වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




කලිසම් රෙද්දයි, ෂර්ට් රෙද්දයි විකුණලා තමයි මම කොළඹ ආවේ

කලිසම් රෙද්දයි, ෂර්ට් රෙද්දයි විකුණලා තමයි මම කොළඹ ආවේ
 

අකිල සඳකැළුම් ජීවිතේ දෙස හැරී බලා කියන ලස්සනම දවස් කිහිපය

‘සීනි පන්සීයයි, පොල් ගෙඩියයි, තේ කුඩු සීයයි මෙහෙම කටපාඩම් කර කර කෝටුවෙන් ටයර් එක පැද පැද මං කඩේ යනවා. එහෙම පාඩම් කර කර නොගියොත් මට අම්ම ගේන්නයි කියන බඩු ජාති අමතක වෙනවා. කඩෙන් බඩු අරන් එද්දී ටයර් එක කරට දාගන්නවා. කෝටුව ඉනේ ගහ ගන්නවා. බරට බරේ බඩුත් උස්සගෙන බුල්ටො එකකුත් හප හපා ගෙදර එනවා. මේක කිලෝ මීටර භාගයක විතර ගමනක් වුණත් මට ගමන් වෙහෙසක් දැනිලා නැහැ.

මං හිතන්නේ ගෙදරට මං හොඳක් කළේ එච්චරම තමයි. නැතිනම් මං තමයි පවුලේ නරකම ළමයා. තාත්තාගෙන් මං ගුටි නොකෑව දවසක් නැති තරම්. අක්කලට ගැහුවට මට හවස් වෙද්දී පස්ස රත් වෙන්න තාත්තාගෙන් කෝටු පාර වදිනවා. එහෙම නැතිනම් අහල පහල ගෙදරකට කල් කැටයක් හරි විසි කරපු නඩුවක් මට විරුද්ධව අපේ ගෙදර ඇහෙනවා.

වැහිදාට මාව ගෙදර තියාගන්න අම්මා කැමතියි. ඒත් මං නම් ඉස්කෝලේ යන්න කැමතිම වැහි දවසට. සපත්තු දෙකේ වතුර පිරුණාම හරියට බෝට්ටුවකින් යනවා වාගේ මං අද්ද අද්ද එනවා. මෙහෙම යන එන මග අයිනක බෝක්කුවක් තියෙනවා. වැහිදාට මං එතනට එනවාමයි. මේ නොගැඹුරු වතුර උතුරන බෝක්කුවට මං මගේ යාළුවා ජනප්‍රියව තල්ලු කරනවා. එයා වතුරට වැටිලා ගහගෙන යනවා. හරියට සීසෝ එකකින් පහළට එනවා වගේ. ඔය මං මොන්ටිසෝරි යනකොට පටන්ගෙන බාලාංශය වනතුරු කළ වැඩ. දවසක් මං දමල ගහපු පොල්කටු හැඳි පාර වැදිලා අක්කගේ නළල තුවාල වුණාම නම් මටත් හරියට දුක හිතුණා.

මගේ ගම තිස්සමහාරාම, බෝගහපැලැස්සේ සියඹලාගස්වැව. අපේ ආච්චිගේ ගෙවල් තිබ්බේ මාතර. මාතර එන්නත් මං ආසයි. ඒ ආවාම මහගෙදර දොරකඩ තිබිච්චි කැටයම් දාපු කණු දෙකේ මං නඟිනවා. ඔහොම දවසක් හවසක මං ඒකට නැඟ නැඟ ඉද්දී කකුලක් මොකෙක්දෝ කෑවා. බැලින්නම් ගෝනුස්සෙක්. එහෙම කිව්වෙත් මගේ ලොකු අප්පච්චි.

එකට මටත් වඩා බය වුණේ ලොකු අප්පච්චි. එයා කලබලෙන් එහෙ මෙහෙ දිව්වා. බේත් හෙව්වා. අන්තිමේදී බේත් බැඳලා මාවත් වඩාගෙන මං අඬල ඉවර වෙනකල්ම වත්ත පුරා ඇවිද්දා. අද එතන තිබිච්චි අපේ මහගෙදර නැහැ. ඒත් ඔය ඉසව්වට ගියාම මං නැග්ග කණුත්, ලොකු අප්පච්චිත් එතැන නැති වුණත් තවමත් මං ඒ දිහාව බලාගෙන ඉන්නවා.

