වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




නිළි රැජන සමඟ රංගනයක යෙදෙන්නට ආසයි

නිළි රැජන සමඟ රංගනයක යෙදෙන්නට ආසයි

අත්තම්මා හරහා ආලින්දයට එන මහේශ් හමුවෙමු

අත්තම්මා ටෙලි නාට්‍යයේ ප්‍රබල චරිතයක් වූ හාමුදුරුවන්ගේ චරිතය නිරූපණය කළ ඔහු නමින් මහේශ් ගම්මැද ලියනගේයි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප්සතර හැදැරූ මහේශ් පාසල් අවධියේ සිටම කලාව හා බැඳී කටයුතු කළ අයෙක්.

පවුල් පසුබිමෙන්ම කලාවට උරුමකම් කියන මහේශ් සංගීතය, ගායනය, රංගනය, සංස්කරණය, කැමරාකරණය වැනි මාධ්‍ය පිළිබඳ හැදෑරුවත් ඔහුගේ රැකියාව වූයේ ව්‍යාපාර ආයතනයක ප්‍රාදේශීය වෙළෙඳ කළමනාකරුවකු ලෙස කටයුතු කිරීමයි. තම රැකියාවට බාධාවක් නොමැතිව කලා කටයුතුවල නියැළෙන හෙතෙම රංගනය ඇරැඹියේ මංජුල කරුණාරත්න අධ්‍යක්ෂණය කළ පබළු පාලම ටෙලි නාට්‍යයෙනිි.

සත්‍ය ජය ගනී චිත්‍රපටයෙන් චිත්‍රපට ක්ෂේත්‍රයට එක්වන ඔහු රස රහසක්, අපේ යාළු මාළු, අංදුන් කුංදුන්, නවරියන් චිත්‍රපට සඳහා විවිධ චරිත නිරූපණය කර ඇත.

පබළු පාලම, සරණ සමනලී, දුටු සතුටු මල ටෙලි නාට්‍යය සඳහා ද දායක වූ මහේශ් මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන අත්තම්මා ටෙලි නාට්‍යයේ හාමුදුරුවන්ගේ චරිතය මවමින් කාගේත් සිත්ගත් නළුවකු බවට පත්ව තිබේ.

කලා ක්ෂේත්‍රයේ නොයෙකුත් කැපිලි කෙටිලි තිබුණත් මහේශ් පවසන්නේ ඔහුට අද වනතෙක් ප්‍රවීණයන්ගෙන් ලැබුණේ පුදුමාකාර සහයෝගයක් බවයි.

තබ්ලා විශාරද ජී. එල්. මයිකල් පෙරේරා ඔහුගේ පියා වන අතර සංගීත ගුරවරියක් වූ වයලත් රංදෙණිය ඔහුගේ මව වේ.

1990 සිට කලා ක්ෂේත්‍රයේ නොයෙකුත් ඉසව් ඔස්සේ පියමනින මහේශ් චන්ද කින්නර දේවී, අතීතයේ එක් දිනක, දෙවෙලේ දකින කරමල වැනි ගීත ගායනා කරමින් ගායන ක්ෂේත්‍රයේ ද නමක් දිනාගෙන සිටියි.

තම පියාගේ ඉල්ලීම නිසා කලා ක්ෂේත්‍රයේ රැකියාවකට යොමු නොවුණු ඔහුගේ බලාපොරොත්තුව වන්නේ තම රැකියාවෙන් විශ්‍රාම ගිය දිනක තම ජීවන ගමන කලාව සමඟ ගෙවා දැමීමයි.

රංගනයෙන් දිගු ගමනක් යන්නට වෙර දරන මහේශ්ගේ එකම අභිලාෂය වන්නේ නිළි රැජන මාලිනී ෆොන්සේකා සමඟ රංගනයක යෙදෙන්නටයි.

සුජිත් චමින්ද, සම්පත් නානායක්කාර, සොලමන් ෆොන්සේකා, ඇන්ඩෘ ජයමාන්න, ප්‍රියංකර පෙරේරා, එඩ්වඩ් ජයකොඩි, ලාල් ප්‍රියදේව, ප්‍රිංසි ප්‍රනාන්දු, දුලීකා මාරපන, ගිහාන් ප්‍රනාන්දු, සරත් චන්ද්‍රසිරි, නන්දන වීරසිංහ, රම්‍ය ශ්‍රියානි පතිරණ, සුරනිමල ජිනේන්ද්‍රසිංහ, ශිරාන් රත්නායක මේ සියලු දෙනාගෙන් ලැබුණු සහාය ඔහු ආ ගමනට බොහෝ රුකුලක් වුණා යැයි හැඟීම්බරව පැවසුවේ ඔවුන්ට ස්තුති කරන්නට මෙය අවස්ථාවක් කර ගනිමිනි.

කලා ක්ෂේත්‍රයේ ඔහු දක්වන දක්ෂතා අඩු පාඩු ඇත්නම් ඒ පිළිබඳව දැනගන්නට, උපදෙස් ලබන්නට මහේශ්ගේ ඇත්තේ ලොකු කැමැත්තකි. ඒ නිසාවෙන් දුරකථන අංක 0777007410 කතා කර ඔබගේ අදහස් කෙළින්ම ඔහුට පවසනවා නම් ඔහුගේ කලා දිවිය තවදුරටත් සාර්ථක කර ලන්නට එය බොහෝ රුකුලක් වනු ඇත.