වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




තවමත් උදේ හවස මං යන්නත් බස් එකේ

තවමත් උදේ හවස මං යන්නත් බස් එකේ

ඉස්සරහට යන්න පුංචි තිරයට ගෙනෙන නලීන් මාපිටිය හමුවෙමු

පහුගිය දවසක හවසක කලාතුරකින් ගෙදර ඉන්න ඉඩ ලැබුණා. පුටුව උඩට වෙලා කිරිපලු නුග ගහේ අතු හෙළවෙන දිහා බලන් හිටියම ඉබේම ඇස් දෙක පිය වුණා. යාන්තමට නින්ද ළංවෙද්දීම ඇහැරුණේ මගේ පුංචි දෝණිගේ කටහඩින්. ගෙදර ඉස්සරහ පුංචි පැටට් ටික ඔක්කොම අපේ ගෙදර.

‘අර මහත අංකල්ට බස් එකේ ඇන්ටිලා ගහල පැන්නුවා. ඊයේ ඔයා බැලුවද ඒක’

පොඩ්ඩො ටික ලොකු කතාවක්. නිදිමත පැත්තක තියල මං අහන් හිටිය කතාව.

‘ඒ අංකල්ගේ බෑග් ටික බස් එකේ’

මං හිමීට කතා කළේ මගේ බිරින්දෑට.

‘මොකක්ද මේ කතා වෙන්නේ මෙයාලා. ළඟදී බස් එකේ කොහේවත් ගියාද?’

මේ ප්‍රශ්නේ නිරාකරණය වෙනකල් මට ඉවසිල්ලක් නැහැ.

‘මේ ඉස්සරහට යන්න ඩ්‍රාමා එක ගැනනේ කතා වෙන්නේ’

මට මං ගැනම හිතලා හිනාවක් පහළ වුණේ ඉබේටම. හැමදාම බලන්න බැරි වුණාට තැන තැන නරඹපු ‘ඉස්සරහට යන්න’ හොඳ කතාන්දරයක් කියලා මගේ මිත්‍රයෝ කිව්ව වගත් මේ වෙලාවේ මතක් වුණා.

මේ හින්දම අද ලියන්න හිතුවේ ඉස්සරහට යන්න නාට්‍යය ගැන.

ඉතිං ඒ ගැන කතා කරන්න හොඳම කෙනා මට හමු වුණේ සිද්ධියට දවස් දෙක තුනකට පස්සේ. ඒ තමයි නලීන් මාපිටිය. නලින් තමයි ඉස්සරහට යන්න නාට්‍යයේ අධ්‍යක්ෂවරයා. ඒ වගේම මේ ගැන කතා කරන්න සුදුසුම කෙනා. මුලින්ම මං ඇහුවේ මේ වගේ වෙනස් දෙයක් කරන්න හිතුණේ ඇයි කියන කතාව.

‘ඇත්තටම මේක වෙනස්ම වැඩක්. හීන කතා, ආදර කතා, මිත්‍යා කතා අතර හිරවෙලා කිමිදිලා, පියඹමින් උන් රූපවාහිනිය ඉදිරියේ ඉන්න පිරිසකට තමයි මට කතා කරන්න සිද්ධ වුණේ. ඉතිං මං ඒ අභියෝගය බාර ගත්තා. අරුණ ශ්‍රීනාත් මහත්මයගේ කොන්දා කියන චිත්‍ර කතාව තමයි මේ කතාවට පාදක වුණේ. ඒ කතාවේ හිටිය අපූරු චරිත ගැන මං චිත්‍ර කතාව තුළ කියවලා තිබුණා. සමාජයේ ජීවත් වන මිනිස්සුන්ගේ ඇතුල් පැත්ත, සිතුම් පැතුම් ගැන තමයි මේ නාට්‍යය තුළ කතාබහට ලක්වෙන්නේ.

