වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මම රඟපානවට සුමේධ කැමතියි එයා රඟපානවට මම කැමති නෑ

මම රඟපානවට සුමේධ කැමතියි එයා රඟපානවට මම කැමති නෑ

රංගන ශිල්පිනී තරුෂි පෙරේරා

මම නිළියක් කියලා එයා දැන සිටියේ නෑ

එයාට ටී.වී. අරහං

තරුෂිගේ මුහුණ පෙම් පාටින් පිරිලා. කවදාවත් නැති සතුටක් සිත්මඬලෙන් දෝරෙ ගලනවා. ඇගේ දෙනෙතේ බොහෝ දේ සටහන් වෙලා. ඇය ඒවා එකිනෙක පවසන්නටයි මේ සූදානම. ඒත් ඒ කතාව කොහෙන් පටන් ගන්නවාද කියලා තරුෂිට හිතාගන්නට බැහැ වගෙයි. එච්චරටම ඇගේ සතුට ඉහවහා ගිහිල්ලා.

මෙච්චර කල් මහමෙරක් සේ නොසැලුනු තරුෂිගේ සිත කා ගාවද නතර වෙලා. අප ඒ කවුද කියලා හොයා ගත්තා. ඒ සුමේධ තෙන්නකෝන්. මේ හමුව අහම්බෙන් සිදුවූවක්ලු. නමුත් අපට නම් හිතෙන්නේ තරුෂි, සුමේධ කියන්නේ ආත්මීය බැඳීමක් ඇති දෙදෙනෙක් කියලයි. අද ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ සුවිශේෂීම දිනයයි. තවත් විදිහකින් කිව්වොත් අද තරුෂි, සුමේධ අතිනත ගන්නවා. පිළියන්දල ගෝල්ඩන් රෝස් හෝටලයේදියි ඔවුන්ගේ යුගදිවි පිවිසුම සිදුවන්නේ. මේ පෙම් කතාව සවිස්තරව දැනගන්නට මටත් ඕන වුණා.

මා තරුෂිට කලින් ප්‍රවේශයක් ගත්තා මෙන්න මෙහෙම.

තරුෂි කොහොමද සුමේධව ඔබට හමුවන්නේ?

ඒක හරිම පුදුමයක්. මෙතුවක් කල් මගේ සිතෙහි ගැස්මක් ඇති කරන්න කිසිම පිරිමි ළමයෙකුට පුළුවන් වුණේ නැහැ. ඒත් සුමේධ ඒක කළා. මං හිතන්නේ මාත් ඔහුත් මෙතුවක් කල් විවාහ නොවී ඉන්නට ඇත්තේ දෙන්නට දෙන්නා හමුවන කල් වන්නට ඇති. මෙන්න මෙහෙමයි සුමේධව හමුවුණේ. යාළුවකුගේ මාර්ගයෙන් සුමේධ අපේ ගෙදරට ප්‍රපෝසල් එකක් ගෙනත් තිබුණා. එතකොට සුමේධ මාව දන්නෙවත් නෑ. අර යාළුව තමයි කියලා තියෙන්නේ මං ගැන.

එතකොට ඔබ නිළියක් කියලාවත්...?

දන්නේ නැහැ අනේ, එයාට ටී.වී. අරහං. මාත් ඉතින් මගෙ වැඩි විස්තර නොකියා ඔහුගේ තොරතුරු හොයලා බැලුවා. සුමේධ ඉන්නේ අපේ ගෙවල් ළඟ. කතා කරන විදිහත් හරිම ආචාරශීලියි. නිකමට හිතුණා තවත් හොයලා බලන්න.

දෙදෙනාගේ පළමු හමුවීම කොහෙදිද සිද්ධ වුණේ?

ඒකත් අහම්බයක්. අපේ ගෙදරට යෝජනාව ගෙනාවට දවස් කිහිපයකට පසුව ඔහු දවල් වරුවක මගේ ජංගම දුරකථනයට කතා කළා. මං ඒ වෙලාවේ හිටියේ මහරගම මගේ සැලෝන් එකේ. ඔහුත් ඒ කිට්ටුවමයි ඉඳලා තියෙන්නේ. විනාඩි ගණනකින් ඔහු සැලෝන් එකට ආවා.

ඇවිත්?

ඇවිත් හමුවුණා. අපි දෙන්නම එවෙලෙ හිටියේ අතිශව සරලව ඇඳ පැලඳ ගෙන. හරියට ගෙදර ඉන්නවා වගෙයි. ඒත් අපිට ඒගැන වගක් තිබුණේ නැහැ. බොහොම සුහදව අදහස් හුවමාරු කරගත්තා. ඔන්න එදායි මං මගේ ප්‍රයිවට් ෆෝන් නම්බර් එක එයාට දුන්නේ.

ඒ කියන්නේ පළමු හමුවීමෙන්ම දැඩි විශ්වාසයක් ගොඩනැඟුණා?