අද රන්මිහිතැන්නට මායිම් වෙච්ච වටපිටාව මගේ ළමා කලෙට සම්බන්ධයි. ඒ කිට්ටුව තියෙන කඳුවැටිය අපේ ගෙදරට හොඳට පෙනුණා. මේ පරිසරේ හරි ලස්සනයි. වටු කුරුලු කූඩු එල්ලිච්ච මහ ගස් යට මල් පොකුරුවල සමනල්ලු පැණි බොනවා. මං ඒ දිහෑ නැවතිලා බලා ඉන්නේ මේ සිරීපාදේ යන සමනල් නඩයක් මල් පැණි බීලා බඩ පුරෝගෙන ආයෙමත් ඉගිල්ලෙන්නයි හදන්නේ කියල හිතාගෙන.

ඒත් මට අවුරුදු පහළොවක් වෙන කොට මටත් නොදැනිම මගේ දඩබ්බර ගති මාව අතෑරලා යනවා. ඒ වෙනුවට මගේ හිතට එක හීනයක් ඇතුළු වෙනවා. ‘මං නළුවෙක් වෙන්න ඕනෑ’ ඒත් මං කාටවත් ඒ වගක් කිව්වේ නෑ. මං කාටවත් නොකිව්වට මේ හීනෙ මගෙන් ඈත් වෙන්නෙත් නෑ. ඒක තව තවත් මෝරනවා. මට නළුවන්ගේ පින්තූර එකතු කරන්න හිතුණා. ඒත් ඒව ගෙදරට අහු වුණොත් ඉරා දායිද කියලා බයක් දැනුණා. ඉතිං මං හැම තිස්සේම මං ළඟ තිබිච්ච පොත්වල ඒවා ඇලෙව්වා. ස්ටිකරයකින් කාඩ් එකකින් එහෙමත් නැතිනම් පත්තරේකින් කපා ගත්ත විජය කුමාරණතුංගගේ, රන්ජන් රාමනායකගේ එහෙම පින්තූරවලින් මගේ කොපි පොත් විතරක් නෙවෙයි, ඉස්කෝලේ හතේ අටේ කාලේ විද්‍යාව, ඉතිහාසය එහෙම අච්චු පෙළ පොත්වල පාඩම් පවා වැහිලා තිබුණා.

අපිට ඒ දවස්වල ඉතිහාසය ඉගැන්නුව ගුරුවරියක් හිටියා. එයා ලලිතා ටීචර්. මේ ටීචර්ට දවසක් මගේ ඉතිහාසය අච්චු පොත අහු වුණා. ඉතින් එදා මුළු ඉතිහාස පීරියඩ් එකම ටීචර් මාව දණ ගැස්සුවේ හොඳට වේවැලෙන් සැලකුවට පස්සෙයි. ඒ මදිවට ටීචර් මට පහුවදාට පියා එක්කරගෙන එන්න කිව්වා. එතකොට මං බොරුවට ඇඬුවා. ටීචර්ටත් දුක හිතිල ද කොහෙද ‘ඇයි ඔයා අඬන්නේ’ ඇහුවා. අනේ ටීචර් මට පියා නම් එක්කරගෙන එන්න බෑ. අර නාගන්නෙවත් නැතිව ගස් බඩ ගගා කසිප්පු බිබී ඉන්න පියාව මං කොහොමද එක්කරගෙන එන්නේ.

ඇත්තටම පියා කියලා මනුස්සයෙක් හිටියා. මං කිව්වේ ඒ මනුස්සයා ගැන මිසක් අපේ තාත්තා ගැන නෙවෙයි. කෙන්තියෙන් හිටිය ටිචර්ටත් හිනා ගියා. එයා තව පාරක් මගේ කන මිරිකුවා. ඒත් මට අම්ම එක්කරගෙන නෑවිත් බැරි වුණා. එදත් අම්ම අප්පච්චිට මේ අවනඩුව කියලා මට ගුටි ඉල්ලල දුන්නා. ඒත් අම්මගෙයි මගෙයි තියෙන්නේ වෙන් කරන්න බැරි බැඳීමක්. මං තේරෙන කාලෙදිත් අම්ම ලකලෑස්ති වෙලා ගමනක් ගියොත් ඒ පස්සෙන් දැවටි දැවටි යනවා.

