වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ගාලු වගේද ගෝව

ගාලු වගේද ගෝව

සිනමා කරුවන් නොහඳුනන සිනමා උළෙලක්

පසුගිය වසරේ නොවැම්බරයේ ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ පාන්ජිම් නගරයට ගිය මා ඒ පිළිබඳ ලියන ලද ලිපියට යෙදූ හෙඩිම වනුයේ ගාලු වගේ ගෝවේ ගියෙමි.යනුවෙනි. එහෙත් මෙවර එය මා වෙනස් කරනුයේ ගාලු වගේද ගෝව යනුවෙනි. ඒ පසුගිය වසර ඇතුළත ගෝවේ ප්‍රාන්තය හෝ එහි අගනුවර වන පාන්ජිම් අබ මල් රේණුවකින් වත් වෙනස් ව නැති බව කියන්නටය.

අපේ ගාල්ල පසු ගිය වසර ඇතුළත එහි පැරණි ශ්‍රී විභූතිය රැක ගන්නා අතර නව යුගයට ගැළපෙන්නට අලංකාර ව තිබිණ. එහෙත් ගෝවේ නම් ගෝවේමය. හැටේ දශකය වන තුරු පෘතුගාල ප්‍රාන්තයක්ව පැවැති ගෝව ඔවුන්ට තව දුරටත් රැක ගැනීම බලවත් හිසරදයක් වූ බැවින් එය ඉන්දියාවට බාර දෙනු ලැබිණ.

පසුගිය වකවානුවේ ඉන්දියාවේ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීමේ ඉලක්ක ගත නගරය බවට පත්වනුයේ ගෝවේය. එක් පැත්තකින් යුරෝපීය ගති ලක්ෂණ හෙළි කරන නගරයක් මෙන්ම රමණීය මුහුදු වෙරළකින් ද හෙබි ගෝවේ අපේ ඉතිහාසයට සම්බන්ධකම් කියන පළාතකි. ඒ 1505 වසරේ සිට මෙරට ට ඇදී ආ පෘතුගීසි නැතහොත් අප විසින් පරංගි යන අවර නාමයකින් හඳුන්වන ලද්දන් මෙහි පැමිණියේ එහි සිට බැවිනි.

එමෙන්ම එම යුගයේ ලංකාවේ මුහුදු බඩ පළාත් පාලනය කරන ලද්දේ ද ගෝවේ ප්‍රතිකාල් වරයාය. එබැවින් පෘතුගීසීන් විසින් ඇති කරන ලද බොහෝ අපට හුරු දෑ ගෝවේ දී දැක ගත හැක. කොටින්ම මෙවර සිනමා උළෙලේ අන්තර් ජාතික ජූරි සාමාජික ප්‍රසන්න විතානගේ සහ ඔහුගේ භාර්යාව දමයන්ති ෆොන්සේකා ට නවාතැන් ලැබී තිබුණ හෝටලයේ නම සිදාදි ගෝවාය. සිදාදිය අපට ආවේ ද එහි සිටය.

ඉන්දියානු සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අදහසින් ගෝවේ නගරයේ ඇති කළ එක් ව්‍යාපෘතියක් වූයේ එවකට නවදිල්ලියේ පවත් වන ලද ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙල ගෝව ප්‍රාන්තයේ ස්ථාපිත කිරීමය. පැරණි ප්‍රතිකාල් මන්දිරයක් වූ මැකිනස් මාලිගයේ පිහිටු වන ලද එන්ටර්ටේන්ට්මන්ට් සොසයිටි ඔෆ් ගෝවා මේ කාර්යය ඉටු කරනු ලබනුයේ ඉන්දියානු මධ්‍යම රජයේ ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිවය.

