වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




රංගනයෙන්-නර්තනයෙන් දස්කම් පාන නිලූකා

රංගනයෙන්-නර්තනයෙන් දස්කම් පාන නිලූකා

අනාගතයේදී නර්තනයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වුණත් ඇයට රංගන ක්ෂේත්‍රයේ දොරගුළු විවර වන්නේ ඇය නොසිතූ අයුරින්. නර්තනයට සේම රංගනයට එක ලෙස හද බැඳී ඇය දැන් මේ ක්ෂේත්‍ර දෙකෙහිම එක සේ දස්කම් දක්වන්නීය. අංගනා ටෙලි වෘත්තාන්තයෙන් ඔබ හමුවට පැමිණි ඇය නිලූකා තිලකරත්න.

කුරුණෑගල, පොතුහැර දුටුගැමුණු මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවදියේ පටන් කලා කටයුතු සඳහා දායකත්වය ලබා දුන් ඇය සමස්ත ලංකා තරග සඳහා ඉදිරිපත් වෙමින් සිය දක්ෂතා පෙන්වන්නත් සමත් තරුණියක්. ඇය දැන් රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සූදානම්.

රංගනයට වගේම නර්තනයටත් එක ලෙස දස්කම් දක්වන ඔබ රංගනය පමණක් තෝරා ගන්නට තීරණය කළා?

කුඩා කාලයේ සිටම බලාපොරොත්තු වුණේ නර්තන අංශයෙන් ඉදිරියට යන්න තමයි. ඒ වගේම රංගනය ගැන ආසාවකුත් තිබුණා. ඒ වුණාට ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව ලැබෙයි කියලා හිතුවේ නැහැ. මගේ මිතුරෙක් වන අමිත් එස්.සේනාරත්න මාර්ගයෙන් රංගනයට අවස්ථාවක් ලැබුණා. ඒ අනුව තමයි අංගනා හි රශ්මිගේ චරිතය ලැබුණේ.

මුල්ම රංගනයේදී නිලූකාට මොන වගේ හැඟීමක් ද දැනුණේ?

මුලින්ම කැමරාවක් ඉදිරියේ මුහුණ දෙන කොට තරමක තිගැස්මක් ඇති වුණා. දර්ශන තලයේ හැමෝගෙන්ම හොඳ සහයෝගයක් ලැබුණා. ඒ සහාය මට ලොකුª ශක්තියක් වුණා.

නිලූකාගේ රංගනයන් ඉදිරියේදී දකින්නට ලැබෙන්නේ?

සදේශ් කුමාර්ගේ ප්‍රවේගය චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඉදිරියේදී එය තිරගතවීමට නියමිතයි. නාලන් මෙන්ඩිස් මහතාගේ අලුත් ටෙලි නාට්‍යය සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. රංගනයට යොමු වුණත් මම නර්තනය අමතක කරන්නෙත් නැහැ. දැනටමත් මම නර්තන කණ්ඩායමක කටයුතුª කරනවා.

උඩරට, පහත රට, බටහිර නර්තනයන් ඒ මඟින් ඉදිරිපත් කරනවා.