එතකොට මං ඕලෙවල් පන්තියේ. මට නළුවෙක් වෙන හීනේ හොඳටම වද කළා. නළුවෙකුට ගහගන්න පුළුවන් වෙන්න එපැයි කියලා මට හිතුණා. ඉතිං මං කරාතේ ඉගෙන ගත්තා. ඒත් කාටවත් ගහන්න නෙවෙයි. ඒ ක්‍රීඩාවේදි මට ලොකු හික්මීමක් ඇති වුණා. ඒ කාලේ අපේ ගමට විදුලිය තිබුණෙත් නැහැ. බැටරිවලින් වැඩ කරපු ටී වී තිබුණෙත් ගමේ ගෙවල් කීපයක විතරයි. සමහරදාට මං කැලේ පනිනවා. ඉස්කෝලේ නොගිහින් කැරම් ගැහැව්වෙත් ටී වී එකක් තිබිච්චි යාළුවකුගේ ගෙදර. දවල් වෙද්දී මං වෙන කිසිම වැඩක් කරන්නේ නැතිව ටී වී එක ඉස්සරහින් වාඩි වෙනවා. ඒ වෙලාවට ටී වී එකේ චිත්‍රපටයක් පෙන්වනවා. සතියේ දවස් පහේදීම වෙන මොන වැඩේ අතපසු වුණත් මට මේ චිත්‍රපටය බලන එක නම් වරදින්නේ නැහැ. මගේ මේ පුරුද්ද ගමේ යාළුවගේ ගෙදර වැඩිහිටියන්ට කොච්චර වදයක් වෙන්නැතිද? මට අද එහෙම හිතෙනවා. ඒත් රඟපාන මගේ හීනේ ලස්සන කළේ නම් ඒ පුරුද්ද.

රඟපාන්න නම් කොළඹ යන්නම ඕනෑ. මෙහෙම හිත හිතා ඉඳීද්දි දවසක්, හෙට නම් මං කොළඹ යන්නම ඕනෑ කියලා හිතුණා. ඒත් කෝ සල්ලි. අපේ අම්මල තාත්තල හරිම දුප්පත්. එයාලට මට කොළඹ යන්න දෙන්න සල්ලි නෑ. ඒත් ඒ වෙද්දි අපිට ඉස්කෝලෙන් යුනිෆෝම්වලට දීපු රෙදි මා ළඟත් තිබුණා. එයින් ෂර්ට් රෙද්දෙන් මං කමිසයක් මහගෙන තිබුණා. ඉතිරි වෙලා තිබුණේ කලිසම් රෙදි කෑල්ල.

මං මගේ කලිසම් රෙදි කෑල්ල යාළුවෙකුට රුපියල් එකසිය පනහකට විකුණුවා. ඒ රුපියල් එකසිය පනහයි බෙට් සීට් එකකුයි කමිසයකුයි ඔතාගෙන මං කොළඹ එන්නේ 2003 අවුරුද්දෙදි. මේ මං තනියම කොළඹ ආවමයි. රත්මලානේ පුංචිලාගේ ගෙදර යනවා කියලා හිතුවත් අන්තිමේදි රස්සාවකුත් හොයාගෙනම පුංචිලාගේ ගෙදර හොයාගෙන යනවා කියලා මට හිතුණා.

ඉතින් මට කොළඹ ඉන්න හිටින්න තැනක් නැහැ. මගේ නවාතැන වුණේ පිටකොටුව බස් ස්ටෑන්ඩ් එක. දවස් පහක් මං එක දිගට එතැන රෑට නිදාගත්තා. එළිවෙද්දී මං මුහුණ කට හෝදගෙන තිබිච්ච එකම ඇඳුම ඇඳගෙන මොකක් හරි රස්සාවක් හොයාගෙන යනවා. කොළඹ ඉඳන් කොල්ලුපිටියට ගියා. කොල්ලුපිටියේ ඉඳන් මොරටුවටත් ගිහින් තියෙනවා. දවස් ගාණක් යනකල් කවුරුවත් මට වැඩක් දුන්නේ නෑ. ඒත් අන්තිමේදී මට රස්සාවක් ලැබුණා. මගේ මුල්ම රස්සාව වුණේ කළුබෝවිල ගාමන්ට් එකක හෙල්පර් කෙනෙක් විදියට වැඩ කළ එක.

පන්දාහකටත් අඩු පඩියකට මං වැඩ කළා. ඒත් මං නොවැරදීම බ්‍රහස්පතින්දාට සරසවිය බැලුවා. අදටත් මොනම දෙයක් අතපසු කළත් ඒ දේ නම් අතෑරෙන්නේ නෑ. සරසවියේ නවක නළු නිළියන් තෝරන දැන්වීම් පළ වෙනවා. මං එහෙම දෙයක් දැැක්කම වැඩට නොගිහින් මේ ඉන්ටර්වීව් එකට යනවා. ඉතින් එදාට මට නෝපේ. එහෙම එක මාසෙකදි පඩියට මට තිබුණේ රුපියල් එක්දහස් ගාණක් විතරයි.