මේ කතාවේ ඉන්න බස් කොන්දොස්තර වගේම රියදුරුට හැමදාම හමු වන්නේ වෙනස්ම චරිත. ඉතිං ඒ චරිත හරහා මේ කතාව ඉතාමත් අලංකාරව ගොඩ නැෙඟනවා. වෙනස්ම ආරකට තමයි මේ කතාන්දරය දිවෙන්නේ. මට අවශ්‍ය වෙලා තිබුණෙත් වෙනස් දෙයක් කරන්න.

මට මතක් වුණේ අපේ පොඩි එකාගේ කතාව. ඒ අනුව බලන කොට පුංචි දරුවොත් මේකට තදින්ම ඇලුම් කරනවා වගෙයි?

‘ඔව්, මේ නාට්‍යයට උණුසුම්ම ප්‍රතිචාර ලැබෙන කාණ්ඩ දෙකක් තියෙනවා. ඉන් පළමුවැනි පිරිස තමයි කුඩා දරුවෝ. දෙවැනි කොටස බස් රථවල කොන්දොස්තර මහත්තුරු හා රියැදුරු මහත්තුරු. මේ දෙගොල්ලො තමයි නාට්‍යය බලන පිරිස අතරේ වැඩිපුරම ඉන්නේ. දරුවන් බලන නිසා මං නාට්‍යයේ ඇතැම් දෙබස් පවා ඉවත් කළා. මෙම ටෙලි නාට්‍යයේ ගීතය නිසා දරුවෝ මේක වටා එකතු වුණා. රෑ නවය කියන්නේ දරුවන්ට බලන්න ඉලක්ක කරගෙන කටයුතුª කරන කාලයක් නෙමෙයි. ඒත් රෑ නොනිදා දරුවෝ රූපවාහිනිය වටා රොක් වුණා.

මේ ඒකාකාරී දර්ශන තල ගැනත් අහන්නට ඕනේ. මොකද සුන්දර ලෝකවල ජීවත් වුණු ටෙලි ප්‍රෙක්ෂකයන්ට ‘ඉස්සරහට යන්න’ හරහා වෙනස්ම පරිසරයකට ගෙන යනවා.

‘මේ කතාව සම්පූර්ණයෙන්ම රූගත වෙන්නේ බස් රිය හා පාරවල්වල. එකම ඇඳුම ඇඳ ගත්තු පිරිසක් කොටස් 8 – 9 ක ඉන්නවා. එතකොට ඒකාකාරී වෙනවා. කතාව ගලාගෙන යාම හරහා මේ ඒකාකාරී බව මිදෙනවා. නාට්‍යය විකාශය වෙන්න පටන් අරන් කොටස් පහක් යනතුරුත් බොහෝ දෙනෙක් නාට්‍යය පිළිගත්තේ නැහැ. දර්ශන තල ලස්සන නොවුණට කතාව ලස්සනයි කියලා ප්‍රේක්ෂකයන්ට තේරුණේ පසුකාලීනවයි.

රූගත කිරීම් අවසාන ද?

ඔව්. පළමු කොටස විකාශය වෙද්දී කොටස් 85 ක් කරලයි තිබුණේ. දැන් සියල්ල කර අවසානයි. ඉතාමත් සැලසුම් සහගතව තමයි රූගත කිරීම් කළේ.

කොයි පළාතේද රූගත කිරීම් සිදු වුණේ?

ලංකාවේ බොහෝ තැන්වල රූගත කිරීම් සිදු වුණා. නිරතුරුවම මාර්ගයේ එක් පසෙක ඇල මාර්ගයක් තිබිය යුතුය කියලා අපි තිරණය කළා. මේ ගම කලපුවකට මැදි වූ හුදෙකලා ගමක් කියලා පෙන්වන්න තමයි අපිට උවමනා වුණේ.

රූගත කිරීම්වලදී රසවත් සිදුවීම් එහෙම වෙන්නටත් ඇති?