ඒ සඳහා තෝරා ගනු ලබනුයේ අයිනොක්ස් සිනමා සංකීර්ණයයි.අයිනොක්ස් සමාගම මගින් ඉදි කරන ලද සිනමා සංකීර්ණ ඉන්දියාවේ ප්‍රධාන නගර සියල්ලේම පිහිටුවා ඇත. ගෝවේ හි අයිනොක්ස් සිනමාහල් සංකීර්ණයට සිනමාහල් හතරක් ඇතුළත්ව ඇති අතර එයට අමතරව කලා ඇකඩමි නම් ශාලාව ද සිනමා උත්සවය සදහා යොදා ගනියි. සිනමා හල් ඇති අයිනොක්ස් සංකීර්ණයට යාබද මුහුදේ නැංගූරම් ගසා ඇති නැව් හතරක් කැසිනෝ ක්‍රීඩාව සදහා වෙන් කොට ඇත.
සජෙන් කරුන් කෞශික් ගංගුලි

මේ නැව් එහි වසර ගණනාවක්ම තබා ඇත්තේ එහි එන විදේශිකයන් පිනවීමටය. අයිනොක්ස් සිනමා හල් සංකීර්ණය කෙසේ වෙතත් ගෝවේ අගනුවර ඇති වෙනත් සිනමාහල් නම් අපේ අන්තිම සවුත්තු සිනමාහලට වඩා හොඳ වන්නේ නැත. පසුගිය දවස් වල මම නගරයේ ඇති සෙසු සිනමාහල් වලට ගොඩ වැදුණේ ඒවායේ තිර ගත වන සෙසු චිත්‍රපට නැරඹීමට වඩා ඒවායේ බාහිර පෙනුමෙන් ඇති අලංකාරය නිසා එහි අභ්‍යන්තරය කෙසේදැයි බලන්නටය.

 එහෙත් එහි ඇති සෙසු සියලු සිනමාහල් තත්වය ඒකාකාරීය. ඒ අතින් අප වාසනාවන්තය. අපේ බොහෝ සිනමාහල් ඒවාට වඩා හොඳ ය.එම බොහෝ ශාලාවන්හි ප්‍රක්ෂේපණය අතින් අන්තිම දුර්වල බව අපට දැනෙන්නේ අපේ රටේ දුර්වලම සිනමාහල් ප්‍රක්ෂේපණය අප අත් විද ඇති බැවිනි.

අප ගෝවේ බලා පැමිණියේ නොවැම්බර් විසි වැනි දිනය. මා සමඟ මෙවර උළෙලට සහභාගි වන්නට ශ්‍රී ලාංකික කලා අධ්‍යක්ෂ ලාල් හවීන්ද්‍රනාත් සහ සහාය අධ්‍යක්ෂ දමින්ද මඩවල ද මෙහි පැමිණියහ. අප තිදෙනාම පැමිණියේ එකම ගුවන් යානයකිනි. පළමුව කොළඹ සිට කටුනායකට නව අධි වේගයේ මාර්ගයෙහි ඉගිල්ලුන ලේක්හවුස් ආයතනයේ වාහනයෙන් බැස ගත් පසු මට හමුවු මගේ ගමන් සගයන් දෙදෙනා ද සමග ගුවන් යානයකින් පළමුව මුම්බායි නගරයටත් පසුව තවත් යානයකින් පාන්ජිම් වෙතටත් පියාසර කරන්නට අපට හැකි විය. මුම්බායි සිට ගොවේ බලා එන මනරම් මහා මාර්ගයේ බස් රථයක ගමන් කාලය පැය පහළොවකි.

ගුවන් යානයට නම් කොළඹ සිට මුම්බායි වෙතට පැය දෙකකකුත් එතැන් සිට පැයකුත් කාලයක් ගත වන්නේය.අමිතාබ් බච්චන් සුපිරි නළුවකු වීමේ ඇරඹුණ බොම්බේ ටු ගෝවා නම් හින්දි චිත්‍රපටය දැක ගත් දවසේ පටන් එම මහ මාර්ගයේ ගමන් කිරීමේ දොළ දුකක් මට ඇති වුවත් කාලය එයට හරස් ව ඇත. එබැවින් ආපසු එන ගමන එලෙස එන්නට ක්‍රම වේදය සකස් කොට අපි ගුවන් මග තෝරා ගතිමු.