එකක් නොවෙයි. මං රස්සා කීපයක්ම කොළඹදී කළා. හෝටලේකත් වැඩ කළා. වීඩියෝ ප්‍රොඩක්ෂන් හවුස්වලත් හිටියා. රන්ජන් රාමනායක වාතාවක් සිනමාවට තිබිච්ච ආසාවට සරසවිය සම්මාන උළෙල හොරෙන් බැලුවයි කියලා ඒ වෙද්දි මං සරසවියෙන්ම කියවලා තිබුණා. මං මේ කියන්නේ 2003 අවුරුද්දේ සරසවිය සම්මාන උළෙල ගැන. මටත් තිරයෙන් විතරක්ම දකින නළු නිළියන්ව හැබැහින්ම දැකගන්න ආස හිතුණා. රන්ජන් රාමනායක බලපු විදියට හරි සම්මාන උළෙල බලන්න මං බී. එම්. අයි. සී. එච් ආවා. සම්මාන උළෙලත් බැලුවා.

මට හොඳට මතකයි ඒ වතාවේදී රෝස වසන්තය චිත්‍රපටයට රන්ජන් රාමනායක ජනප්‍රියම නළුවා විදියට තේරුණා. එවේලේ මට මොනව වුණාද මං දන්නේ නෑ. මටත් නොදැනිම මං සම්මාන වේදිකාවට දුවලා ගිහින් රන්ජන් අයියව බදාගත්තා. මුළු නළු නිළි රොත්තම මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ වේදිකාවෙන් පහළ බලද්දී මට දැනුණා.

‘මටත් නළුවෙක් වෙන්න ආසයි’ මං සරසවිය වේදිකාවේදී එහෙම කිව්වම ‘හොදයි, හොඳයි අලුත් අය සිනමාවට එන්න ඕනෑ තමයි’ කියලා රන්ජන් අයියා කිව්වා.

ඊළඟට උදයකාන්ත වර්ණසූරිය වේදිකාවට ගොඩ වැදුණා. මං මටත් රඟපාන්න අවස්ථාවක් දෙන්න කියලා එයාගෙනුත් ඉල්ලුවා. මට විසිටින් කාඩ් එකක් දෙන ගමන් එයා කිව්වා ‘මට කෝල් එකක් දෙන්නකෝ බලන්න, ඒත් වැඩිය කෝල් කර කර කරදර කරන්න නම් එපා කියලා’.

මට රකින්න බැරි වුණේ උදය අයියා මට දීපු ඔන්න ඔය අවවාදෙම තමයි. පහුවදා ඉඳන් මගේ ලොකුම වැඩේ වුණේ එයාට කෝල් කර කර චරිතයක් ඉල්ලපු එකමයි.

අන්තිමේදී හිරිපොද වැස්ස චිත්‍රටයට අලුත් නළු නිළියෝ තෝරන ඉන්ටර්වීව් එකට මටත් එන්න ලැබුණා. ප්‍රධානම චරිත පහෙන් එකක් නළුවෙක් වෙන්න බලාගෙන ගෙන්දගම් පොළව පෑගුව අකිල සඳකැළුම්ටත් ලැබුණා. ඒ තමයි ගිහාන්ගේ චරිතය.

හිරිපොද වැස්ස තිරගත කෙරුණා. ඒ කාලෙදිත් මට ඉන්න හිටින්න හරිහමන් තැනක් තිබුණේ නැහැ. මිත්‍රයකුගේ වැඩකට ඔය අතරේ දවසක මං මහරාජා ආයතනයට යනවා. එතැනදි මාව දකින ගිහාන් රංග බණ්ඩාර උඹ නේද මචං හිරිපොද වැස්සේ හිටියේ කියලා මගෙන් ඇහුවා. මං ඔව් කීවාම ගිහාන් මාව එක්කරගෙන ගිහින් චතුර ජයතිලකට කතා කළා. මේ හමුවීමේ ප්‍රතිඵලය විදියට මං කිඳුරංගනා ටෙලියේ ප්‍රධාන චරිතයක් කරනවා.’ අකිලගේ ජීවිතේ ලස්සනයි. එදාට වඩා අද ලස්සනයි.