ඇත්තටම රස පිරුණු කාලයක්. දවසක් බස් එක තල්ලු කරන දර්ශනයක් තිබුණා. හැමෝම වෙරදාලා බස් එක තල්ලු කළා. තල්ලු කරන්න යන ගමන් බස් එක බ්රේක් ගැහුවා. හැමෝගෙම මූණු බස් එකේ වැදුණා.

තව අවස්ථාවක විමල් කුªමාර් ද කොස්තා අත කැඩිලා ගල් ප්ලාස්ටරයක් දාගෙන තමයි සෙට් එකට ආවේ. රූගත කිරීම් කරන්න ඕන නිසා ඒ අත තුවායකින් වැහුවා. තුවායක් කරේ දාගෙන ඉන්නවා වගේ තමයි පේ‍්‍රක්ෂකයන්ට පේන්නේ. ඒත් එහෙම කළේ කැඩිචච අත නොපෙනෙන්නයි.

ජගත්ට සම්මාන ලැබුණාම පාර දිගටම හිටිය සෙනඟ ඔහුව බලන්න ආවා. ඒ වගේම ෂූටිං එක මැද්දේ ඇවිත් ඉඹලා යනවා. සමහර වෙලාවට බස් එක නැවැත්තුවේ නැති වුණාම සෙනඟ බනිනවා. මේ වගේ හරිම රස සිද්ධි වුණා.

චිත්‍ර කතාවක් ටෙලි නාට්‍යයකට නඟන එක අභියෝගයක් ද? ඒකත් අහල දැනගන්නට ඕනේ?

ඔව්, කාලය සහ අවකාශය කියන ගැටුම මේ කතාව තුළදී මං හොඳ අභියෝගයක් ලබලා දුන්නා. චිත්‍ර කතා ශිල්පියා විසින් අඳින ලද සියලුම දත්ත ස්වභාවිකව සොයා ගැනීම අපහසු කාර්යයක්. ඉතිං ඉතාමත් ක්‍රමානුකූලව තමයි මේ කටයුතු කළේ.

රියැදුරු මහත්තරු කොන්දොස්තර මහත්තුරු, මගියෝ මේ තුන් කට්ටුවගේ ජීවිත ගැන ගවේෂණයක් කළාද?

ගවේෂණයක් කරන්න දෙයක් නැහැ. මං උදේ හවහ යන්නේ බස් එකේ. ඒ දකින දේවල් ගොඩක් නිර්මාණය ඇතුළේ තියෙනවා.

ඊළඟට මොකද වෙන්නේ?

අනුර ශ්‍රීනාත් මහත්මාගේ ‘සීයා’ කියන චිත්‍ර කතාව ටෙලි නාට්‍යයකට නඟන්න තමයි මේ දිනවල කටයුතු කරන්නේ. ඒ වගේම චිත්‍රපටයක් සඳහාත් සූදානමක් තියෙනවා.

දිගටම චිත්‍ර කතා ද ටෙලි නාට්‍යවලට නඟන්නේ?

නැහැ. එහෙම අදහසක් නැහැ. හොඳ පවතින සමාජයට යහපතක් වෙන නිර්මාණ කරන්න තමයි මං කැප වෙන්නේ. එතකොට අපි හැමෝටම හොඳයි.

කොහොමද ප්‍රතිචාර?

ඉතාම ඉහළයි. මේ වගේ එකම ලොකේෂන්වල ෂූට් කරන ටෙලි නාට්‍යයක් ජනතාව පිළිගත්තේ ඒ සිද්ධි දකින්න කැමති නිසා. මේ කතාවේ කොතනක හරි ඔබත් ඉන්නවා. මමත් ඉන්නවා. ඒ නිසා බාල, මහලු, ළමා සියලුම මට්ටම්වල ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්. මේ නාට්‍යය හරහා සමාජ සංශෝධනයක් කරන්න ලැබුණොත් ඒ ඇති.

ඉස්සරහට යන්න . . .

මම ඔහුගෙන් සමු ගත්තේ හිතේ තිබුණු ප්‍රශ්නවලට පිළිතුරු ටික සොයාගත් පසුවයි.