ඔව්, මං හිතපු කෙනාමයි ඒ. සුමේධ හරිම වැදගත් විදියටයි හැසිරෙන්නේ. ඒක මට හොදට තේරුණා. එදාම හවස අපි දුරකථනයෙන් බොහෝ වෙලා කතා කළා. බැඳීම් තවත් වැඩි වුණා.

තරුෂි පෙරේරා ජනපි‍්‍රය නිළියක් කියලා ඔහු දැනගත්තේ මොන වෙලාවෙද?

ඒක කිව්වේ මමයි. ඇත්තටම එයාට මං ගැන ලොකු පැහැදීමක් මුලදිම ඇතිවුණා. ඒ පැහැදීම තුළ ඔහු තීරණය කරන්නට ඇති නිළියක් ලෙස මං ක්ෂේත්‍රය ඇතුලේ පිරිසක් එක්ක ගනුදෙනු කරන්නේ මොන විදිහටද කියන එක. මං ඔහුව බය නැතුව ක්ෂේත්‍රයේ ඕනෑම තැනකට එක්කගෙන යනවා. මොකද මං නරක නාම ගාවගත්ත නිළියක් නොවන නිසා.

දැනට සුමේධ ඔබට හමු වී කොපමණ කලක්ද?

අවුරුද්දකට ආසන්නව ඇති.

මේ කාලය අතරතුර දී ඔහු ඔබට නීති රීති දැම්මේ එහෙම නැතිද? විශේෂයෙන් රංගනය සඳහා?

කිසිම නීතියක් දැම්මෙ නැහැ.එයා එහෙම පටු අදහස් තියෙන කෙනෙක් නෙවයි. හැබැයි මගෙ වැරැද්දක් ඇත්නම් පෙන්වලා දෙනවා. මං ඒකට කැමතියි.

සුමේධ කොහෙද වැඩ කරන්නේ. ගම්පළාත එහෙම?

ඔහු පුද්ගලික බැංකුවක ඉහළ තනතුරක් දරන අයෙක්. ගෙවල් තියෙන්නේ කොට්ටාවේ.

විවාහයෙන් පස්සෙ ඔබේ ජීවිතේ මොන විදිහේ වෙනසක් වේවිද?

මම දැන්මම ලොකු තීරණ අරගෙන නෑ. හැබැයි විවාහයෙන් පස්සේ පෞද්ගලික ජීවිතයේ තීන්දු තීරණවලට අනිවාර්යයෙන්ම මුල්තැන දෙනවා.

මේ දිනවල ඔබ රංගනයෙන් දායකවන මුතුපලස ටෙලි නාට්‍යය විකාශය වෙනවා. එහි ඔබේ චරිතය හරිම ජනපි‍්‍රයයි. අඩුම ගානෙ සුමේධ ඒ නාට්‍යයවත් නරඹන්නේ නැතිද?

මං ඉස්සෙල්ලා කිව්වා වගේ එයාට ටී.වී. බලන්න ආසා නැහැ. විශේෂයෙන් ටෙලි නාට්‍ය නම් කොහොමත් බලන්නේ නැහැමයි. ඒක එයාගෙ කැමැත්ත. හැබැයි නාට්‍ය නරඹන අය මුණගැහැනාම සහ දුරකථනයට කතාකර කියන ප්‍රතිචාර හරිම ආසාවෙන් අහගෙන ඉන්නවා. ඒවාට මං වෙනුවෙන් සතුටු වෙනවා.

මට දැනගන්නට ලැබුණු විදිහට සුමේධ ඔහුගේ ආයතනයේ කරපු වෙළෙඳ දැන්වීම් දෙක තුනක රඟපාලා තියෙනවා?

ඇත්ත, ඇත්ත. ඒත් මං හමුවුණායින් පස්සෙ රඟපෑවෙ නැහැ.

ඒ මොකද?

මං එපා කිව්වා. මං ආස නැහැ සුමේධ රඟපානවට. ඔහු මං කිව්ව නිසා ඊට පසුව ලැබුණු වෙළෙඳ දැන්වීම්වල රඟපෑවෙ නැහැ.

සුමේධට ටෙලි නාට්‍යයකින් කතා කළොත්?

අපෝ යවන්නේ නැහැ. එහෙම කවුරුවත් ආරාධනා කරන්නත් එපා කියලා ඉල්ලනවා.

අවසන්කොට තරුෂි එහෙම කිව්වෙ හරිම ආදරණීයවයි. අද පතිකුලයට පිවිසෙන තරුෂි, සුමේධ යුවළට ‘සරසවිය’ අප ඉතසිතින් සුබ පතනවා. ඒ වගේම ඕනෑම මොහොතක සරසවියේ යම් වැඩකටයුත්තකට ආරාධනා කළාම එකපයින් ඊට සහභාගිවන තරුෂිගේ ජීවිතයේ ලියවෙන අලුත් පරිච්ඡේදය රන් අකුරින් සනිටුහන් වේවා යැයි අප ප්‍රාර්ථනා කරනවා.