට එනවද පොඩ්ඩක්

හෙලෝ හිට්මෑන් මෙහාට එනවද පොඩ්ඩක්

05 කොටස

ඉදිරියේදී තිරගතවීමට නියමිත සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ ඔහුගේ 53 වන චිත්‍රපටය වන ‘දෝණි’ චිත්‍රපටයෙහි තිර පිටපත ඇසුරෙන් සරසවිය පාඨකයන් වෙනුවෙන් විශේෂයෙන් ලියැවෙන්නකි.

තට්ටු නිවාස සංකීර්ණයේ එක් පසෙක තුරු සෙවණකි. තුරු සෙවණ යට පෙළ ගැසී සිටින්නේ ළමුන් කිහිප දෙනෙකි. මම ඔවුන් දෙසම බලා සිටියෙමි. ඔවුන් එකිනෙකා දුව පැන ඇවිදිමින් කරන සෙල්ලම දෙස බලා සිටි මගේ සිත විමසිලිමත් වූයේ රුවන් පුතු හා සිඟිති දියණිය පිළිබඳය.

‘ඒයි සුරංග . . . අර බලපං . . .’

ඔහු අත දිගු කළ පෙදෙසට මම නෙත් හෙළීමි. අසල ඇති මාර්ගය දිගේ නිවාස සංකීර්ණය දෙසට ඇවිද ගෙන එන්නේ රුවන් පුතු හා දියණිය සිඟිතිය. මම ඔවුන්ව අසල පිහිටි වෙළෙඳසලට යැව්වේ මීට ටික වෙලාවකට පෙරය. රුවන් පුතු පසුපස සිඟිති නික්ම ගියේ තටු ලැබුණ කිරිල්ලියක් සේය. රුවන් පුතු අත සිලි සිලි බෑගයකි.

‘ටිකක් ආශ්‍රය කරමුද?’

සුරංග යැයි ඇමතූ පුතු පැවසුවේ සිය සඟයන් දෙස බලමිනි.

‘ඕන නැහැ . . . අදට ඔහේ ගියාවේ . . . නංගිත් ඉන්නවනේ’

ඔහු අසල සිටි අනෙක් පුතු පැවසුව ද දියණියක් කීවේ අනෙකකි.

‘නංගි හිටියට මොකද? අපි කතා කරමු’

ඇගේ ස්වරයට සියල්ලන්ගේම අනුමැතිය ලැබුණු සෙයකි.

‘හලෝ හිට් මෑන් . . . මෙහාට එනවද පොඩ්ඩක්’

එක්වරම යන ගමන නවතා රුවන් පුතු නතර වූයේය. ළමෝ සියලු දෙනාගේම අවධානය යොමුව තිබුණේ රුවන් පුතු හා සිඟිති දියණිය දෙසටය. රුවන් පුතු සිය අත රැඳි බෑගය නැඟණියට දී ඔවුන් වෙතට ඇවිද ගියේය. සිඟිති ද සිය සොහොයුරා පසුපස ගියේ ඉබි ගමනෙනි.

‘තමුසෙලා කවුද?’

‘කොහේ ඉඳලද ආවේ’

ළමුන් අසලට ළං වූ රුවන් පුතුගෙන් විමසුවේ සුරංගය.

‘ඇයි? ඒ මොකටද අහන්නේ?’

රුවන් පුතු ද පෙරළා ප්‍රශ්නයක් නැගුවේය.

‘නෑ නිකං අඳුන ගන්න’

‘ආ . . . එහෙම නම් කමක් නෑ’

සිඟිති හා රුවන් ප්‍රශ්නයකට මැදි වී

සුරංග ඇසූ පැනයට රුවන් පුතු පිළිතුරු බැන්දේ ඔලොක්කුවට මෙනි.

‘ඉතිං’

රුවන් පුතුව වටකර ගත් ළමෝ අතරින් එක් අයකු විමසුවේ ඊට පිළිතුරක් ලෙසිනි.

‘තමුසේ ගණන්කාරයෙක් ද?’

තවත් කටකාරයකු ප්‍රශ්නයක් නැඟුවේය.

‘නෑ’

රුවන් පුතු තනි වචනයෙන් පිළිතුරු බැන්දේ ඕනෑම ගේමකට සූදානම් යැයි හඟවන අටියෙනි.

‘එහෙම නම් පොඩි ගේමක් දෙමුද?’

කටකාරයා නැවත ප්‍රශ්න කළේය.

‘හැබැයි තනියෙන්’

ළමුන් පිරිසක් සමඟ සටනට වැදීම අනතුරුදායක වූ බැවින්දෝ රුවන් පුතු කීවේය. සුරංග ඉදිරියට පැමිණියේ සටනට සූදානම්ව ය. රුවන් ද ඉදිරියට පැමිණියේය. සිය ප්‍රතිමල්ලවයාගේ දිගු කළ අත දෙස බැලූ රුවන් පුතු සිය නැඟණිය දෙස බැලුවේය. ඒ සටන් කරන්නට අවසර පතන්නටය. හිස සෙල වූ සිඟිති සිය අනුමැතිය පළ කළාය. සියලු දෙනාම සිටින්නේ මවිතවය. වටපිට බැලූ රුවන් පුතු සුරංග පුතුට අත දුන්නේය. සටන ඇරැඹිණි. දෙදෙනාම බිම වැටී පොර බඳති. ඔවුන් වටකර ගත් ළමෝ ප්‍රීති ඝෝෂා කරති. කිහිප දෙනෙකුගේ මුවෙන් නැගුණේ විසිල් හඬකි.

