වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මහින්දගේ පොලු නැටුම

මහින්දගේ පොලු නැටුම

විකට රංගන ශිලපියකු ලෙස ප්‍රේක්‍ෂක ආදරය දිනාගත් මහින්ද පතිරගේ මේ දිනවල ඔබේ මුවගට හිනාවක් රැගෙන එන්නේ ‘කෝරලේ මහත්තයා’ ටෙලි නාට්‍යයේ පිනාගේ චරිතයෙන්. ඕනෑම තැනක විහිළුවක් කරලා ඔහු ඉන්නේ හරිම සැහැල්ලුවෙන්.

ඔහු මේ දවස්වල චිත්‍රපට දෙක තුනකමත් රංගන කටයුතුවල නියැළෙනවා. එක චිත්‍රපටයක රූගත කිරීම් කරලා ටිකක් විවේකයෙන් සිටින වෙලාවකදි ඔහු දැක්කා බිම වැටිලා තිබුණු තරමක් දිග රිටක්. වැඩකුත් නැති එකේ මේ රිට අතට ගත්ත මහින්ද එය ලතාවකට එහෙට මෙහෙට කරකවන්න පටන් ගත්තා. නිකමට පටන් ගත්තත් මහින්දටත් නොදැනිම වැඩේ අල්ලලා ගියා.

මේ විදියට ටික වෙලාවක් ගතවුණා. මහින්ද තවමත් පොල්ල කරකවනවා. එතන හිටිය හැමෝම ඇවිල්ලා දැන් මහින්දව වට කරගත්තා මේ අපූරු සෙල්ලම මොකක්ද කියලා බලන්න. නමුත් මහින්දට වගේ වගක් නෑ තවමත් පොල්ල කරකවනවා. ‘මොකක්ද ඔය නටන නැටුම’ කියලා බලාගෙන හිටිය අය ඇහුවේ බලාගෙන ඉන්න බැරිම තැන.

ඒ වෙලාවෙ තමයි මහින්දට තේරුණේ තමන් කර කර හිටිය වැඩේ බලන්න නාට්‍යයේ වැඩත් නවත්තලා කට්ටියම බලාගෙන ඉන්නවා කියලා. ඒ වෙලාවේ මහින්දගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වුණත් ‘මේක තමයි පොලු නැටුම’ කියලා මහින්ද තමන්ට නෙමෙයි වගේ අර රිට වීසි කළා.