උළෙල පරි බාහිර මග දෙපස ඉතා අලංකාර ව සරසා තිබුණ අතර එහි තාවකාලික අවන්හල් සියල්ල රාත්‍රි කාලයට ගෝවේ වැසියන්ගෙන් පිරී යයි. ඉතා ලාභයටත් පහසුවටත් මත්පැන් මිලයට ගත හැකි ඉන්දියාවේ ප්‍රාන්තය වන ගෝවේ ඒ නිසාම මැදියම් රැය වන තුරු අවදිව සිටියි. සිනමා උළෙල සඳහා මෙවර පැමිණි ආරාධිතයන් ගණන පහළොස් දහස ඉක්මවා ගොස් ඇති වග අපට දැන ගන්නට ලැබිණ. ඒ පුවත් පත් කලාවේදින් ජාත්‍යන්තර සිනමාකරුවන් ඉන්දියානු සිනමා සිසුන් මේ ගණනට ඇතුළත් නොකොටය. සිනමා උළෙල සමය වන විට කතරගම වන්දනා සමයේ මෙන් ගෝවේ පන්ජිම් නගරය ආශ්‍රිතව හෝටල් නවාතැන් සියල්ල පිරී යයි.

එමෙන්ම මිල ද ඉහළ යයි. අප නතර වූයේ පසුගිය වසරේ ද මා නතරව සිටි හෝටලයේ වන අතර එහි සිට සිනමාහල් සංකීර්ණයට රුපියල් අටක් ගෙවා බසයෙන් යා හැක.ලංකාවේත් ගෝවේත් මෑතක මා දුටු එකම සමාන කම නම් පෞද්ගලික බස් රථ සේවකයන්ය. හිටි ගමන් කොට කොටා යන ඔවුහු තවත් බසයක් පැමිණි පසු පිම්මේ ඉගළ යන අතර නැත්නම් මහ පාරේ අමු තිත්ත කතාවෙන් බැණ ගනිති. ඒ කුණුහරුප අපට නොතේරෙනවා මෙන්ම ඒ මොහොතේ අප විසින් කියන කුණුහරුප ද පෘතුගීසින් විසින් අපට හුරු කළ ඒවා නොවන බැවින් ඒ සම්බන්ධ වෙනත් ගැටලුවක් නොවිණ. එහෙත් මෙවර සිනමා උළෙලේ සිදු වූ එක් අසෝභන සිදුවීමකට මැදිහත් වන්නට මටත් දමින්දටත් වරක් සිදු විය.

ඒ පිරවි වැනි සිනමා කෘති චිත්‍රපට තැනූ ෂාජි එන්.කරූන් හඳුනා නොගත් සිනමා උළෙලේ ආරක්ෂක නිලධාරීන් ඔහු චිත්‍රපට ප්‍රේක්ෂක පෝලිමේ කෙළවරට යවන්නට තැත් කිරීමත් සමඟ ය. අවසානයේ ෂාජි වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් සමඟ බහින් බස් වන්නට සිදුවූයේ අපටය.

මෙවර සිනමා උළෙලේ මා දුටු විශිෂ්ටතම චිත්‍රපටයක් පිළිබඳව මෙහි සදහන් කරන්නට කැමැත්තෙමි.ඒ ලොවින් සැඟව ගත් ලොව ජනප්‍රියම ළමා නළුවා පිළබඳ තැනුණ චිත්‍රපටය පිළිබඳ වය.ඒ පිළිබඳ ලියනන්ට තවත් දවසක් ඉතිරි කරමි.