‘කමෝන් . . . කමෝන්’

තවත් කිහිප දෙනෙක් ඔවුන් දිරිමත් කළහ. ඉහළ මාලයෙහි කවුළුවෙහි හිඩැස් අතරින් මේ දර්ශනය දෙස විමසිල්ලෙන් බලා සිටි මට කිසිවක් හරිහැටි දර්ශනය නොවේ. සියලුම ළමෝ ඔවුන් වට කරගෙන සිටින නිසා සිදුවන්නේ කුමක්දැයි පැහැදිලි නැත. මම එබී බැලීමි. හදිසියේම මුරකරු පැමිණියේ මේ අතරය. නිවෙසෙන් එළියට යන්නට සැරැසුණු මගේ සිතට දැනුණේ අස්වැසිල්ලකි.

‘හා . . . හා . . . නවත්තනවා, නවත්තනවා’

සුරංග ඇතුළු ළමෝ පිරිස රණ්ඩුවකට සැරසෙමින්

ළමෝ අතරින් ඉදිරියට පැමිණි මුරකරු පොර බඳන ළමුන් දෙදෙනා දෙපසට කළේය.

‘මොකද මේ අලුතෙන් ආපු ළමයට කරදර කරන්නේ. මම කියන්නම් තමුසෙලාගේ අම්මලට’

මුරකරු පැවසුවේ සුරංග දෙසට ඇඟිල්ලක් උරුක් කරමින්ය.

රුවන් හා සුරංග දෑත් පටලවා ගත්හ. අනෙක් සියල්ලන්ම බලාගෙන සිටින්නේ කුමකින් කුමක් වේදෝ යන සිතුවිල්ලෙනි.

‘එනවා යන්න’

මුරකරු සුරංගට තර්ජනාත්මක ස්වරයෙන් පැවසුවේය.

‘කොහේද අපි ගහ ගත්තේ සෙල්ලමටනේ’

රුවන් පුතු එක්වරම කීවේය.

‘හොඳ සෙල්ලම, එනවා යන්න’

රුවන් පුතුගේ වදන කනකට නොගත් මුරකරු සුරංග පුතුගේ අත අල්ලා ගත්තේය.

‘ඕන නම් මේ අයගෙන් අහල බලන්නකෝ’

සුරංග කිව්වේ මුරකරුගේ අතෙහි සිර වී තිබූ සිය අත මුදා ගන්නට තැත් දරමින්ය.

‘ඔව්, ඔව්, ඒක සෙල්ලමක්’

සියල්ලන්ගේම හඬ ගිගුම් දුන්නේ ගැටුම නිසා අමාරුවේ වැටෙන්නට ගිය සිය මිතුරා බේරා ගන්නටය.

‘හා හා ඒකෙන් වැඩක් නැහැ’

ඔවුන්ගේ වදනෙන් ආපස්සට හැරුණේ මුරකරු නොවේ.

‘මාමේ . . . මාමේ මේ අපේ නැන්දගෙ පුතානේ’

ඒ ඇසෙන්නේ රුවන් පුතුගේ ස්වරයයි. පුදුමයට පත් වූ මම කවුළුව අතරින් එබුණෙමි. ළමුන් සියලු දෙනාගේ උවන මත නැගුණේ මවිතයකි.

‘බොරු කියන්නෙපා’

සුරංගගේ අත, අත් නොහළ මුරකරු රුවන් පුතු දෙසට හැරෙනවා මම දිටිමි.

‘බොරු නෙවෙයි, නමෙන්ම තේරෙන්නේ නැද්ද?’

සුරංග පුතුගේ හඬ මුළු පරිසරයෙහිම විහිද ගියේය. ඒ ඊළඟට කුමක් වේදැයි විමසිල්ලෙන් බලා සිටින ළමුන්ගේ නිහැඬියාව අතරිනි.

‘ඔය ළමයා සුරංගනේ’

සැකයක සේයාව මුහුණ මත මවාගත් මුරකරු තවදුරටත් විමසන්නේ දඟකාර, විසේකාර ළමුන් කියන සත්‍ය කුමක්දැයි තෝරා බේරා ගන්නට නොහැකිවය.

‘අන්කල් දන්නේ නැද්ද මගේ සම්පූර්ණ නම’

සුරංග ලක්මාල් සුරාජ් රන්දිව් නුවන් කුළසේකර’

සුරංග පුතු තම කටට ආ නමක් කියාගෙන ගියේය.

‘මේ ගොල්ලො මෙච්චර කල් හිටියේ අපේ ගමේ. ඊයේ තමයි මෙහාට ආවේ’

සුරංග තවත් බොරුවක් ඇද බෑවේය. මුරකරුගේ සුරතින් සුරංගගේ අත ගිලිහිණි.

‘අපි යමු රුවන්’

සුරංග, රුවන් පුතුගේ කරට අත දමා ගත්තේ ගජ මිතුරන් යැයි පසක් කරන්නටය. නිහඬව තිබු තට්ටු නිවාස සංකීර්ණයේ පරිසරය ප්‍රීති ඝෝෂාවේ හඬින් ගිගුම් දුන්නේය. මුරකරු හිස්වැස්ම අතට ගෙන හිස කැසුවේය.

‘සුරංග ලක්මාල් සුරාජ් රන්දිව් නුවන් කුලසේකර. අහලා පුරුදු නමක් නේ’

මුරකරු කල්පනා කරමින් බලා සිටියේ ප්‍රීති ඝෝෂා කරමින් යන ළමුන් දෙසය.

මතු සම්බන්ධයි...