අලුත් රටේ මුල්ම චිත්‍රපටය හොඳම චිත්‍රපටය වෙයි

ඉන්දියානු 44 වැනි අන්තර් ජාතික සිනමා උළෙල ලෝකයේ ළාබාලතම රාජ්‍යය ලෙස සැලකෙන ටිමෝරයට සිය ඉතිහාසයේ අමරණීය සටහනක් තබමින් පසුගිය තිස් වැනි දින නිමාවට පත් විය. ඒ දැනට දෙවසරකට පෙර ඉන්දුනීසියාව දෙකට බෙදී බිහි වුණ ටිමොරයේ නිර්මාණය කරන ලද මුල්ම චිත්‍රපටය වන බියට්‍රිස් වෝර් චිත්‍රපටය ඉන්දියානු සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය වන රණ මයුර සම්මානය දිනා ගැනීමෙනි.එය බෙටී රෙයිස් සහ ලුගී අගුස්තෝ ගේ සම අධ්‍යක්ෂණයකි. අතුරුදන් වූ සැමියා සොයා ගිය බිරිඳක් වටා ගෙතුන මෙම චිත්‍රපටයට සම්මාන දිනූ පසු එහි ප්‍රධාන නිළිය අයිරිම් ටොලෙන්ටිනෝ මෙන්ම අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදක ද වේදිකාවේ හැසිරුණු හැඟීම් බර ආකාරය රැස්ව සිටි ලොව පුරා සිනමා කරුවන්ගේ පවා නෙතට කඳුළක් උපන්නට සමත් විය.

ක්‍රයිංචිං ටයිගර් හිචින් ඩ්‍රැගන්,වර්ල්ඩ් ඊස් නොට් ඉනෆ් වැනි ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට රුසක රඟපෑ හොංකොං නිළි මිෂෙල් යෝ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ මෙම සිනමා උළෙල සඳහා ඉනදියානු ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි ඇමැති මෙන්ම ප්‍රවීණ නිළි ආශා පරේක් ද සහභාගි වූවාය.ජනප්‍රිය රෙගේ ගායකයක් වූ රෙමෝ ෆර්නැන්ඩස් විසින් සය මයිකෝවේව් පපඩම් සංගීත කණ්ඩායම සමඟ පැය භාගයකට අධික කාලයක් එහි සිටි සියල්ල බඳවා තබා ගන්නා ගීත සහ වාද්‍ය ප්‍රසංගයකින් පමණක් උළෙල අලංකාර විය.

උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය බෙංගාල චිත්‍රපටයක් වන අපූර් පංචාලි චිත්‍රපටය නිර්මාණය කළ කෞශික් ගංගුලිට හිමි විය.ඉතාම දුර්ලභ ගණයේ මානව හැඟීම් ගොඩ නැගුණ චිත්‍රපටයක් ලෙස අපූර්ව පංචාලි විචාරකයන්ගේ අගැයුමට ලක් විය. උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය පෝලන්ත ජාතික නිළි බොක්සැර්ස්කා මග්දලේනාට හිමි වූයේ ඇය චරිත නිරූපණය කළ ඉන් හිඩිංග් චිත්‍රපටය වෙනුවෙනි.ඉතා සියුම් රංගනයක යෙදුන ඇය ද මෙවර උළෙලේ බොහෝ දෙනාගේ කතාවට බඳුන් විය. හොඳම නළුවාට හිමි සම්මානය පිරි නැමුණේ ඊශ්‍රායල් චිත්‍රපටයක් වන අ ප්ලේස් ඉන් හෙවන් චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන ඇලොන් මානි අබුතෝල් ටය. එමෙන්ම ජූරියේ විශේෂ සම්මානය තුර්කියේ තෝ ගිල්ඩ්‘ස්ට් දි එවන් චිත්‍රපටය නිර්මාණය කළ ඔනූර් උන්ලු සිනමාකරුට හිමි විය.

ඉන්දියානු පැනෝරාමාව සදහා ඉද්රිපත් කළ චිත්‍රපට අතරින් තෝරා ගැණුන මෙග ධක තාරා චිත්‍රපටයට ඉන්දියානු සිනමාවේ සයවස් සම්මානය නම් විශේෂ සම්මානය පිරි නැමිණ.කමලේශ්වර් මුඛර්ජි අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය බෙංගාල සිනමාවේ මහා සිනමා කරුවකු වූ රිට්වික් ඝටක් ගේ ජීවිතය පිළිබඳ කදිම විවරණයක යෙදුණ කළු සුදු චිත්‍රපටයක් විය.මෙම චිත්‍රපටයයේ නම ද ඝටක් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ටතම චිත්‍රපටයේ නාමයමය.